මධුර යාමේ ! – ශානිකා ශෂීප්‍රියා

ස්වේත සඳ නීලම්ඹරෙන් බැස
මල් කුමුද්දක් ළඟ සලු උනා
පිනි වෑස්සෙන රෑ ළපළු තුරු හිස
මනමාල මල් කැටයම් කලා

නිල් තරු කැටක් හරි ආදරෙන්
බිම් මලක ගෙල මුල සැතපිලා
රෑ බදුල්ලෙක් ලා රෝස පෙත්තක
මකරන්ද දෙතොලින් හිස්කලා

රෑ සුරඟනක් පය ගිගිරි සලමින්
හදවතේ තෙත අඩි තියා
දිවයද්දි ගිලිහී සළඹ මුතු ඇට
නොනිදනා රැයකට ඉඟිකලා

දෙ’කඳු මැද උණුසුම්ම නිම්නයෙ
සෙමෙන් වැතිරී හිස හොවා
මත් දෙතොල් සලිතව පිපාසෙන්
සුන්දරම ගින්දර ඇරඹුනා

මහෝඝය සේ සැනින් ලුහුබැඳ
රසෝඝය සියොළඟ වෙලා
ළය’ගිරේ ගුළිවුනු කැකුළු පොහොට්ටුව
එක හුස්මකට විකසිත උනා

සලා මුවරඳ රේණු තුඩ තුඩ
රස විලේ ස්වර’ගුළු ඇහැරුනා
පයතුඩින් අවදිව හැඟුම් විහඟුන්
හිස් මුඳුනතත් සිඹ ඉගිලුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *