හිතවත් ජෝර්ජ් ෆ්ලොයිඩ්.

දැක්කද ඇමරිකාවෙ අර සුදු ජාතික යුන්ෆෝම්කාරයා නිරායුධ ජෝර්ජ්ගෙ බෙල්ල හිර කරන් ඉන්නවා හුස්ම යනකං.

ජෝර්ජ් ඇවිත් සුපර් මාකට් එකකින් සිගරට් පැකට් එකක් ගන්නවා ඩොලර් නෝට්ටුවක් දීලා. මනුස්සයා තමන්ගෙ කාර් එකට ගිහින් නිදහසේ සිගරට්ටුවට උරනවා. සුපර් මාකට් එකෙන් දැන ගන්නවා නෝට්ටුව ව්යාජ එකක් බව. උන් පොලිසියට කෝල් කරනවා. පොලිසිය ඇවිත් ඒ ජෝර්ජ්ගේ වාහනේ වට කරනවා.

සුදු පොලිස් මහත්තයෙක් මේ මිනිසාව බිම දාගෙන දනිස්සෙන් බෙල්ල හිර කරනවා. මුලු ඇගේම බර බෙල්ලට තද කරන් ඉන්නවා. කලු ජාතික ජොර්ජ් හුස්ම ගන්න බැරි බව කියමින් ඇවිටිලි කරනවා. ජීවිතය ඉල්ලා හඩනවා. චූ යනවා. කදුලු වැටෙනවා. කටින් සෙම ගලනවා. කක්කා යනවා. නහයෙන් හොටු පනිනවා. බඩ ඇකිලෙනවා. වකුටු වෙනවා. අම්මගෙන් බිව් කිරි සිහි වෙනවා. කලු වීමේ පාපය වේදනා දෙනවා. තොල් සපා ගන්නවා.

කොරෝනා නිසා හුස්ම හිර වේ යැයි බයේ සලිතව ඉන්න මිනිසෙක් ඔහුගේ බොටුව හිර කරන් ඉන්නවා ලස්සන සුදු කකුලෙන්. තවත් සුද්දෝ ටිකක් උජාරුවෙන් පිස්තෝල ඉනේ ගහන් ඉන්නවා.

සිද්ධිය මුල පටන්ම අවට සිටියවුන් වීඩියෝ කරනවා. ඒත් කිසිවෙක් ළං නොවෙන්නෙ අපේ රටවල් වල වගේ බැටන් චාජ් නැතුව උන් කෙලින්ම වෙඩි තියන නිසයි.

සිය ගානක් මිනිසුන් බලං ඉදිද්දී සුදු මහත්තුරු කලු ජාතික නිරායුධ අහිංසකයෙක්ව මහ මග තිරිසනෙකුටත් අන්ත විදියට මරා දමනවා. ඔහුගේ බෙල්ල කඩා වැටෙනවා. මහ පොලව සිඹ දෙනෙත් පියා ගත් ඔහුගේ මුහුණ හිස් අහස දෙසට හරවා ගත් කාලකන්නි සුදු මහත්තුරු සයිරන් ගහගෙන මිනිය අරන් යනවා. ට්රම්ප් උඹ කනවා.

හිතවත් ජෝර්ජ්…..

ඔබ පණ අදින වීඩියෝව බලන්නට සිදු වීම හා එය ශෙයාර් කිරීම ගැන මං ඔබෙන් සමාව අයැදිනවා. ඔබේ පවුලේ අයගෙනුත් සමාව ඉල්ලනවා. ජීවිතය අල්ලා දුන් තාත්තාගේ දෙපා නමැද සමාව ඉල්ලනවා. කුසට හරියට කෑමක් නැති මුත් බඩ පුරා දෙතන කටේ එබූ අම්මාගෙන් සමාව ඉල්ලනවා. මුලු මානව සංහතියෙන්ම සමාව අයැදිනවා

මිනිසෙක් තවත් මිනිසෙක් අමු අමුවේ මරා දමන ආකාරය බලන්නට සිදු වීම ගැන මරණයට බයේ මුකවාඩම් බැද ඉන්නා අපි රෙද්දේ හුජ්ජ යමින් කතා කල යුතු කතාවක් ජෝර්ජ්.
—————–

මේ රටට සංචාරෙට එන සුද්දන්ට අපි සලකන තරම් උන් අපිට සලකන්නෙ නැහැ කවදාවත්. ඒ රට වලදි කලු හමට තියෙන තැන ගැන අපේ රටවල් වලින් ගිය කවුරුවත් කතා කරන්නෙත් නෑ ඉතින්. දැං ඉතිං කියයි ලංකාව කුජීතයි. මේව තමා රටවල් කියලා. අනේ රණ්ඩු වෙන්න බෑ හොදේ.

මතකද දවසක් ඕස්ට්රේලියාවේ ක්රිකට් ක්රීඩකයෙක් අපේ ක්රීඩකයෙකුට බැන්නා බ්ලැක් මන්කි කියලා.

කුලවාදය, ජාතිවාදය, වර්ණවාදය තාමත් ලෝකෙ පුරාම පැලපදියම් වෙලා තියෙන්නෙ. ඔය ලොකු කතා මොනවා කිව්වත් අපේ රටේ මිනිස්සුත් චන්දෙ දෙන්නෙත් කුලේ බලලා, ආගම බලලා. අදත් අපේ රටේ උන් ඉස්කෝලෙ අහලා සැලකිල්ල වෙනස් වෙනවා. මූණු හතරැස් වෙනවා ගිය ඉස්කොලෙ හතරැස්වෙල මහා විද්යාලෙ කිව්වම.

මානව හිතවාදය ගැන සුද්දො අපිට උගැන්නුවා කියලයි උනුයි අපේ ගොඩක් කට්ටියයි හිතන් ඉන්නෙ. ඒත් ඉතින් උන්ගෙ රටවල් වල වදුරො ගෙඩි කඩද්දි අපි දියුණු ශිශ්ඨාචාරයක් ඇතුව ජීවත් උන කණ්ඩායමක් බව උන්ටත් අපිටත් දෙගොල්ලන්ටම දැන් අමතකයි.

කොරෝනා සීන් එකේදි එකා පිට එක මැරිලා වැටුනත් ට්රම්ප්ලාට වැදගත් රට දුවවන එකයි.
ධනේශ්වර චින්තනයේ අවසාන සිහිනය සල්ලි වලින් සියල්ල ජය ගත හැකි බව සිතීමයි.

කොරෝනා දවසක මියගොස් තිබේවි. එදිනට බටහිර රටවල සංක්රමනික නීති ලිහිල් කරාවි ටික දවසකට. ගේට්ටුවක් දෙකකුත් අරීවි. ආයෙත් පිරේවි මිය ගිය ගාන මාස දෙකෙන්. මැරුන මිනිසුන්ගේ සල්ලි කොල වෙනත් අය අත සංසරණය වේවි.

අනාගතයෙර්දීත් ඩොලර් 20 වෙනුවෙන් සුදු මහත්වරුන් කලු බෙලි මත සුදු කකුල් තබා බොටු තද කරාවි හුස්ම හිරවෙන තුරුම. ඒත් කලු අපි කවදත් USA සෙට්ල් වෙන්න සිහින දකිවි.

කලු පාට වීම කරුමයක් බං……
අපි හරි කලුයි….
එයාලා සුදුයි…

ඒත් ඔයා සුදු වෙලා කිව්වම අපිට මාර ආතල් බං. කොහොම උනත් ඔය සුදු කාගෙත් සමහර තැන් කලුයි හොදේ!

ජෝර්ජ් ඔබ වෙනුවෙන් සමාව ඉල්ලනවා හැර අපට කල හැකි කිසිවක් නොමැත. කලු වීම ඔබව මරණය කරා වේගෙන් රැගෙන ගිය බව මට දැනෙන බව පමණක් කදුලු පිරි දෙනෙතින් හා ඔබගේ ගොර ගොර ගාන හුස්මේ නදින් හුස්ම හිර වන මා සටහන් කර තබන්නේ මමද කලු මිනිසෙකු බැවිනි.

අපි සුදුයි කියා හිතං ඉන්න ඔක්කොම උන් මහාම කලුයි බං.

 ©අරවින්ද හබක්කල.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *