රිලේ දුවා රත්තරන් දිනූ අපේ කොල්ලෝ

ජපානයේ ගිෆූ නගරයේ පැවති 18 වැනි ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ අද පැවති මීටර් 400 පිරිමි සහ මීටර් 400 පිරිමි සහාය දිවීමේ ඉසව් දෙකෙහිම රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා මීටර් 400 ධාවන කණ්ඩායම සමත් විය.
මීටර් 400 පිරිමි ධාවන ඉසව්වට සහභාගි වූ අරුණ දර්ශන එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ කණිෂ්ඨ ජාතික වාර්තාවද සිය නමට ලියා ගනිමිනි. ඔහු තත්පර 45.79 ක කාලයක් වාර්තා කළ අතර මීට පෙර මෙහි ජාතික වාර්තාව හිමි කරගෙන සිටියේ රොහාන් ප්‍රදීප් කුමාර විසිනි. මෙම ඉසව්වේ රිදී පදක්කම ද ලංකාවට හිමි වූ අතර ඒ පසිඳු කොඩිකාර තත්පර 46.96 කි එම ඉසව්ව අවසන් කිරීම හේතුවෙනි.

මීටර් 400 සහාය දිවීමේ ඉසව්වට සහභාගි වූ අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, පබසර නිකූ සහ රවිෂ්ක ඉන්ද්‍රජිත් මිනිත්තු 03.08.70 ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

මීට අමතරව මාරිස්ටෙලා වසන්ති මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර ඒ සඳහා ඇය ගතකළ කාලය විනාඩි 10.21.54 කි. එයද නව ජාතික කණිෂ්ඨ වාර්තාවකි.

මීටර් 100 සහ මීටර් 200 කාන්තා ඉසව් සඳහා සහභාගි වූ අමාෂා ද සිල්වා එම ඉසව් දෙකේම රිදී පදක්කම් දිනා ගත්තේ පිළිවෙලින් තත්පර 11.71 ක් සහ 24.47 ක කාලයක් වාර්තා කරමිනි. මීටර් 400 කාන්තා ඉසව්වේ රිදී පදක්කම ඩිල්ෂි කුමාරසිංහ දිනාගැනීමට සමත් වූ අතර ඇය වාර්තා කළ කාලය තත්පර 54.03 කි. මීටර් 800 ධාවන ඉසව්වට ද සහභාගි වූ ඩිල්ෂි ලෝකඩ පදක්කම දිනා ගත්තේ ජාතික කණිෂ්ඨ වාර්තාව ද සිය නම ඉදිරියේ ලියා ගනිමිනි. ඒ සඳහා ඇය ගතකළ කාලය විනාඩි 2.04.53 කි.

මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේදී ඉෂාරා ආදිත්‍යා, සචිනි දිව්‍යාංජලී, අමාෂා ද සිල්වා සහ ඩිල්ෂි කුමාරසිංහ ලෝකඩ පදක්කම දිනා ගත්තේ විනාඩි 3.45.16 ක කාලයක් වාර්තා කරමිනි.

ඒ අනුව ශ්‍රී ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 03 ක් රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් විය. මෙහි විශේෂත්වය වන්නේ ආසියානු කණිෂ්ට මලල ක්‍රීඩා ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව දක්වා ඇති හොඳම දස්කම මෙවර වාර්තා කිරීමයි.

පැවති තරගාවලි 17 පුරාම ශ්‍රී ලංකාව දිනාගෙන ඇත්තේ රන් පදක්කම් 04 ක් රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *