තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු යනු විකසිත වූ නෙළුම් මල් ද ? – විදර්ශන කන්නන්ගර

‘ඇත්ත කලාකරුවන් මැති සබයට ‘ නම් වූ මාලිමාවේ මුහුණු පොත් දැන්වීමක් ජාජබ හිතවාදීන්ගේම විවේචනයට ලක් වෙමින් ඇත.

මූලික ප්‍රශ්නය ඇත්තේ මෙම පාඨයේ නොව මෙම අදහස ව්‍යුත්පන්න වූ ජාජබෙ හි මූලික උද්‍යෝග පාඨයේය.එය නම් අන් කිසිවක් නොව ‘තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු’ යන්නයි..අප මූලික අවධානය යොමු කළ යුත්තේ එම ප්‍රධාන උද්‍යෝග පාඨයේ ඇති අවුල වෙතටයි. කොහොමටත් ජාජබට චන්දය දීමට තීරණය කර ඇති සුළුතරයක් මිස ඉන් ඔබ්බෙන් වන ජනතා වරණයක් දිනා ගැනීමට මෙවැනි යල් පිනූ ප්‍රචාරණයන් කිසිසේත්ම සමත් වන්නේ නැත..’ඇත්ත මිනිස්සු’ යන වර්ගීකරණය යටතට සාමාන්‍ය ජන වහර තුළ ඇතුළත් වන්නේ කවුද ?..පොදු ජනයා ‘ඇත්ත මිනිස්සු’ ලෙස හදුනා ගන්නේ ‘යහපත් ආණ්ඩුකරණය’ පිළිබද ලිබරල් විද්වත් කතිකාවෙන් විකසිත වූ නෙළුම් මල් නම් නොවෙයි..ජනතාවට ඇත්ත මිනිසුන් වන්නේ ‘දේශපාලනිකව නිවැරදි තීරණ’ ගන්නන් නොවෙයි.තමන්ගේ ඓන්ද්‍රීය ප්‍රශ්න සමග මිඩංගු වෙමින් සිය දෛනික ජීවිතයේ සංයුක්ත මොහොතට දේශපාලනිකව ආමන්ත්‍රණය කරන මිනිසුන්‍ ය..එකී පොදු ජන අවබෝධයට අනුව ‘ඇත්ත මිනිස්සු’ යන වර්ගීකරණයට ඉහළින්ම වැටෙන්නේ ගම් මට්ටමේ සිටින වත්මන් පොහොට්ටු අපේක්ෂකයන්‍ ය..ජාතික ජන බලවේගය විසින් දිගින් දිගටම ජනතාවාදී නිමේෂයට දුරස්ථ වූ ප්‍රචාරක පාඨ ඔසවා ගනිද්දී ජනතාව ඊට ගැලපෙන සංයුක්ත නියෝජිතයන් සිය ආසන්න පොළවෙන්ම සොයා ගනිති..අපගේ ‘විද්වත් දේශපාලනය’ තරම් ජනතාව මෝඩ නැත.

ජාතික ජන බලවේගය හරහා ජවිපෙ මුහුණ දෙමින් ඇති මෙම අර්බුදය කුමක්ද ?..
අප හිතවත් ව්‍යාපාරයක් ලෙස පැහැදිළිවම කීමට ඇත්තේ ජවිපෙ ප්‍රමුඛ ජාජබ පැරණි යහපාලන රාමුවේ දෘෂ්ටිමය සීමාව තුළ තවමත් අඩස්සි ගත වී සිටින බවයි.ඔවුන් විශ්වාස කරන බව පෙනෙන්නේ ‘යහපාලන කතිකාවේ’ ඇතැම් සංඝඨක යළි සුසම්බන්ද කරගැනීමකින් අලුත් ජයග්‍රහණ ලැබිය හැකි වන බවයි.එහෙත් අද දවසේ ජනප්‍රියවාදී (ජනතාවාදී) මොහොත ඇත්තේ එකී යල්පිනූ පැරණි කතිකාමය රාමුවෙන් පිටතය.යම් සටන් පාඨයකට ජනතා අනුමැතිය ලැබෙන්නේ එය වියුක්ත ‘යහපතක්’ ලෙස ඉදිරිපත් කිරීමෙන් නොවෙයි.ඒ වෙනුවට මේ මොහොතේ ජනතා විශ්වාසයන් ගොඩනැගෙමින් ඇති ෆැන්ටසි ආධාරකය සමග සම්බන්ද කර ඉදිරිපත් කරන පොරොන්දු පත්‍රයකිනි. සැබවින්ම ජනතාව මුණගැසෙන සමකාලීන නිමේෂ අත්දැකිය හැක්කේ ‘යහපත් ආණ්ඩුකරණයන්’ පිළිබද මනස්ගාතයන්ට ඔබ්බෙනි.කොවිඩ් වසංගත තත්වය හමුවේ නිර්මාණය වෙමින් ඇති ජනතා අතෘප්තියත් ඊනියා ප්‍රධාන විපක්ෂයේ අර්බුදයත් එකට සන්ධි කරගත් නව ජනතාවාදී ප්‍රචාරක යාන්ත්‍රණයන් ගොඩනගා ගැනීමේ ස්වර්ණමය අවස්ථාව ජාජබ අතින් මේ වනවිටත් ගිලිහී ගොස් ඇත.කොහොමටත් තියෙන චන්ද ටික හෝ රැකගැනීමේ බින්දුවේ ක්‍රීඩාවකට ලන්සු තැබීමක් මිස ජනතාව දෙසට වන ඇත්ත පියවරක් මාලිමාව විසින් පෙන්නුම් කෙරෙන්නේ නැත.ඊට ඔබ්බෙන් වූ ජයග්‍රහණයන් දිනා ගැනීමට නම් ඔද්දල් වූ ප්‍රචාරක අදහස් වලින් පිටතට පැමිණීම හැර අන් මගක් නැත.සහෝදරවරුනි,අවශ්‍ය වන්නේ ‘තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු’ නොව ‘තියෙන දේශපාලනයේ ඇත්ත ප්‍රශ්න’ වලට ආමන්ත්‍රණය කිරීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *