ඇමරිකාවේ ව්‍යාඝ්‍රයෙකුටත් කොරෝනා වැළඳෙයි

නිව්යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයේ ව්‍යාඝ්‍රයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ. එම සත්ත්ව උද්‍යානයේ වෙසෙන ‘නාඩියා’ නැමැති මලයානු ව්‍යාඝ්‍රයා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී එම සත්ත්වයා මෙලෙස කොවිඩ්-19 ආසාදනයට ගොදුරු වී ඇති බව අනාවරණය විය.

වයස අවුරුදු 4ක් පමණ වූ මෙම ව්‍යාඝ්‍ර ධේනුව වියලි කැස්සකින් හා ආහාර අරුචියෙන් පෙළුනු අතර මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී කොරෝනා වෛරස අසාදනයෙන් පෙලෙන බව හඳුනාගෙන තිබේ. ඇයගේ ස්වසන මාර්ගය ආශ්‍රිත තරල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා මේ වනවිට කෝනල් හා ඉලිනොයිස් විශ්වවිද්‍යාලයන්හි පශු වෛද්‍ය ඒකක වෙත යොමු කර තිබේ.

රෝග ලක්ෂණ නොපෙන්වන, කොරෝනා ආසාදිත සත්ත්ව උද්‍යාන සේවකයෙකුගෙන් ඇයට මෙම රෝගය වැළඳෙන්නට ඇතැයි සැක කෙරේ.

මිනිසුන්ගෙන් කොවිඩ්-19 වෛරසය වන සතෙකුට බෝ වුනු පළමු අවස්ථාව මෙය විය හැකි බව බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී පෝල් කැලී පෙන්වාදෙයි.

එමෙන්ම සත්ත්ව උද්‍යානයේ සිටි නාඩියාගේ සොහොයුරිය, සයිබීරියානු ව්‍යාඝ්‍රයින් දෙදෙනෙකු සහ සිංහයින් තිදෙනෙකුද ඇතුළු බිලාලයන් 6 දෙනෙකු මේ වනවිට මද කැස්ස ඇතුළු රෝග ලක්ෂණ පෙන්වන්නට පටන්ගෙන ඇති බැවින් සත්ත්ව උද්‍යානය මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබේ.

මෙයට පෙරද කොවිඩ්-19 වෛරසයට ගෘහස්ථ සතුන් ගොදුරු විය හැකි බව අනාවරණය වී තිබිණි. පොමනේරියන් හා ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයින් දෙදෙනෙකුට ආසාදනය වීම පිළිබඳව හොංකොං වලින්ද, රෝගය ආසාදනය වූ බළලෙකු පිළිබඳව බෙල්ජියමෙන්ද මෙයට පෙර වාර්තා විය. එමෙන්ම බළලුන් එකිනෙකා අතර මෙම වෛරසය ව්‍යාප්ත වන බවට චීනය විසින්ද හඳුනා ගෙන තිබුණද සතුන්ගෙන් මිනිසාට රෝගය වැළඳෙන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *