අද මහ අමුතු දවසක්.. !

කවදටත් වඩ මට උඹව දැණෙනවා.. !!

හිත කකියවන වේදනාවල් මුලු ඇග පුරාම දුවලා.. !

මතක හරි ලස්සනයි, උඹත් ඇස් මානේ හිටියනම්..!හෝඩියේ මුල්ම අකුරු අත්තම්මා කියවද්දී, අද වගේ මතකයි මගේ දකුණු පැත්තෙන් අම්මා හිටියා. මහ මෙරක් තරම් සෙනෙහසක් හදවතේ ගොඩ ගහගෙන පුතේ කියලා හැමවෙලේම කතා කරා. රැව් පිළි රැව් දෙන ඒ වචන හිතට හරිම සමීපයි..මගේ අම්මා කවදාවත් මට අම්මි වුණේ නෑ.. !අම්මා.. අම්මා විදියට තියා ගන්න මට ඕන වුණා.ඒම වුණත්,

ලෝකය දකින්න, මිනිස්සු අදුරගන්න, මටම කියලා ආත්ම ගරුත්වයක් ගොඩ නගා ගන්න මාව හුරු කරේ තාත්තා.. හුගක් වෙලාවට, හුගක් අය කියන්නේ. ඔයා “තාත්තා වගේ” කියලා. !

ඒම කියද්දී, හීනියට වගේ ආඩම්බරකමකුත් ඇති නොවෙනවාමත් නොවෙයි..

තාත්තගෙ ආදරේ මම වින්දේ හදවතින්.. අපි අපිව තේරුම් ගත්තේ හදවතින්.. මම.. තාත්තා..
සමස්ථයක් විදියට ගත්තම මේ තාත්තයි, මේ දුවයි කතා බහ කර ගත්තෙ හදවත් වලින්..

දුක හිතුණම දුවන් යන්න තාත්ගෙ උකුළ හැමදාම මම වෙනුවෙන් තිබුණා. ඒ උකුළෙ ගුළි වෙලා දුක නැති වෙනකම් අඩන්නත් මට රිසියේ නිදහස තිබුණා. ඒ හින්දම මම කවදාවත් අඩන්න නම් බය වුණේ නෑ.! තාත්තා මම වෙනුවෙන් ඉන්නවා කියලා හැම වෙලේම මම දැණගෙන හිටියා..

විනිවිද පෙනෙන ජනේලයෙන් ඈතම ඈත ඉම බලාන ඉද්දී, මුහුදු හුළං එක්ක මම හුගක් දුර ගහගෙන ගියා..
ඒ හුළග මාව එක්කරන් ගියේ තාත්තේ උඹේ මතක අස්සෙන්.. !

පිටිම පස්සේ සීට් එකේ, ජනේලෙට හේත්තු වෙලා බලාගෙන ඉද්දී, ඔය ආදරේ මතක් වෙලා ඇස් මානෙට කදුළුත් නාවම නෙවෙයි.. !

ජීවිතේ මොකක්ද කියලා වෙලාවකට හිතෙනවා.. මට නොතේරෙන එකම තැනක උඹ මාව හැමදාම හිර කරවනවා..
ඕනම දේවල්, ඕනම මිනිස්සු , ඕනම කාලෙදි, ඕනම වෙලාවල් වලදි මගේ ඇස් මානේ පේන ඉමකවත් නැති වෙද්දී, පුදුම විදියට අසරණ වෙනවා. !

ඉස්සර වගේ මට දැන් දුවන් ඇවිත් දුක කියලා අඩන්න උකුළක් නෑ.. ! ඒ නිසාම මම අඩන්න දැන් හරි බයයි.. ඒ දවස් වල උඹ නපුරු වෙලා හරි මගේ ළග හිටි හින්දම මම අඩන්න බය වුණේ නෑ.. මගේ කදුළු වල බර මට දැණුනෙම නෑ. !

දැන් මගේ කදුළු මාවම රිද්දනවා. බැදීම්, ආදරේ, ජීවිතේ.. මතක අස්සෙන් ආයෙම ජීවිතයක් හොයනවා.-
යටපත් කරන මතක වලට මම තනිවෙන හැම වෙලේම පණ එනවා.. ! ඒ මතක මතක හරිම සියුම් විදියට පපුතුහිර වලට කිදා බහිනවා.!

කැකුළු බත් එක්ක , පොලුයි, මාළුයි කන්න උඹ හරිම පෙරේතයි. ඒ බත් එකේ ලොකුම මාළු කෑල්ල මිරිස් යනකම්ම පිහදලා උඹ මගේ පිගානෙන් තියනවා…

උදේට ගෙදරින් යද්දී, ඔය කකුල් දෙක අල්ලලා වැන්දම පහත් වෙලා උඹ මගෙන් හාදුවක් ඉල්ලනවා…
කොච්චර වයසින් ලොකු වුණත්, උඹ මගෙන් ඈත් වෙනකම්ම මම උඹ එක්ක ළුෑණු කරේ ගියා…

කෝටු පාර හිටිනකම්ම තරවටු කරත්, මොහොතකින් උඹ මාව තුරුළු කර ගත්තා..
මගේ පිස්සු වැඩ වලට, උඹ ආදරෙන් හිනා වුණා..

රෑ ජාමෙට ලෙඩ වෙලා, මගේ පපුව ගැහෙද්දී, ඒ හා සමානව උඹේ පපුවත් ගැහුණා මට දැණුනා.. !

රෑ අහසට ආදරේ කරද්දී, තරු අස්සේ හැන්ගිලා කතා ලියන්න මාව හුරු කරා.. !

ඒ තරු වලට දිදුලන්න හිමීට උඹම කියා දීපන් කියලා, සීරුවට වගේ කීවා.. !

අද ඒ තරු අහස පුරාම දිදුලනවා.. !! ඒත් උඹ නැති අඩුව මේ හිත පුරාමත්.. රෑ අහස පුරාවටත් දැණෙනවා.. ! ඇග හිටි වට්ටන ඒ මතක මම ගුළි කරගන්නවා දුක වේදනාව එක්ක.. !!

තාත්තේ..,

මතක හරි ලස්සනයි..උඹත් ඇස් මානේ හිටියනම්..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *