ජාතික සභාව, විපක්ෂය සහ අධීක්ෂණ කාරක සභාවන්ගේ ඉරණම

පාර්ලිමේන්තුවේ දී ජාතික සභාවේ පළමු නිල රැස්වීම ට ආණ්ඩුව සහ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ කිහිපයක්ම පැමිණ තිබුණි.  ජාතික සභාව වර්ජනය කරන බව පවසා තිබූ සමගි ජනබලවේගයේ සහභාගීත්වය ලක්ෂමන් කිරිඇල්ල, මනෝ ගනේෂන්, රවුෆ හකීම්, චම්පික රණවක, පලනි දිගම්බරම්, රිෂාඩ් බදුර්දීන් ලබාදී තිබුණි. නම් කළ පිරිසෙන් පැමිණ නොසිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පමණී.

ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඩලස් කණ්ඩායම සහ විමල් වීරවංශ කණ්ඩායම ජාතික සභාව විවේචණය කරති. විමල් ගේ පක්ෂය ජාතික සභාව දකින්නේ මළ ගෙදර බූරුවා ගැහීමක් ලෙස දැඩි විවේචනයකි.

ජාතික සභාව, පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාවන් ගේ දිගුවකි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද පවතින මේ ක්‍රමය පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා විපක්ෂය සෘජුව හා ක්‍රියාකාරී ලෙස සහභාගි කරවා ගැනීම සඳහා සකස් වි ඇත්තකි.

ව්‍යවස්ථාදායකයේ ආණ්ඩුු පක්ෂය හා විපක්ෂය ජාතික වැදගත්කමකින් යුතු කරුණු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරිම සඳහා අවස්ථාවක් සැලසීම ජාතික සභාවේ ද, පාර්ලිමේන්තු ආංශික කාරක සභාවන්ගේ ද, කෝප්, කෝපා කමිටුවල ද පරමාර්ථයයි.

දැනට පවතින කමිටුවලට අමතරව අලුතෙන් බැංකු හා මුල්‍ය කටයුතු, ආර්ථික ස්ථායිකරණ, (Ways and Means) ව්‍යවසායකරන ක්‍රම සහ විධි කාරක සභාව, මුල්‍ය අර්බුදය වගකීම් කමිටුව, 2020, 2021, 2022 රාජ්‍ය මුල්‍ය නැවත විමසුම් කමිටුව, නව මුදල් පනත පිළිබඳ කමිටුව, මන්ත්‍රීවරුන්ගේ ආචාර ධර්ම යන කමිටු අලුතෙන් පිහිටුවීමට ද යෝජිතය.

මේ සියළු කමිටුවලට උඩින් උත්තර කමිටුවක් ලෙස ජාතික සභාව දැන් ස්ථාපනය වී ඇත. මුලින් එයට යෝජනා වී තිබුණේ පක්ෂ නායකයින් පමණී. නමුත්, දැන් පක්ෂ නියෝජිතයින් ද එයට ඇතුලත් වී ඇත.
කමිටු ක්‍රමය තුල ‘ජාතික සභාව‘ පමණක් විවේචණය කරන පාර්ලිමේන්තුවේ සමහර පක්ෂ එහිම කොටසක් වන කෝප්, කෝපා, මුදල්, සහ අනෙකුත් ආංශික කාරක සභාවන්ගේ සභාපති ධූරය සහ සමාජිකත්වය අපේක්ෂා කරති. සජබ නියෝජනය කරන හර්ෂ ද සිල්වා දැනටමත් මුදල් කමිටුවේ සභාපති ධූරයට පත් කර ඇත. ඔවුන් කෝප් කෝපා කමිටු දෙකේ සභාපති ධූරයට එරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් මහත්වරුන්ට ඉල්ලා ඇත. ක්‍රම සහ විධි කාරක සභා මුල් පුටුවට චම්පික රණවක මහතා ගේ නම යෝජනා වී තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ හරිනි අමරසූරිය මහත්මිය ද කෝප් කමිටුවේ සභාපති ධූරය ලබා ගැනීමේ අපෙක්ෂාවෙන් පසුවේ.

ජාතික සභාවේ කාර්ය ප්‍රමුඛ කාර්යය තුනකි

1. ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරිම සඳහා මග පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීම

2. ආර්ථික ස්ථායිකරණයට අදාල කෙටි හා මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් ඒකඟතාවයට පැමිණීම

3. අරගලයේ ඉල්ලීමක් වූ යොවුන් සංවිධානවල යොවුන් නිරීක්ෂකයින්ට (සමාජිකයින් 5 දෙනා බැගින් කමිටු සමාජිකයින් 50 කට වැඩි සංඛ්‍යාවක් — සමහර විට 80 ක් පමණ) පත් කිරිමට යි.

මේ කරුණු තුනම සාමුහිකව ගත යුතු තීරණ මිස, හුදු ජනප්‍රිය පක්ෂ දේශපාලන මෙවලම් නොවේ. දුෂ්කර, ජයප්‍රිය නොවන, ජනතාවගේ විවේචණයට බදුන් විය හැකි කරුණුය. විපක්ෂයේ සිට විවේචණය කිරීම පහසුය. ක්‍රියාත්මක කළ හැකි ජාතික වැඩපිළිවෙලක් ඉදිරියට ගැනීම පහසු නැත.

කාරක සභාවල සභාපති ධූරය දැරීම විපක්ෂය අතිශයින්ම වෙහෙසකර සහ කැපවීමෙන් කළ යුතු වගකීමක්. ආණ්ඩුවේ සිටියත්, විපක්ෂයේ සිටියත්, වැඩේ පහසු නැත. දැනුම, බුද්ධිය, කලමනාකරණ හැකියාව, නැති අයෙකුට කාරක සභා මෙහෙයවිය නොහැකිය!

ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ කමිටු හැසිරවූ ප්‍රශස්ත ආකාරය අද බොහෝ දෙනාට අමතක වුවත්, සුනිල් හදුන්නෙත්ති, හර්ෂ සිල්වා, චම්පික රණවක කමිටු මෙහෙයවන ආකාරය විශිෂ්ඨය. ආණ්ඩුවේ හිටියත්, විපක්ෂයේ හිටියත් ජාතික ප්‍රතිපත්ති හදන්නට ඔවුන් දක්වූ, දක්වන දායකත්වය විශිෂ්ඨය. පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙන්නට ලියවුණු 7 අපේ පොත ගැන අධ්‍යාපන කමිටු රැස්වීමේ දී භික්ෂූන්වහන්සේලා දමනය කරන්නට සභාපති ට හැකි වුණා.

ප්‍රතිපත්ති වෙනුවට මාධ්‍ය සංදර්ශන
පාර්ලිමේන්තුවේ උදේ පැය දෙක වෙන් වෙන්නේ, දවසේ ප්‍රවෘත්ති නාලිකාවලට රස කෑලි සපයන්න කියලා අදහසක් රටේ තියෙනවා. ලංකාවේ අදහසක් තියෙනවා, හොරු අල්ලන්න තමයි, මේ පාර්ලිමේන්තු කමිටු තියෙන්නේ කියලා. මාධ්‍ය අවධානය ලැබෙන කමිටුවලට එන එකත්, ජාතික වැදගත්කමක් තියෙන අනිත් කමිටු අතහරින එකත් ජයප්‍රිය පක්ෂ දේශපාලනය මිසක් ජාතික දේශපාලනය නෙවෙයි.

අරගලය සහ ජාතික සභාව

ජාතික සභාවේ වැදගත්ම වැඩ තුනෙන් එකක් තරුණයින් 5 කට පාර්ලමේන්තු කමිටුවලට සහභාගීවීමේ අවස්ථාව සලසා දීමයි. තරුණයින් අතර මේ කමිටු සමාජිකත්වය ලබා ගැනීමට විශාල උනන්දුවක් තිබේ. මේ තරුණයින්ට පළාත් ප්‍රධාන අමත්‍යවරයෙකුට, පළාත් ඇමතිවරයෙකුටවත් හිමි නොවන අවස්ථාවක් ලැබීම අනාගත දේශපාලන ආයෝජනයකි.

කෝපා – කෝප් කමිටු සභාපති පුටු තරඟය
එජාපය පාර්ලිමේන්තුවේ බලය ගත් අවස්ථා දෙකක දී ම, කෝප් – කෝපා කමිටු දෙකේ සැලකිය යුතු බලයක් විපක්ෂයට ලබා දුන්නා. කාරක සභා සම්බන්ධයෙන් ද තත්වය එයමයි. සජබයෙන් පත් වුණු, හර්ෂ සිල්වා මහතා මුදල් කමිටුවේ සභාපති ධූරයට පත්වී තිබෙන්නේ ද ඒ අනුවයි. 2002 දී (ජෙයරාජ්) හා 2015 (සුනින් හදුන්නෙත්ති) ට කෝප් එක දුන්නේ විපක්ෂයට අවස්ථාව දීමේ ප්‍රතිත්තිය අනුවයි.

පාර්ලිමේන්තු කමිටු ක්‍රමය කියන්නේ ලෝක ව්‍යවහාරයේ තියෙන සාර්ථක ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියකි. එය එක්කෝ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක විය යුතුය. නැතිනම් ප්‍රතිකේෂ්ප කළ යුතුය. අවසනාවකට අද ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂය සිදු කරමින් ඉන්නේ තමන්ට දේශපාලන වාසියක් ලබාගත හැකි කමිටු බදා ගැනීමත්, සැබෑ ලෙසම ප්‍රතිපත්ති සම්පාදනයට හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයකට බලපැම් කළ හැකි කමිටුවලින් ඇඟ බේරා ගැනීමත් ය.

ජනාධිපති බලතල අඩු කිරිම, බදු ප්‍රතිපත්ති, අන්ත දිළිදු ජනතාව වෙත සමාජ ආරක්ෂණ ජාලයක් සැකසීම, රාජ්‍ය මුල්‍ය පාලනය, පාඩු ලබන ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීම, ආහාර සුරක්ෂිතතාවය වැනි ප්‍රමුඛ කේෂ්ත්‍රයන් කෙරෙහි අවම එකඟතාවයන් කටයුතු කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල වගකීමකි. එය ලාබ දේශපාලන න්‍යා පත්‍ර වෙනුවෙන් අත නොහැරිය යුතු වගකීමකි.

රජිත් කීර්ති තෙන්නකෝන්

Leave a Reply

Your email address will not be published.