සභ්‍යත්ව රාජ්‍යයක් උදෙසා අළුගෝසු වරමක් ඉල්ලීම – දේශාන් නිම්රොද්

හෙට උදාවෙන්න නියමිත දවස මොකක් වුණත් ඒ දවස අදට වඩා ආරක්ෂිත දවසක්‍ ය කියන්න අපිට කිසිම සහතිකයක් නෑ. මුළු ඉතිහාසය පුරාම සමාජයක් විදිහට අපි අත්දැකපු සියලු අන්ධකාර මොහොතවල් වල බියකරු හෙවනැල්ල හෙට උදාවෙන්න නියමිත දවසෙත් හරි අඩක් වසාගෙන පැතිරිලා තියෙන බව අපි දන්නවා. ඒ නිසා අලුත් යමකට උපත දෙන්න හෙට දවස ඇතුළෙ වුණත් අපිට තියෙන ඉඩකඩ ඉතාම සීමාසහිතයි. ඒ සීමාසහිත බවට පුළුවන්කම ලැබිලා තියෙනවා යහපත් අනාගතයක් ගැන අපිට තියෙන හැම ආකාරයකම අපේක්ෂා සෑහෙන ප්‍රමාණයකින් දුර්මුඛ කරන්න. ඒ නිසා අපිට දැනෙන්න පටන් ගන්නවා ශිෂ්ටාචාරයක් විදිහට අපි ළඟා කරගත යුතු ඉලක්කය තියෙන්නෙ වර්තමානයට ගව් ගාණක් ඈතින් කියලා. ඒ වගේම ඒ වෙනුවෙන් අපිට තියන්න වෙන්නෙ එක බැගින් එක වෙච්ච ඉතාම කුඩා පියවර අප්‍රමාණ සංඛ්‍යාවක් කියලා. ඒ නිසා නිරායාසයෙන්ම අපි ඉතාම භයානක තැනකට තල්ලු වෙනවා. ඒ තමයි සමාජීය ප්‍රශ්න වලට අසංවේදී වීම තමන්ගෙ ජීවන විලාසය බවට පත් කර ගත යුතුය කියන නිගමනයට එළඹීම. ඇත්තටම ඒ නිගමනය සඳහා ජනප්‍රියම හේතුව වෙන්නෙ තරණය කළ යුතු අභියෝගයේ දරා ගත නොහැකි විශාල බව නිසා ඇතිවන අධික මන්දෝත්සාහී කම. සරලම වචන වලින් කිව්වොත් කට්ට කාගෙන කන්ද නගිනවට වඩා කොන්ද නමාගෙන වටේ යන එක ආතල් කියලා හිතෙන එක ! ඒ නිසා කැමැත්තෙන්ම අපි පුරුදු වෙලා ඉන්නවා පොදු සාමූහික කාරණා වෙනුවට අතිශය පුද්ගලබද්ධ දේවල් වෙනුවෙන් විතරක් අපේ මුළු ජීවිතයම ඉලක්කගත කරන්න. හබැයි ඒ වෙනුවෙන් අපි අත හරින සමාජීය වගකීම කිසිසේත්ම සුළු පටු නෑ. ඒක කොච්චර භයානකද කියල අපිට තේරෙන්න පටන් ගන්නෙ තුවාලෙ කුණු වෙලා ගඳගහන්න පටන් ගත්තට පස්සෙ. ඒ වෙනකොට අපි වටේ තියෙන සමාජයම නැවත ගොඩගන්න බැරි නරා වළක් බවට පරිවර්තනය වෙලා ඉවරයි. ඒ නිසා අපිට හිතෙන්න පටන් ගන්නවා දැන් පෙරහැර ගිහින් ඉවරයි කියලා.

ඒ මොහොතෙදි තමයි සමාජයක් විදිහට ඉතාම භයානක අත්හදා බැලීම් කරන්න මිනිස්සු පෙළඹෙන්නෙ. සමාජයට උවමනා වෙනවා පැසවපු, ඔඩු දුවපු සංකීර්ණ අර්බුද වලට ඉක්මන් විසඳුම් හොයන්න. එහෙම වෙන්නෙ එක මොහොතක අපි විසින්ම මග හැරපු සමාජීය වගකීම් නැවත අපි ජීවත් වෙන සමාජයේම පැවැත්ම අභියෝගයට ලක් කරන අර්බුද බවට පත්වෙන නිසා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අවසාන මොහොතෙදි මොන තරම් විශාල මිලක් ගෙවලා හරි ඒ බාධකය පනින්න. එතනදි තමයි මිනිස්සු පෙළඹෙන්නෙ සංකීර්ණ දේශපාලන අර්බුද වලට ක්ෂණික ද්‍රව්‍යමය විසඳුම් හොයන්න. මොන යම් සමාජ අර්බුදයක් වුණත් පිළිසිඳගන්න හේතු වුණු පදනම් සාධක ගවේෂණය කර කර ඉන්නවට වඩා මතුපිට පේන රොඩු බොඩු ටික අතුගාලා දාන එක සමාජයට ලේසියි. කුණු වෙලා ගඳ ගහන තුවාලෙට දීර්ඝ කාලීනව ප්‍රතිකාර කර කර ඉන්නවට වඩා එකපාර කකුළ කපලා දාන එක සමාජයට ලේසියි. සභ්‍යත්වය, සදාචාරය ගැන අපරාධකරුවන්ට තේරුම් කරලා දෙනවට වඩා ඒ මිනිස්සුන්ව සමාජයෙන් පිටමං කරලා දාන එක ලේසියි. එහෙම කළාට පස්සෙ ඒ මොහොතෙ පටන් මේ සමාජය සුරක්ෂිතයි කියන ව්‍යාජ හැඟීම ඇතුළෙ අපිට ටික වෙලාවක් සෙල්ලම් කරන්න පුළුවන්. ඒත් ඉතාම ඉක්මණින් පරණ පුරුදු ප්‍රශ්නෙම ආයෙමත් අපේ කකුළෙ පැටලෙන එක වළක්වන්න පුළුවන් කමක් නෑ. පොළවට යට හැංගිලා තියෙන සියලු ආකාර මූලකේශ පරණ අර්බුදයෙම අලුත් අලුත් ප්‍රභේද වලට උපත දෙන මොහොත ඉතාම ඉක්මණින් උදා වෙනවා. ඒ මොහොතෙදි අපි සමාජයක් විදිහට කරන්නෙ මොකක්ද ? වෙනත් පන්නයක ද්‍රව්‍යමය විසඳුමක් යෝජනා කරන එකද ?

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විරුද්ධව මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියලා ආණ්ඩුව කියද්දි ඒකට හුරේ දාන එක සෑහෙන ලේසි වැඩක්. ඒක තමයි මේ මොහොතෙ සමාජයේ ජනප්‍රිය ධාරාව නියෝජනය කරන මතය. නමුත් ඒ මතය මුළුමනින්ම පදනම් වෙන්නෙ උඩ සඳහන් කරපු ව්‍යාජ හැඟීම මත. මත්ද්‍රව්‍ය අර්බුදයට ද්‍රව්‍යමය විසඳුමක් දෙන එක ඇතුළෙ සමාජය සහමුලින්ම සුරක්ෂිත වේවි කියන අතාර්කික විශ්වාසය මත. එතනදි සිද්ධ වෙන්නෙ ශිෂ්ටාචාරයක් විදිහට සාමූහිකව නිර්මාණය කරපු අර්බුදයකට තනි තනි පුද්ගලයින්ට වගවෙන්න බල කරන එක. මත්ද්‍රව්‍ය ජාවාරම වුණත් මේ මොහොතේ සමාජයේ පැවැත්ම අභියෝග කරන වෙනත් ඕනෑම ආකාරයක අර්බුදයක් වුණත් අපි විසින් යම් නිශ්චිත මොහොතක මග අරින ලද සමාජ වගකීමක ප්‍රකාශනයක් විදිහට පිළිගන්න මේ සමාජය කොයි මොහොතකවත් සූදානම් නෑ. ඒ වෙනුවට සමාජය ඉදිරිපත් වෙන්නෙ පව්කාරයින්ට ගල් ගහන්න ! අපරාධකරුවන්ව කුරුසිපත් කරන්න ! මුළුමහත් ශිෂ්ටාචාරයක වගකීම මිනිහෙක්ගෙ දෙන්නෙක්ගෙ ලේ වල වන්දියෙන් ගෙවන්න කියල අත පිහදගෙන පැත්තකට වෙන්න !

අනිත් අතට මේ වැඩෙන් සමාජයට සෑහෙන “ත්‍රිල්” එකකුත් ලැබෙනවා. මේ සිස්ටම් එක ඇතුළෙ දිනපතා අපේ ඔලු වලට පොම්ප කරන නරුමත්වය මොන යම් මොහොතක හරි යම් ආකාරයක ප්‍රචණ්ඩත්වයක් විදිහට පුපුරලා යන්නම ඕනෙ. එහෙම නැතුව මේ සමාජයට “ත්‍රිල්” එකක් නෑ. මේ සිස්ටම් එකට ප්‍රචණ්ඩත්වයෙන් තොර පැවැත්මක් නෑ. යුද්ධ, ජාතිවාදී කලකෝලාහල, මංකොල්ලකෑම්, මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර වගේ දේවල් හිතාගන්න බැරි තරම් සුලබ වෙලා තියෙන්නෙ ඒ නිසා. ඒ මොකක් නැතත් අඩු තරමෙ ගෘහස්ථ හිංසනය විදිහට හරි ප්‍රචණ්ඩත්වය ප්‍රකාශයට පත්වෙන එක තමයි මේ සිස්ටම් එකේ යතාර්ථය. මරණ දඬුවම හරහාත් මේ සමාජයට ලැබෙන්නෙ ඒ ආකාරයේම “ත්‍රිල්” එකක් මිසක් වෙන මුකුත් නෙවෙයි. ඒ නිසයි සාතිශය බහුතරයක් මිනිස්සු සෘජුව හෝ වක්‍රව මේක අනුමත කරන්නෙ. ඒ නිසයි මිනිස්සු කියන්නෙ “මුන්ට ගහලා හරි හදන්න ඕනෙ” කියලා ! “එකෙක් මැරුවොත් තමයි අනිත් උන් ඉගෙනගන්නෙ” කියලා ! ඒ නිසයි මේ සමාජයෙ මිනිස්සු සභ්‍යත්ව රාජ්‍ය නාම පුවරුවට මුවා වෙලා අළුගෝසු වරමක් ඉල්ලන්නෙ ! එක පැත්තකින් ඒක අර්බුදයට “බයිපාස්” එකක්. අනිත් පැත්තෙන් ඒක සමාජයට “ත්‍රිල්” එකක්. හැබැයි එහෙම හිතන මිනිස්සුන්ට අමතකයි මේ එලන දැලේ නූල් පොටවල් වල අන්තිම කෙළවරේ තමන්ගෙම දරුවෙක්ගෙ වුණත් ජීවිතයක් තියෙන්න පුළුවන් බව ! මුළු සමාජයක්ම අළුගෝසු වරමක් ඉල්ලද්දි ඒ අළුගෝසුවන්ට බෙල්ල දෙන්න වෙන්නෙත් මේ සමාජයේම දරුවන්ට බව !

කොහොම නමුත් අවසාන වශයෙන් අපිට සමාජයක් විදිහට යම් තෝරගැනීමක් කරන්න වෙනවා. අපිට පුළුවන් තව එක මොහොතක්වත් පමා නොකර සියලු හේතු මූලයන් එක්කම වල්පැළෑටි උදුරන වැඩේ පටන් ගන්න. ඉක්මණින් නොවුණත් ඉතාම ප්‍රවේශමෙන් යුතුව මේ දේශපාලන අර්බුදයට ප්‍රති දේශපාලනික උත්තරයක් හොයන්න. සාමූහිකව සමාජයට වග වෙන පුරවැසියන්ගෙන් සමන්විත සමාජයක් ගොඩනඟන වැඩේ පටන්ගන්න. සියලු අර්බුද වලට, සියලු අපරාධ වලට උපත දෙන පදනම් සාධක මුලිනුපුටා දාන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් තවත් වතාවකට ඇත්ත ප්‍රශ්නෙ මග අරින්න. සදහටම අර්බුදය අවසානයි කියලා ඉතාම තාවකාලික ව්‍යාජ තෘප්තියක් ගන්න. ඊට පස්සෙ ඉතාම ඉක්මණින් මේ අර්බුදයෙම වඩා සංකීර්ණ ප්‍රභේදයක් එක්ක ගනුදෙනු කරන්න !

දේශාන් නිම්රොද්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *