“වත්තෙ නැන්දාගෙ රෙද්දෙ තුත්තිරි සිද්ධ පත්තිනි දෙවියනේ……” – (අනු කලන 06 ) – අනුරංගා ප්‍රනාන්දු

මේ දවස් වල උණු උණු කැවුම් ගාණට විකිණෙන චරිතයක් ඇත.
ඕ තොමෝ නමින් ශම්මි කුමාර් වේ.
ඈ මේතරම් ප්‍රසිද්ධියට පත් වූයේ ඇයි?
ඇයට මෙතරම් ප්‍රසිද්ධියක් ලබා දුන්නේ කවුරුන්ද?

මා නඟන්නේ මේ ගැටළු දෙක පමණකි.සෙස්ස විජම්භනය,විඝටනය ,
ඔබට අයිති කාරියකි.

ශම්මි ඔබ ඉදිරියට එනුයේ ලොව ඉපැරැණිතම රැකියාවේ රැකියා පිරිවිතර ද සමඟය.
ඇය සන්නාම තානාපතිවරියක් මෙන් එම කාර්‍යය පිළිබඳ මනා පරිචයකින් විස්තර කථනයක යෙදෙන්නී ….අභිරුචියෙන් ඒ නැරඹූවෝ ගණන හෝ එසේ කල නැරඹුම් වාර ගණන කොපමණ දැයි දන්නෝ දනිති….

ඈ ලවා කරුණු කාරණා පිටතට ඇද ගැනීමේ කාරිය කල තෝල්කයෙක්ද වීයැ .මොවුන් දෙපොළ ලව්වා මේ නාඩගම නැටවූ පිරිසක්ද වූහ.
නැරඹුම් වාර ගණන අනුව මුදල් ඉපැයූ අය නොවූහයි කාට නම් කිවහැකිද.

සිදුවූයේ…කාගේ හෝ උවමනා එපා කමක් පිරිමැසීමේ ලා ගැහැණියක් උපයෝග වීම නොවේද.
දැන හෝ නොදැන ඇයද , කාට හෝ මහා පරිමාණ යෙන් කඩේ යාම නොවේද.

එතැන්දී ජනතා පිළිකුලට හා ද්වේශයට බඳුන් වූයේ ඇය නොවේද.?
දණ්ඩන ලැබූයේද ඇය නොවේද.?

මෙහිදී ඈ නියෝජනය කරන කුලකයේ වෘත්තීය ස්වභාවය හා සමාජ සදාචාරය පසෙක තබමි.

ඇයද මෙලොව එළිය දකින්නට ඇත්තේ ගැහැණු දරුවෙක් ලෙසටය.පසුකාලීනව සමාජ අවශ්‍යතා හා තම පුද්ගලික තීරණ මත ඇගේ රැකියාව තීරණය වන්නට ඇත.

සාමාන්‍ය ගැහැණියකට මෙවන් රැකියා වක යෙදීම සඳහා හිත හදාගෙන තීරණයක් ගැනීම ඉතා අපහසු කාරණාවක් යයි සිතමි.
කුස , පිට පොත්තට ඇලී යන තරම් කුසගින්නක දී ,අග හිඟයකදී පවා සීලිමේ කැරකෙන විදුලි පංකා ව දෙස බලාසිට මුදල් ඉපයීම පිළිකෙව් කල වනිතාවෝ එමට වෙත්.
නමුත් යමෙකු එවන් ජීවනෝපාය ක් තෝරාගත්තද ඒ පුද්ගලික අභිමතය බැව් අපට අමතක වූයේ කෙසේද?…

සදාචාරය කරපින්නාගෙන බැරි මරගාතේ විස්සයි විස්සට ගාටන අප වැනි සමාජයක ඕ තොමෝ පව් කාරියකි.ගල් ගසා මරා දැමිය යුත්තියකි.ඒ අපේ ආකල්ප යි.එවන් රැකියාවක් ඉබේ පහළ වුනැයි ද ,රැකියාව පහළ වූ ඉනික්බිති වෙළඳ පොළ පහළ විනැයිද යන අදහසින් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ වැනි සුරංඟනා මති මතාන්තර වල එල්බ සිටින හය හතර දත් නමුත් නොදන්නා සේ රඟපාන සුචරිත වාදී සමාජයක් ඉදිරියේ ඇය වරද කාරියක් වනු කවුරු නම් වළකාද?

නමුත් ඈ නෙදර්ලන්තය වැනි යුරෝපීය රටක ජීවත් වූවා නම් අනෙත් වනිතාවන් හා සම අයිතීන් විඳින, සම ගරුත්වයක් ලබන පුරවැසිනියකි.

නිසි කලට අය බදු ගෙවන ගරු කටයුතු ව්‍යවසායිකාවකි.
එවන් නිදහස් මති මතාන්තර ඇති දියුණු රටකදී…….
“රතු ලන්තෑරුම් වීදියේ “ඇගේ ජීවිකාව උපයා ගනුයේ නිදහස් වනිතාවක් ලෙසය. එහිදී …….
පොලීසියට කට්ටි පැනීම අවැසි නැත.
අකුරු දෙකේ,තුනේ නම් වලින් අමතා කාරා මුහුණට කෙළ ගැසීමේ අවධානමට ලක් වීමට අවැසි නැත. වෙනස නම් එයම වේ.
ඇයද අප මෙන්ම සම අයිතීන් මිටින් ගෙන උපන් ජීවියෙකු බව අපිටම අමතක ඇයි?

“ඉල්ලුමට අනුව සැපයුම “යන න්‍යාය එක හෙළා අමතක කරන්නට තරම් සාහසික සුචරිතවාදයක් අප අතර අංකුර ලන්නට පටන් ගත්තේ කවදා සිටද?

මෙසේ යම් යෝජනාවක් කරමි.
ඇගේ ජීවිකාව නීති ගත කළ හැකි නම් යෙහෙකි. මේ ප්‍රකාශයට එක්කෝ ඔබ එකඟ වනු ඇත.නැතිනම් විරුද්ධ වනු ඇත.
ඔබේ මතය ලියුම් කාරියට අදාලම නැත.හේතුව …”අපි කවුරුත් මිනිස්ස බං ” කියන දේ පමණක් විශ්වාස කරන නිසාය.

උගුරට හොරා බේත් කන්නට නොපිළිවෙන.දිව පුරා තැන් තැන් වල විසිරී ඇති රස අංකුර වලට මොන පසික්කාඩුව දුන්නත් රස දැනේමය.ගෙදරින් කෑම ඒකාකාරී වූ කල්හි පිට හෝටලයකින් සප්පායම් වීමේ “මොනෝටනි බ්‍රේකින්ග් “හුරුව ඇති ඉල්ලුම් කරුවන් සිටිනාතුරු මේ රැකියාව පවතිනවාමය.
නවත්තන්නට බැරි නම් ක්‍රමවත් කිරීම වටිනා බව නොකිවමනාය.

අත කපන්නට බැරි නම් ඉඹින්නට මොළයක් තිබිය යුතුය.
වඩා අවදානම් හැසිරීම් නිසා සමාජයේ කොටසක් ම වූ මෙම කතුන්ගේ ජීවිත වලට පවතින STD අවදානම, ජීවිත අවදානම,හිංසනයට ලක්වීමේ ඉඩ කඩ, ගර්හාවට බඳුන් වීමේ සම්භාවිතාව , මානසික පීඩාව, සූරා කෑම ආදී එකී මෙකී නොකී බොහෝ ගැටලු ද මානුශීය කෝණයකින් බැලීමට කාලය එළඹී ඇතැයි සිතමි.

ඇය දායකත්වය දැක්වූ වීඩියෝ පට සමාජයට හිතකර බැව් නොකියමි.රස කර දුම් දම්මවමින් පිරිනැමුවේ….අපේ රටේ ලිංගිකත්වය පිළිබඳව හරි හමන් ලිංගික අධ්‍යාපනයක් නොලත් විවිධ වයස් මට්ටම් වල අය නැරඹුවේ ඇය ඉදිරිපත් කල කුතුහලය හා ජුගුප්සාව මුසු වාචික රංගනයයි.

මෙහි මා දකින්නේ වෙනම පැතිකඩකි.අතේ ඇඟිලි සඟවා ,තොප්පිය තුලින් හාවෙකු පිටතට ගැනීම වැනි විජ්ජාමය වූ ලිංගික අධ්‍යාපනය වෙනස් විය යුතුය.ලිංගිකත්වය යනු තව දුරටත් ගර්හිත හා අවමාන ලැබිය යුතු අසික්කිත ක්‍රියාවක් නොව මැස්ලෝ ට අනුව මූලික මිනිස් අවශ්‍යතාවයක් බවත්…අති මානුශීය සංසිද්ධියක් බවත් සමාජ ගත විය යුතුය.
තවද පුද්ගලික ආරක්ශාව ,ස්වථතාව ආදී මූලික අවබෝධය පවා අපේ රටේ පුරවැසියන් ලබා ගත යුතුය.

යම් සිද්ධියක් ඉස්මතු වූ විට ගැහැණියකට ගල් ගසන්නට ගැහැණු ත් පිරිමිත් ඉදිරිපත් වන්නේ තරඟයටය.මේවා මාධ්‍ය සංදර්ශන වල අතුරු ප්
නමුත් සියතෙහි කිළිටි කුණු වරද නැත්තේ නම් පළමු ගල ගසාපන්න යැයි ස්වාමිදරුවෝ වරක් පැවසූ
සේම මේ කතුන්ටද සමාජයෙන් වියයුතු යුතුකම් ඉටු නොවී ඔවුන් අන්ත අසාධාරණයට ලක්ව සිටින කල්හි….අනුන්ගේ රෙදි වල තුත්තිරි ඇහිඳින්නට යන නෝනලා ,මහත්තුරු දැකීම සෝපහාස දනවයි.

වරදක් වී නම් පුද්ගලයාට නොව වරදට පහරදී එය මුලිනුපුටා දමනු විනා….වරද කරුවා හෝ කාරිය මතින් ගල් රෝලක් පැදවීම යුක්ති යුක්ත නොවන බව පවසමි. අඩු අධ්‍යාපන මට්ටමකින් යුත් මේ පිරිසගෙන් මීට වඩා යහපත් හා බුද්ධිමත් හැසිරීමක් හෝ ප්‍රකාශ බලාපොරොත්තු වීම තුල අප ලත් ඉච්ඡාභංගත්වයට ඔවුන් කෙරෙහි ද්වේශ සහගත භාවයක් අවුළුවාලීමට හේතු වීයැයි සිතමි.

හේතුං පටිච්ච සම්භූතා…යැයි බුදුරජාණන්වහන්සේගේ වරක දේශනා කලා සේම මේ සිද්ධිය පසු පසද එකිනෙකාට අනන්‍ය වූ හේතු කාරණා තිබෙනවාට සැක නැත.
ඒ සලකා බලා මානුශීය වීම පසෙක තබා තැලෙන යකඩ උඩ පැන පැන තැලීම මිනිස් කමට තරම් වේද? යන පැනය ඔබ හමුවේ තබමි.

රැඩිකල් වීමත් …වඩා මානුශීය හා යහපත් සමාජයක් උදෙසාමය….

අනුරංගා ප්‍රනාන්දු .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *