ජනයාගේ අයිතීන් රැකෙන මනුෂ්‍යත්වය පිරි නව සමාජයක් බිහි කිරීමට සටන් වදිමු – ජාතික ජන බලවේගයේ මැයි දින පණිවුඩය

අද මැයි 01වැනිදා ලෝක කම්කරු දිනයයි. මීට වසර 134කට පෙර 1886දී පැය අටක වැඩ දිනයක් ඉල්ලා චිකාගෝ නුවර කම්කරුවන් කළ අරගලය සිහිපත් කිරීම වෙනුවෙන් මැයි දින උත්සවය පවත්වන බව අපි දනිමු. මැයි දිනය යනු ලොව පුරා කම්කරු පංතිය ප්‍රමුඛ වැඩකරන ජනතාව තම අයිතීන් වෙනුවෙන් හඬ නගන, තම ජයග්‍රහණ සමරන, තම ශක්තිය හා බලය ලොවට ප්‍රදර්ශනය කරන දිනය වේ.

එහෙත් මෙවර ලොව පුරාම මෙන්ම ලංකාවේද වැඩ කරන ජනතාවට සුපුරුදු ලෙස මැයි දිනය පැවැත්වීමට නොහැකි වී තිබේ. එය ලොව පුරා මිනිස් ජීවිත බිලි ගනිමින් පැතිර යන කොවිඞ් 19 වසංගත තත්වය නිසාය. එබැවින් මෙම ලෝක කම්කරු දිනයේදී කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින හා මෙම වසංගතයට එරෙහිව සටන් කරන ලොව පුරාම සිටින වැඩ කරන ජනතාව ඇතුලු සියලු දෙනා වෙත අපගේ සහයෝගය මේ අවස්ථාවේදී පළ කරමු.
2020 ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ මොහොත අධිරාජ්‍යවාදය, ගෝලීය ධනවාදය තම නොහැකියාව හා අසමත්කම පෙන්වමින් සිටින මොහොතකි. එබැවින් කොරෝනා වසංගතය ලොවට වැඩ කරනතාවට අගනා පාඩම් රැසක්ද කියා දෙමින් සිටියි.

මේ මොහොතේ ලංකාවේ වැඩ කරන ජනතාව ඇතුලු පොදු ජනතාව මුහුණ දෙන තත්වය ඉතාම බරපතලය. ලංකාවේ බලය අතට ගෙන සිටින පාලකයින්ගේ නොදැනුවත්කම, නිවැරදි තීරණ ගැනීමේ අසමත්කම හා අන් අයට ඇහුම්කන් නොදීමේ ස්වභාවය විසින්, ආරම්භයේදීම වලක්වා ගත හැකිව තිබූ මෙම රෝගය රට තුළ පැතිරීමට හේතු වූ බව පැහැදිලිය. මෙහිදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළේ “අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැසීමේ” ක්‍රමවේදයට අනුවය. ඉන් සිදුවූයේ රට තුළ ජනතාව විශාල පීඩාවකට පත්වීමය.

මේ වනවිට කොරෝනා පැතිරීම වලක්වා ගැනීමට නොහැකි වීමේ අර්බුදයට අමතරව කොරෝනා නිසා වර්ධනය වූ සමාජ ආර්ථික අර්බුද රැසකට මුහුණ දීමටද ජනතාවට සිදුව තිබේ. මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ රටේ නිෂ්පාදනයන් බිඳවැටී තිබේ. ජනතාවගේ ආදායම් මාර්ගද අහිමි වී තිබේ. ආදායම් අහිමි ජනතාවට දීමට තීරණය කළ රු. 5,000ක සහන දීමනාව පවා දේශපාලනීකරණය කොට එය ඡන්ද අල්ලසක් බවට පත් කිරීමට ආණ්ඩුව උත්සාහ කළේය. එම නිසා එම කුඩා සහනය පවා නොලැබුණ පිරිසක් සමාජය තුළ තවම සිටියි. ඒ ආණ්ඩුවේ නොහැකියාවේ තරමය.
අනෙක් අතට මේ නිසා වැඩ කරන ජනතාවගේ රැකියා අහිමි වීමේ, වැටුප් නොලැබීමේ හා වැටුප් කප්පාදුවීමේ තත්වයකට මුහුණ දීමටද විශේෂයෙන් පෞද්ගලික අංශය ඇතුලු වැඩ කරන ජනයාට සිදුව තිබේ. ඉදිරි කාලයේදීද රැකියා අහිමි වීමේ හා වැටුප් කප්පාදු වීමේ මෙම ගැටලුව තව තවත් වර්ධනය වනු ඇත.

එසේම ගොවි ජනතාව, ධීවර ජනතාව හා ස්වයං රැකියා හා අවිධිමත් රැකියා කරන ජන කණ්ඩායම්ද මෙහිදී ආදායම් අහිමි වීමේ හා මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකි වීමේ අර්බුදයකට මුහුණ දී පීඩාවට පත්ව සිටියි.
දරුවන්ගේ අධ්‍යාපනයද මේ තත්වය තුළ අර්බුදයට ලක්ව තිබේ. එහෙත් මෙම හදිසි ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා නිවැරදි දැක්මක්, ක්‍රමවත් වැඩපිළිවෙළක් හෝ සැලැස්මක් වත්මන් පාලනයට තිබෙන බවක් පෙනෙන්නට නැත.
අනෙක් අතට මෙම ව්‍යසනය තුළ ආණ්ඩුව නීතිරීති නොසලකා හරිමින් ආණ්ඩු විවේචනය කරන අය බිය වද්දමින් ව්‍යවස්ථාවට පවා ගරු නොකරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී හා හිතුවක්කාරී පාලනයකට මුල පුරා තිබෙන බව පෙනේ. එමගින් ආණ්ඩුව ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය වන තැනට රට ඇදගෙන යමින් සිටියි. ඒ, කොරෝනා පැරදවීමේ න්‍යාය පත්‍රය වෙනුවට ඡන්යද පැවැත්වීමේ හා බලය ලබා ගැනීමේ න්‍යාය පත්‍රය ප්‍රමුඛ කර ගැනීම නිසාය.

එසේම මෙම ව්‍යසනය තුළ පවා ජාතිවාදය පැතිරවීම, මනුෂ්‍යත්වයට ගරු නොකිරීම, කොවිඞ් 19 ආසාධිතයින් අපරාධකරුවන් ලෙස හැඟෙන සේ කටයුතු කිරීම, එම ව්‍යසනය පාලනය කිරීමට මැදිහත් වීම නිසාම රෝගය වැළඳුණු හමුදා සාමාජිකයන්ට පවා සමාජ විරෝධයක් එල්ල වන ලෙස කටයුතු කිරීම මගින් ආණ්ඩුව සහ ඔවුන් වටා සිටිනා කණ්ඩායම්වල හා ඔවුන්ට හිතවත් ජනමාධ්‍යවල මානුෂික හා වගකීම් විරහිත හැසිරීමද මේ වන විටත් පෙන්වා තිබේ. මේ සියල්ලෙන් පෙන්වන්නේ වත්මන් පාලක කණ්ඩායමත් වත්මන් සමාජ ක්‍රමයත් කොතරම් පිරහී තිබේද යන්නයි.
එබැවින් මෙම ජාත්‍යන්තර කම්කරු දිනයේදී වැඩ කරන ජනතාව ඉදිරිපිට ඇති වගකීම හා අභියෝගය විශාලය. ධනවාදයේ පොදු අර්බුදය නිසාත් කොරෝනා වසංගත තත්වයේ බලපෑම නිසාත් රැකියා අහිමි වීමට, වැටුප් කප්පාදුවට, සහන හා අයිතීන් අහිමි වීමේ තත්වයන්ට මුහුණ දීමට ඉදිරියේදීද ලොව පුරා මෙන්ම ලංකාවේ වැඩ කරන ජනතාවටද සිදුවනු ඇත.
එබැවින් එයට එරෙහිව තම අයිතීන් වෙනුවෙන් කරනු ලබන වැඩ කරන ජනතාවගේ සාධාරණ අරගලයන්ට සහයෝගය පළ කරන ජාතික ජන බලවේගය තම අයිතීන් දිනා ගැනීම සඳහාත් පවතින අසාධාරණ අයුතුසහගත හා අමානුෂික සමාජ ක්‍රමය වෙනස්කොට වඩාත් සාධාරණ වැඩ කරන ජනතාව ප්‍රමුඛ සියලු ජනයාගේ අයිතීන් රැකෙන මනුෂ්‍යත්වය පිරි නව සමාජයක් බිහි කිරීම සඳහා එක්ව පෙරට එන ලෙසත් ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳ ගන්නා ලෙසත් ලාංකේය වැඩ කරන ජනතාව ප්‍රමුඛ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජාතික ජන බලවේගය
2020 මැයි 01 දින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *