ලංකාවේ ආහාර හිඟය හා එහි පිළියම්වල හිල්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන ඇතුළු තවත් සංවිධාන ද ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. මේ පසුබිමේ වඩාත් පීඩාවට පත්ව ඇත්තේ නැති බැරි දුප්පත් ජනතාවය. ප්‍රමාණවත් පරිදි ආහාර මිල දී ගැනීම සහ පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම අතින් ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව පෙනේ. අනාගතයේ දී බැරෑරූම් ලෙස සැලකිය යුතු ප්‍රශ්නය ද මෙයයි.

2022 වර්ෂයේ අවසන් කාර්තුවේ දී රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිෂ්පාදනය කළ නොහැකි වනු ඇති බව මේ වසර ආරම්භයේ දී විද්‍යාත්මක දත්ත අනුසාරයෙන් කෘෂි විද්‍යාඥයෝ පුරෝකථනය කළහ. මෙරට මාසික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 195000 ත් 200000 ත් අතර ප්‍රමාණයකි. වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 23ත් 24ත් අතර ප්‍රමාණයකි. 2008 වර්ෂයේ සිට රටට අවැසි සහල් නිෂ්පාදනය කෙරුණු අතර අතිරික්තයක් ද පවත්වා ගැනීමට හැකි විය. එහෙත් අද වන විට රටට අවැසි සහල් ප්‍රමාණය නිෂ්පාදනය කළ නොහැකි තරමට කෘෂිකර්මාන්තය බිඳ වට්ටවා ඇත.

රටක ආහාර සුරක්ෂිතතාව ඇති කර ගත හැකි ක්‍රම දෙකක් තිබේ. පළමුවැන්න නම්, කෘෂිකර්මාන්තයෙන් ආහාර සුරක්ෂිතතාවට දක්වන දායකත්වය උපරිම කර ගැනීමය. දෙවැන්න වන්නේ, එසේ කළ නොහැකි වුවහොත් ‘හිඟ ආහාර ප්‍රමාණය ආනයනය කිරීමය. එවැනි තත්ත්වයක් ඇති වන බවට කෘෂි විද්‍යාඥයන් හැටියට අප රජයට පුරෝකථනය කළේ අවශ්‍ය පියවර නිසි පරිදි ගැනීමට මිස අතපය හකුළුවා ගෙන සිටීමට නොවේ. අපේ එම පුරෝකථනයට යම් පමණක ඇහුම්කන් දීමක් කර ඇති බවක් ද පෙනේ. ඒ අනුව, මේ වසරේ මුල් මාස හයක කාලය ඇතුළත සහල් මෙට්‍රික් ටොන් හාර ලක්ෂ විසි හතර දහසක් පමණ ආනයනය කර ඇත. ඊට අමතරව විවිධ රටවලින් මානුෂීය ආධාර වශයෙන් සහල් ටොන් 45000 ක් පමණ ලැබිණ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 63 ක පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයට පත්ව සිටින බවය. එම සංඛ්‍යා දත්ත තහවුරු කරමින් ලෝක ආහාර වැඩසටහන සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එක්ව මෙරට ආහාර සුරක්ෂිතතාව පිළිබඳව දීපව්‍යාප්ත මට්ටමන් සිදු කරන ලද සමීක්ෂණයකින් ප්‍රකාශ කර සිටියේ ආහාර අහේනිය රටේ විශාල පිරිසකට බලපා තිබෙන බවය. ගෙවුණු මාස කිහිපය ඇතුළත සහල් ආනයනය කළ නිසා මේ වසරේ ඉදිරි මාස කිහිපයේ දී සහල් හිඟයක් ඇති නොවන බව කිව හැකිය. මේ වන විට යල කන්නයේ අස්වනු නෙළමින් පවතී. 2023 වසරේ පළමු කාර්තුව සඳහා ප්‍රමාණවත් සහල් අස්වැන්නක් ලබා ගත හැකි ද යන්න ගැන අවධානයෙන් පසුවීම ඉතා වැදගත්ය.

සහල් මිල අඛණ්ඩව අඩු වුවහොත් එයින් පීඩාවට පත් වන්නේ වී නිෂ්පාදක ගොවි ජනතාවය. ඒ, වී සඳහා ගොවීන්ට ගෙවන මිල ගණන් ද අඩු වන නිසාය. එබැවින් මේ අවස්ථාවේ සහල් ආනයනය ක්‍රමානුකූලව අඩු කිරීමට පියවර ගත යුතුය. මීළඟ මහ කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වන්නේ ලබන වසරේ මාර්තු අප්‍රේල් කාලයේය. අස්වනු නෙළූ විගස වෙළෙඳපොළට පැමිණෙන්නේ නැත. ඒ සඳහා යම් කාලයක් ගත වේ. එම කාලයට අවශ්‍ය සහල් සම්පාදනය කිරීම ද අවැසිය. එබැවින් අප ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුත්තේ මනා විශ්ලේෂණයකින් පසුවය.

මීළඟට අවධානය යොමු කළ යුතු වැදගත් කාරණය නම්, මන්දපෝෂණ තත්ත්වයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ලෝක ආහාර වැඩසටහන සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයත් සැඟවුණු කුසගින්න යන්නෙන් විස්තර කර තිබෙන්නේ මෙරට වැඩෙමින් පවතින මන්දපෝෂණ තත්ත්වය ගැනය. මන්දපෝෂණය සහ ඌන පෝෂණය ලංකාවට අලුත් දෙයක් නොවේ. එය කාලයක් තිස්සේ තිබෙන ප්‍රශ්නයකි.

ප්‍රධාන ආහාරය වන සහල්වලින් ඔබ්බට ගොස් සෙසු පෝෂ්‍යදායී ආහාර ළඟා කර ගත නොහැකි තත්ත්වයක් ඇති වුව හොත් පූර්වයෙන් සඳහන් කළ ලක්ෂ 63 ක ජනතාව අතර මන්ද පෝෂණ තත්ත්වයෙහි වර්ධනයක් දැකගන්නට ලැබෙන්නේ ඉදිරි වසර දෙක තුනක කාලයේදීය. ඒ වන විට ඊට පිළියම් යෙදීමට ඇති හැකියාව ද හීන වී තිබෙනු ඇත. මන්දපෝෂණ තත්ත්වය ඇති වීම සහ උග්‍ර වීම වැළැක්වීම අවැසිය. අප විද්‍යාඥයන් හැටියට ගෙවතු වගාවට ජනතාව උනන්දු කළේ ද බත් පතට පෝෂණීය ආහාර ද්‍රව්‍ය එකතු කර ගැනීමේ අරමුණෙනි.

මන්දපෝෂණයෙන් වැඩි වශයෙන් බලපෑම් ඇති වන්නේ දරුවන්ට ගර්භණී මාතාවන්ට සහ කිරි දෙන මවුවරුන්ටය. එසේම වැඩිහිටියන්ට ද එයින් බලපෑම් ඇති වේ. ආහාර හිඟය අපගේ ශරීරයට දැනෙන පරිදි සිදු වුවද ආහාරවල පෝෂ්‍ය ගුණය නැති වීම නිසා උද්ගත වන මන්දපෝෂණය තත්ත්වය අනාගතයේ දී වර්ධනය වන්නේ අප නොදැනුවත්වය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ලෝක ආහාර වැඩසටහන සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයත් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති වාර්තාවෙහි අන්තර්ගත වැදගත්ම පුරෝකථනය මෙය බව මගේ වැටහීමයි. අප වහා පිළියම් යෙදිය යුත්තේ ද එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීම පිණිසය. සහල් හිඟ නම් ඒවා ආනයනය කර ජනතාවට ලබා දිය හැකිය. එහෙත් පෝෂණීය ආහාර ලබා දීම මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ.

එම වාර්තාවෙන් මේ වසරේ ඔක්තෝබර් හා දෙසැම්බර් වන විට මෙරට ඇති විය හැකි ආහාර හිඟය ගැන ද පුරෝකථන ඉදිරිපත් කර ඇත. එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවට කෘෂි විද්‍යාඥයන් වශයෙන් අප ද මීට ප්‍රථම පෙන්වා දුන් හෙයින් රජය සහල් ආනයනය කිරීමට ඉඩ දුන්නේය. පසුගිය මහ කන්නයේ සහ මේ යල කන්නයේ අස්වනු අඩු වන ප්‍රමාණය පිළිබඳ දත්ත සහ තොරතුරු පදනම් කරගෙන මේ සියලු පුරෝකථන ගොඩ නගා තිබේ. මෙහිදී කිව හැක්කේ පුරෝකථනවල නිවැරදිභාවය පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවය. එසේම ඒවායෙන් අනාවරණය කළ කරුණු සැලකිල්ලට ගෙන මේ වන විට සහල් ආනයනය කර ඇත.

එහෙත් එය සතුටු විය හැකි තත්ත්වයක් නොවේ. මන්ද, මා ඉහත දී ද සඳහන් කළ පරිදි ලංකාව පැවතියේ අවැසි ප්‍රමාණයටත් වඩා සහල් නිෂ්පාදනය කළ හැකි මට්ටමක නිසාය. කෙසේ වෙතත් කෘෂිකර්මය විෂයෙහි ගත් අමනෝඥ තීන්දු තිරණ හේතුවෙන් රට මෙවැනි ව්‍යසනයකට ඇද දමා තිබේ. විනාශ කර තිබෙන්නේ ආහාර සුරක්ෂිතතාව පමණක් නොව ලාංකික ජනතාවගේ අභිමානයත් අහිමි කර තිබේ. එබැවින් ඉදිරියේ දී ඒ ආකාරයේ වැරදි තීන්දු නොගත හැකි තත්ත්වයට රට පත් කළ යුතුය.

රටේ කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ දී විද්‍යාත්මක පදනම ගැන නිසි අවබෝධයකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බව ද මම අවධාරණය කරමි. ප්‍රස්තුත වාර්තාවෙහි ද එය මනාව විස්තර කර ඇත. අවදානමට ලක්ව සිටින ලක්ෂ 63 ක ජනතාව සඳහා මානුෂීය ආධාර සැපයිමේ අරමුණින් විවිධ රටවලින් සහල් මෙට්‍රික් ටොන් 45000 පමණ ලැබිණ. පෝෂ්‍යදායී ආහාර පිළිබඳ කතා කිරීමේ දී අපට ගැබිනි මවුවරුන් කිරි දෙන මවුවරුන් සහ දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සිදු වේ.

සලාක ක්‍රමයක් හරහා ඔවුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමට අවශ්‍ය මුදල් ආධාර ලබා දීමට සිදු වනු ඇත. එවැනි වැඩසටහන් මේ වන විටත් තෝරා ගත් ප්‍රදේශවල ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒවා අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නට සිදු වනු ඇත. මේ වසරේ අගෝස්තු වන විට ආහාර උද්ධමනය සියයට 93.7 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. මෙපරිදි ආහාර උද්ධමනය ඉතා ඉහළ අගයක පවතින තත්ත්වයක දී වෙළෙඳපොළේ ප්‍රමාණවත් තරම් ආහාර තිබුණ ද ඒවා මිලදී ගැනීමේ හැකියාව පවතින්නේ ඉතාම අවම මට්ටමකය.

මෙවැනි සන්දර්භයක් යටතේ ප්‍රස්තුත වාර්තාවෙහි ද සඳහන් වන පරිදි, සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් යටතේ පෙර සඳහන් කළ අවදානම් සහගත කාණ්ඩ නියෝජනය කරන අයට අවශ්‍ය කරන පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම පිණිස මුල්‍ය පහසුකම් කෙටි කාලීනව හෝ සැලසීම ඉතාම වැදගත්ය.

මේ වාර්තාවෙන් ඉදිරියේ දී ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති තත්ත්වය වැළැක්වීම සඳහා ක්‍රියාකාරී නොවුව හොත් වඩාත් ඛේදනීය තත්ත්වයක් උද්ගත වනු ඇත. මන්ද පෝෂණය හා ඌන පෝෂණය මගින් සිදුවන බලපෑම ඉතාමත් අවම වන ආකාරයේ ක්‍රියාමාර්ගවලට දැන් සිටම අවතීර්ණ විය යුතුය. පෝෂණ ගුණයෙන් සමන්විත දේවල් ඉඩ ඇති සෑම තැනකම වගා කරන්නැයි අප ජනතාව උනන්දු කරන්නේ ද එම නිසාය. එය පහසු කර්තව්‍යයක් නොවන බව මම පිළිගනිමි.

ඉතාම පහසුවෙන් පෝෂණය ලබා ගත හැකි ආහාර වර්ග වන්නේ බිත්තර සහ මස්ය. බඩ ඉරිඟු වගාවේ ඇති වූ පසුබෑම සහ සත්ව අහාරවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑම නිසා මේ වන විට කිරි බිත්තර සහ කුකුළු මස්වල මිල ගණන් ඉහළ ගොස් තිබේ. එළැඹෙන මහ කන්නයේදී බඩ ඉරිඟු වගාව සාර්ථක කර ගැනීමට හැකිවුවහොත් සත්ව ආහාර අංශයට අවැසි සහයෝගය ලබා දී පෝෂණයට වැදගත් වන බිත්තර සහ මස් වර්ගවල මිල ගණන් අඩු කිරීමට හැකි වනු ඇත. ඒ සඳහා කන්නයක කාලයක් ගත වනු ඇත. එතරම් කාලයක් බලා සිටීම අපහසු බැවින් මස් මාංශ ප්‍රෝටීන වෙනුවට ශාකමය ප්‍රෝටීන සහිත ආහාර අනුභවයට කෙටි කාලීනව හුරුවීම වැදගත්ය. ඒ සඳහා භෝග වගාවට යොමු විය යුතුය.

ඉදිරි මහ කන්නය කෙසේ හෝ සාර්ථක කන්නයක් බවට පත් කර ගත යුතුමය. යල කන්නයේ අවසන් භාගයේ දී ඉන්දියානු ණය ආධාර යටතේ වාර දෙකක දී ඕමානයෙන් යූරියා මෙට්‍රික් ටොන් 65000 ක් ආනයනය කෙරිණි. එසේම නැවත අරමුණුගත කරන ලද ණය ක්‍රමයක් යටතේ ලෝක බැංකුව මගින් මහ කන්නයට අවශ්‍ය වන යූරියා මෙට්‍රික් ටොන් 150000 ක් ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 110 ක් මේ වන විටත් ආයෝජනය කර තිබේ.

බණ්ඩි පොහොර ගෙන්වීම පිණිස ආසියානු සංවර්ධන බැංකුවෙන් නැවත අරමුණුගත කරන ලද ණය වශයෙන් ඩොලර් මිලියන 40 ක් ලබා දී ඇත. ඊට අමතරව අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙහි ප්‍රධානී සමන්තා පවර් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඇය මෙරට ගොවි ජනතාව මුණ ගැසුණාය. එහිදි එම සංවිධානය මෙරට වී වගාවට අවශ්‍ය ත්‍රිත්ව සුපර් ෆොස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 36000 ක් ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 40ක ආධාරයක් ලබා දීමට එකඟ වූයේය.

මෙපරිදි විවිධ සංවිධාන මගින් මහ කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වීම පිණිස ණය හා මුදල් ආධාර ලබා දීමට එකඟත්වය පළ කළ ද පොහොර ගෙන්වීම අරබයා නිශ්චිත ක්‍රියා පටිපාටියක් තිබෙන හෙයින් යම් ප්‍රමාද වීමක් සිදු වීමට පිළිවන. එහෙත් එම කන්නයට වුවමනා පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් සාර්ථක උත්සාහයක් දරා තිබෙන බව කිව යුතුය.

මේ සියලු යෙදවුම් නිසි පරිදි සම්පාදනය කළද අවශ්‍ය බිත්තර වී නොතිබුණ හොත් මහ කන්නය සාර්ථක කර ගත නොහැකිය. මහ කන්නයේ සම්පූර්ණ වපසරිය වගා කිරීමට නම්, බිත්තර වී මෙට්‍රික් ටොන් 80,000 ක් පමණ අවශ්‍ය වේ. ඒවා ලබා ගැනීමට අදාළව සැලකිය යුතු වැඩකොටසක් ඒ ඒ රාජ්‍ය ආයතන විසින් සිදු කරන ලැබ තිබේ.

දැනට තිබෙන දත්තවලට අනුව මහ කන්නයේ වී වගාව සාර්ථක කර ගැනීමට හැකි වනු ඇත. එහෙත් බඩ ඉරිඟු වගාව සම්බන්ධයෙන් ගැටලුවක් මතු වීමට ඉඩ තිබේ. මෙරට බඩ ඉරිඟු වගාව වැඩි වශයෙන් සිදු වන්නේ මහ කන්නයේදීය. එසේම සමස්ත බඩ ඉරිඟු අස්වැන්නෙන් සියයට 85 ක් පමණ යෙදවෙන්නේ සත්ව ආහාර සඳහාය.

දෙමුහුන් බඩ ඉරිඟු ප්‍රභේද ආනයනය කිරීම ප්‍රමාද වීම හේතුවෙන් එළැඹෙන මහ කන්නයේ දී අප වගා කිරීමට අපේක්ෂා කරන සමස්ත බඩ ඉරිඟු වගාවෙන් සියයට 60 ක් පමණක් වගා කළ හැකි බව මගේ තක්සේරුවයි. මුළු පරිමාවෙන් බඩ ඉරිඟු වගාව සිදු කිරීමට තවත් කන්න දෙකක්වත් ගත වනු ඇත.

රටට ලැබෙන පොහොරවලින් යම් ප්‍රමාණයක් තේ වගාවට වෙන් කිරීම ද ඉතා වැදගත්ය. ගුණාත්මක තේ නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් විදේශ විනිමය ඉපැයීම සඳහා පිටුබලයක් ලැබෙන හෙයිනි.

සාර්ථක මහ කන්නයක් වෙනුවෙන් අප මේ වන විට සිදු කරමින් සිටින්නේ අවදානම කළමනාකරණය කිරීමකි. එහෙත් ලංකාවේ කෘෂිකර්මාන්තය එළැඹෙන මහ කන්නයෙන් අවසන් වන්නේ නැත. එබැවින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට අදාළ වැඩසටහන් මේ මොහොතේ සිටම සැලසුම් කළ යුතුය.

ගොවි ජනතාව වෙත සහනාධාර ලබා දීමට මා විරුද්ධ නොවුව ද එය කළ යුත්තේ ප්‍රමුඛතා ගත කිරීම ඔස්සේ ඉලක්කගතවය. කෘෂිකර්මාන්තයේ විභවය වැඩි ස්ථානවලට ඉහළ අවධානයක් යොමු කරමින් කටයුතු කළ හොත් එක රැයකින් විනාශ කළ කෘෂිකර්මාන්තය කන්න දෙකක් හෝ ගත වූ පසු ගොඩ ගත හැකිය.

 

 

මහාචාර්ය බුද්ධි මාරඹගේ

පෙරාදෙනිය විශ්වවිද්‍යාලය

 

උපුටා ගැනිම – ලංකාදීප

Leave a Reply

Your email address will not be published.