ශ්‍රි.ල.නි.පය නැවති මහින්දට ලණු ගිල්වන්න හදයි . – ප්‍රසන්න රණතුංග

එක්සත් ජාතික පක්ෂය, ජාතික සමගි ජනබලවේගය හෝ මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලන පක්ෂය සමග පොහොට්ටුව කිසිසේත් ජාතික ආණ්ඩු හදන්නේ නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පොහොට්ටුවේම මන්ත්‍රීධූර 150 ක් ලබා ගෙන තුනෙන් දෙකක බලය සහිත පොහොට්ටු ආණ්ඩුවක් හැදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාව බවත් මේ සටන ඒ සදහා බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිට්ටඹූව කොට්ඨාශ බල මණ්ඩලය අමතමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. නිට්ටඹුව සන්ඩේල් උත්සව ශාලාවේ දී රැස්වීම පැවැත්විණ.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“සමහර අය උත්සාහ කරනවා මාධ්‍ය වල කියන්න අපි මේ එක එක්කෙනාත් එක්ක එකතු වෙලා පූට්ටු ආණ්ඩු ගහන්න උත්සාහ කරනවා කියලා. අපිට පූට්ටු ආණ්ඩු හදන්න කිසිදු අවශ්‍යතාවයක් නෑ. අපි පූට්ටු ආණ්ඩු හදන්න ලෑස්තිත් නෑ. කවුරු කොහොම කිවුවත් එජාපය, සජබ හෝ මුස්ලිම් දෙමළ අන්තවාදී දේශපාලන පක්ෂ එක්ක ජාතික ආණ්ඩු හදන්න අපි ලෑස්ති නෑ. අපිට එහෙම ඕනකමක් නෑ. අපිට මේ රටේ ජනතාව විශ්වාසයි. ඔවුන් අපිට තුනෙන් දෙකක බහුතර බලයක් ලබාදෙන අය අපිට ඉරහද වගේ විශ්වාසයි. එතකොටයි අපිට කොන්ද කෙළින් තියගෙන රට සංවර්ධනය කරන්න හැකි වන්නේ. මම හැමතැනම උගුර ලේ රහ වෙනකම්ම කියන්නේ ඒකයි. පොහොට්ටුවෙන්  ඉල්ලන සියලු දෙනා පොහොට්ටුවේ නෙමෙයි. ඒ නිසා ඔබේ වටිනා ඡන්දය දෙනකොට පොහොට්ටුවේ සාමාජිකයන්ට පමණක් ඡන්දය දෙන්න. සමහරු බලාගෙන ඉන්නේ උකුසු ගේම් ගහන්න. දියකාවා මාළුවා අල්ලගෙන ගියාම උකුස්සා පැනලා ඒක ඩැහැ ගන්නවා කියලා එදා හිටපු යහපාලන ලොක්කා කිවුවනේ. ඒක අපිට හොද පාඩමක්. අපේ ඡන්ද වලින් ඇතුළට ඇවිත් ඇතුළේ කල්ලියක් ගහලා ඒ ඡන්ද ටික පෙන්න පෙන්න රිමෝට් එක අතේ තියාගෙන අපිව නට වන්න හදන්නේ. ඒ නිසයි අපි කියන්නේ පොහොට්ටු සාමාජිකයන් දිනවන්න කියලා. අපි පොහොට්ටුවේ. පොහොට්ටුවේ ඉන්නේ කවුද? අහසින් වැටුණු මිනිස්සු  පොහොට්ටුවේ නෑ. පොහොට්ටුව හැදුවේ ශ්‍රී ලංකාකාරයෝ. ඇත්ත ශ්‍රිලනිපය තියෙන්නේ මෙතන.   බණ්ඩාරනායක ප්‍රතිපත්ති පංච මහා බලවේගය අද ඉන්නේ අපි එක්ක. පක්ෂයේ හිටපු ලේකම් පක්ෂය අලියාගේ නැට්ටේ ගැටගහනකොට අපි ඒකට විරුද්ධවයි එළියට බැස්සේ. අපිව පක්ෂයෙන් අයින් කළා. අපි වගේ නන්නත්තාර වෙලා හිටපු ශ්‍රී ලංකාකාරයෝ වෙනුවෙන් තමයි පොහොට්ටුව හැදුවේ.

ඡන්දෙන් පස්සේ ශ්‍රිලනිපයේ පක්ෂ සභාපතිකම භාරගන්නයි ශ්‍රිලනිපයේ කෙනෙක් ඊයේ පෙරේදා ආරාධනය කරලා තිබුණා. ඕක තමයි අලුත්ම ලණුව. එතනදීත් මහින්ද මහත්තයා කියලා තිබුණේ තමන් හදපු පොහොට්ටුව දාලා යන්නේ නෑ කියලයි. අද එක එක ගුණ්ඩු දාලා බලනවා පොහොට්ටුව නැති කරන්න.

මහින්ද මහත්තයාව දාලා ගිය අය අපේ වේදිකාවේ ඉන්නවට මහින්ද මහත්තයට ආදරේ කරන මිනිස්සු කැමති නෑ. මොණරාගල දී වුණේ ඒකයි. රටේ මිනිස්සු මෝඩ නෑ. රටේ මිනිස්සු අවබෝධයෙන් ඉන්නේ. රට පාවාදීපු කණ්ඩායමකට අපේ අතරට ඇවිත් අපිව හසුරවන්න ඉඩ දෙන්න බෑ.

ගෝඨාභය මහත්තයාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් කරන්න පුළුවන් වෙන්නේ පොහොට්ටුවේ සාමාජිකත්වය අරගත්ත අයව දිනෙව්වොත් විතරයි. මහින්ද මහත්තයා පැරදුණු දවසේ ඉදලා අපිත් එක්ක මේ අරගලයේ හිටපු අය ඉන්නවා විමල්ලාගේ, ගම්මන්පිළලාගේ පක්ෂවල. ඒ අය ගැන නෙමෙයි මම කියන්නේ. එදා යහපාලනය රැකලා යහපාලනය වෙනුවෙන් කඩේ ගිය අද පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන අය ගැනයි මම කියන්නේ. පාර්ලිමේන්තුවට අපි යවන අය ප්‍රතිපත්තිගරුක වෙන්න ඕන. ජනතාවගේ හදවත තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. අත්දැකීම් තියෙන්න ඕනේ. එහෙම නැතිව ප්‍රතිපත්ති පාවා දුන්න, තනතුරු වරප්‍රසාද වරදාන වලට සියලු දේ පාවා දෙන අය පාර්ලිමේන්තු යවන්න එපා. අපි දොස්තර කෙනෙක් ගාවට යනකොට ඒ දොස්තර හොදද නරක ද බලනවා. බේත් ගත්ත අය සනීප වෙලාද බලනවා. ගෙයක් දොරක් හදනකොට හොදම බාස් කෙනෙක් තමයි හොයන්නේ. ඒ වගේ දේශපාලනයේ දීත් අත්දැකීම් තියෙන අය පාර්ලිමේන්තුවට යවන්න. අහසින් පාත් වුණු සීත කාමරවල ඉන්න උදවියට රැවටෙන්න එපා.”

අපේක්ෂකයන් වන ප්‍රියන්ත පුෂ්පකුමාර, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු ද මෙහි දී කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *