තරග දිනලා නැති ඒත් හදවත් දිනූ බිංගිරියේ ලකී

බිංගිරියේ සහ අවට තවමත් ජනප්‍රිය කීඩාවක් වන්නේ පාපැදි ධාවනය බව පසක් වන්න වැඩිවෙලාවක් යන්නෙ නැහැ . පාට පාට වෙල්ක්‍රෝ වලින් සැරසුණු උද්‍යෝගිමත් ක්‍රීඩකයින් උදෑසනම පාරට බැහැලා. පුංචි පුංචි පොකුරු වලට එක්වී මේ යන ගමන පුදුමාකාර වින්දනයක් ඇති දෙයක්. මේ අතර පානවැවේ වෙල්යාය මැද්දෙන් හලාවත පැත්තට තනිවම හිසනමාගෙන බයිසිකලේ පදින කෙට්ටු ක්‍රීඩකයයෙක් අපිට දුරින් පෙනුනා . කිට්ටුවට එද්දි අපි හදුනා ගත්තේ ඒ වෙන කිසිවෙක් නොව ඒ බිංගිරියේ ලකී බවයි. අහිංසක කියන කියන වචනය බයිසිකලය යන වචනය සමඟ එක් කෙරුවා නම් ඒ “බිංගිරියේ ලකියා” කියන නම හැර වෙන කිසිවක් නොවෙයි.

1993 විතර අපි පොඩි කොල්ලො . සත්කුමාර, රෙජී , ක්වින්ටස් සහ ලංකා සවාරි ජයග්‍රාහක වසන්ත කුමාර පාර හොල්ලපු කාලේ ලකී අයියා බොහොම නිහතමානී ලෙස රේස් වලට සහභාගී වුනා. අපි පාරට ඇවිත් රේස් බලද්දි ලකී අයියත් පොකුරෙ කොහේ හරි දතකාගෙන යනව දකිනවා. ලකීට එච්චර සල්ලි තිබුණු කෙනෙක් නෙමෙයි. රේස් පදින්න සල්ලි ඕන. පෝශණය ඇති ආහාර හතරවේලක්වත් අඩුම තරමේ ගන්න ඕන. ලකී කුලීවැඩක් කරගෙන තම පවුල රැකබලාගත්තු කෙනෙක්. හරිහමං බයිසිකලයක් තිබුනේ නැහැ . හුඟාක් අයට ලකී විහිලුවක් උනා. ආහ් ලකීත් පදිනවාද? එහෙනම් පස්සෙන් එයි. ඒත් ලකී කට වහගෙන පැද්දා . ලකී අත ඇරියෙ නැහැ . හැමදාම පටන්ගත්ත තරඟය අවසන් කලා. ලකී පාපැදි ක්‍රීඩාවට කෙතරම් ආදරයක් කලාද කියන්න‍ෙ වෙන උං බයිසිකලේ විසිකරල පාපැදි කීඩාව දිහා ආයෙ නොබලන තැනකට වැටුනත් ඔහු කට වහගෙන පැද්දා .

ලකීට දැන් වයසයි. ඒත් ලකී තවම පාපැදිතරඟ වලට සහභාගී වෙනවා. තමන්ගේ සිහිනය වෙත නොසැලී යන මිනිස්සු කීයෙන් කීයද අපි දැකල තියෙන්නේ . ලකී ගැන මම කිහිප දෙනෙක්ගෙන් ඇහුවා . ඒ හැම දෙනාගෙම පිලිතුරු වල අඩංගු එක් දෙයක් තිබුනා . ඒ ලකී කෙරෙහිවූ ආදරනීය ගෞරවයය්. ලකීට ඉස්සර මිනිස්සු හිනාවුනේ රේස් දිහා මිනිස්සු බැලුවෙ දිනන්න ඕන කියන අදහසින් නිසා. ඒත් ලකීගේ අගය තිබුණේ ඔහුගේ ආත්මය තුල. නොසැලෙන ධෛර්යය , නොනැසෙන වීර්ය ඔහුගේ සිහිනය ජීවත් කරනවා.
ලකී කවදාවත් රේස් දිනල නැතිව ඇති. ඒත් ඔහු අපේ හදවත් දිනාගත්තා. 1993 පෙබරවාරි පාන්දරක මාව මගේ ජීවිතයේ පලමු වතාවට පුහුණුවීම් කරන්න රැගෙන ගිය මේ නිශ්ශබ්ද මිනිසාට මේ මාගේ උපහාරය. ඒ ලස්සන හිනාව මේ ලෝකෙ මිනිස්සු දැකිය යුතුයි .

මහී රංගන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *