Miss_Baek (Spoiler Alert) – 04 – හංසිනී කවින්දි
“දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා…..”
රාත්‍රියේ වීදියක ගමන්කරමින් සිටින විට හදිසියේම සීතලෙන් ගැහෙමින්, කුසගින්නේ දැවෙන, වැරහැලි ඇඳුමින් සැරසුණු කුඩා දැරියක ඔබ අබිමුවට පැමිණුන හොත් ඔබට කුමන හැඟීමක් දැනෙනු ඇත්ද? කඳුළින් පිරීගිය, බියෙන් සැලෙන ඇයගේ දෑස්වල සැඟවී ඇති ඈ මුවින් නොකියූ වේදනාව වටහාගැනීමට ඔබට හැකිවේ ද?
කිම් ජි යුන් එවැනි දැරියකි.
ඇයගේ කඳුළු පිසලීමට අතපෑවේ කවුරුන්ද?
ඒ ඇයගේ අම්මා නම් නොවේ.
ඇය පැමිණියේ සුරලොව සිට ද නොවේ.
මේ කිම් ජි යුන්ගේ කඳුළු පිසීමට මනුලොව සිට අතපෑ දේවතාවියගේ කතාවයි.
සිය නපුරු කුඩම්මාගේත්, (පියාගේ පෙම්වතිය) නොසැලකිලිමත් සිත්පිත් නැති පියාගේත් දරුණු වධ බන්ධනයන්ගෙන් පීඩාවිඳි කුඩා කිම් ජි යුන්ගේ ලෝකයට ඇයගේ දේවතාවිය පැමිණෙන්නේ සුරලොව සිට නොවේ. සින්ඩරෙල්ලා කතාවේ මෙන් ඇය ඉතාමත් සුන්දර, මායා බලයක් සහිත තැනැත්තියක ද නොවූවා ය. නමුත් කෙටියට කැපූ කෙස් වැටිය, අඩු කතබහ, තරමක් රළු ඇවතුම් පැවතුම් සහිත, සම්බාහනාගාරයක සේවය කළ, පැරණි අපරාධ වාර්තාවකට ද හිමිකම් කී ගැහැනියක වූ ඇය කිම් ජි යුන්ගේ ජීවිතයට පැමිණියේ එය පෙරළියකට ලක් කිරීමට සමත් අපූරු මායා බලය ද සහිතව ය. එය ලොව සියලු මායාවන්ගේ බලයෙන් ඔබ්බෙහි පවතින්නා වූ සියල්ල වෙනස්කරලීමට හැකි අපූරු මායා බලය යි.
ඒ අන් කිසිවක් නොව “ප්‍රේමය” යි.
නමුත් තමා තුළ ඒ මායා බලය සැඟවී පවතින බව ඒ දේවතාවිය ද නොදැන සිටියා ය. ඒ බව ඇයට අවබෝධකර දෙන ලද්දේ ද කුඩා කිම් ජී විසිනි. එනිසා කිම් ජී ගේ ජීවිතයට ඇය සහන් ආලෝකයක් වූයේ යම් සේ ද කිම් ජී ද ඇයගේ ජීවිතය තුළ වූ අන්ධකාරයට සහන් ආලෝකයක් විය. ඔවුන් දෙදෙනාම පෙළූ තුවාලවලට එකිනෙකා ඔසුවක් බවට පත්වීමට ඔවුන්ට හැකි විය.
ඇය නමින් “මිස් බෙක්” වූවා ය. කිම් ජීගේත් ඇයගේත් හමුවීම අහඹුවක් නොවී ය. ප්‍රථම හමුවීමට මත්තෙන් ඇය කීප වාරයක්ම කිම් ජීව තම නිවස ආසන්නයේ දැක තිබුණා ය. නමුත් කෙටි වදන් හුවමාරුවකින් වුව ද කිම් ජීගේ දෑස් තුළ වූ ඈ නොකී වේදනාවත්, ඇයගේ සිතුවිලිත් හඳුනාගැනීමට ඇයට හැකි විය. පළමු හමුවීමේදී මිස් බෙක් කිම් ජී ට අවන්හලක දී ආහාර මිළදීගෙන දුන් අවස්ථාවේ දී තමාට ආහාර උගුරේ සිරවී කැස්සක් ඇති වූ විට කිම් ජී වහා කිසිවෙකුගේ පහරකින් ආරක්ෂා වීමට මෙන් දෑතින් තමා ආවරණය කරගන්නා ආකාරය සිනමාපටය ආරම්භයේදීම නිවස තුළ කුඩා කිම් ජී විඳි අනේකවිධ හිරිහැරයන් පිළිබඳව මොනවට ලොවට කියාපාන්නකි. ඇයගේ ළපටි සිරුර පුරා වූ නිල් පැහැ තැලුම් සහ සීරුම් සලකුණු එයට සාක්ෂි දරයි. සැබැවින්ම එම රූපරාමුව මගේ හදවත කිව නොහැකි තරම් කම්පනයකට ලක්කළේ ය. එතරම් කුඩා දෙයක් වෙනුවෙන් ඒ ළපටි දැරිය තමන්ට දඬුවම් ලැබෙතැයි බියපත් වන්නේ ඈ කොතරම් දරුණු ලෙස වධ හිංසාවන්ට ලක්වී ඇති නිසාවෙන් ද? මිස් බෙක් වෙතින් ඇයට ලැබුණු ප්‍රතිචාරය සැබැවින්ම ඇයව පුදුමයට පත්කළේ ය. ඒ ඇයට ඇයගේ ජීවිත කාලය තුළ හිමි වූ එවැනි පළමු ප්‍රතිචාරය විය. සිය පියාගේ පෙම්වතිය තමාව රැගෙන යෑමට පැමිණි අවස්ථාවේදී ඇය ආරක්ෂාව පතමින් මිස් බෙක්ගේ සුළැඟිල්ලක් තරයේ අල්වාගන්නේ ඒ ප්‍රතිචාරයත් සමග කෙටි මොහොතකින් වුව ද මිස් බෙක් කෙරෙහි ඇතිකරගත් දැඩි විශ්වාසය හේතුවෙනි.
නමුත් මිස් බෙක් ඇයව පෙරළා ඇයගේ කුඩම්මා වෙතම භාර කළා ය. ඇයගේ කුඩම්මා සින්ඩරෙල්ලා හෝ හිමකුමරියගේ කතාවල අප අසා ඇති නපුරු කුඩම්මලා සතු වූ කෲරත්වයේ සීමාවන් අතික්‍රමණය කළ තැනැත්තියක් වූවා ය. ඇය සිය සියලු පීඩනයන් පිටකර දැමුවේ මවත් නොමැති, පියාගෙන් පවා රැකවරණයක් නොලැබූ අසරණ කිම් ජී වෙතිනි. නානකාමරයේ මුල්ලක බියපත් කුඩා මී පැටවෙකු මෙන් ගුලිවී සිටින කිම් ජී ඇයගේ පීඩනයත් කෲරත්වයත් මුදාහැරීම සඳහා ඇය තෝතැන්නක් බවට පත්කරගත්තා ය. ඇය රුධිරය ගලන තුරු කුඩා කිම් ජී ට පහර දුන්නා ය. සිනමාපටයෙන් නිරූපිත කිම් ජී ගේ කුඩම්මාගේ සියලු ක්‍රියාවන් ගැහැනියගේ අඳුරු පැතිකඩ සහ ගැහැනියකට කොතරම් කුරිරු විය හැකිද යන්න මනාව ලොවට පිළිබිඹු කරයි.
කිම් ජීව සිය සුරතින් මුදා යළි නිවසට ගිය මිස් බෙක්ට නින්දක් නොවීය. කිම් ජී ඇයගේ නින්ද සොරාගෙන තිබුණි. ගින්නෙන් පිළිස්සීමේ වේදනාව හොඳින්ම වටහාගත හැක්කේ වරක් හෝ එම ගින්නෙන් දැවුණු තැනැත්තෙකුටම ය. මිස් බෙක්ට කිම් ජීගේ වේදනාව වටහාගත හැකිවූයේ ඇය ද එම වේදනාවෙන් පිළිස්සී දැදුරු වූ හදැති තැනැත්තියක වීම නිසා ය. කුඩා කල මාතෘත්වය පිළිබඳව විඳි අමිහිරි අත්දැකීම් නිසාවෙන්ම ගැහැනියකට උරුම මාතෘත්වයට තමා නුසුදුසු බවත්, තමා වැන්නියකට එවැන්නක් නොගැළපෙන බවත් ඇය සිතුවා ය. නමුත් ඇයගේ නිගමනය වැරදි විය. ළමා කාලයේදී සහ යෞවනයේ දී කොතරම් පීඩාවන්ට ලක්වූව ද ඇයගේ හදවත තුළ මාතෘත්වයේ මෘදු හැඟුම් දහරාවන් ඇයටත් රහසේ පණගැහෙමින් ජීවත් වී තිබුණි. එය ඇයට අනාවරණය කර දුන්නේ කිම් ජී ය.
මිස් බෙක් කුඩා කලදී ඇයගේ මව වෙතින් දරුණු වධ හිංසාවන්ට ලක්වූ තැනැත්තියකි. පසුව ඇයගේ මව ඇයව හැරදමා ඇති අතර එනිසා ඇයට අනන්ත අප්‍රමාණ දුක් කම්කටොළුවලට මුහුණදීමට සිදුවිය. එනිසාම ඇය ඇගේ මවට හදවත පතුළෙන්ම වෛර කළා ය. සිය මවගේ මෘත ශරීරය පවා භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමට ඇයව පොළඹවන්නේ ඒ වෛරය යි. කිම් ජීගේ මව ද ඇයව අත්හැර ගොසිනි. කිම් ජී හා මිස් බෙක් අතර සිය මව්වරුන් අරභයා සිදුවන මෙම සංවාදය ඔවුන් තුළ සිය මව්වරුන් පිළිබඳව වන ආකල්පයන් මනාව පිළිබිඹු කරවන්නකි.
“කිම් ජී – ඔයාට ස්තුතියි
මිස් බෙක් – ඒක නෙවෙයි….ඔයාගෙ අම්මා ඉන්නෙ කොහෙද කියල දන්නවද?
කිම් ජී – දිව්‍ය ලෝකෙ
මිස් බෙක් – දිව්‍ය ලෝකෙ…
කිම් ජී – තාත්තයි මමයි නැති තැනක් නම් එතන දිව්‍ය ලෝකයක් කියල අම්මා කිව්වා.
මිස් බෙක්ගෙ අම්මා?
මිස් බෙක් – මගෙ අම්මා ඉන්නෙ අපායෙ”
නමුත් ඇය අවසානයේ අනාවරණය කරගන්නේ කුමක් ද? කිම් ජීගේ ආගමනය සිය මව කෙරෙහි ඈ තුළ වූ හැඟුම් මෘදු කිරීමට සමත් වූවා මෙන්ම අවසන ඇයගේ මව පිළිබඳව ඇයට හෙළිවන සත්‍යය මෙතෙක් කාලයක් පුරා ඇය මව පිළිබඳව සිත් දරා සිටි වෛරය එක් මොහොතකින් දියකර දැමීමට සමත් විය. ඇය එම වෛරය දියවී යන තුරු කඳුළු වගුරුවමින් හඬාවැටුණා ය. ඇය සමග මම ද හඬාවැටුණෙමි. ඒ සෑම කඳුළක්ම මිස් බෙක්ගේ අම්මා වෙනුවෙනි.
ලේ වැකුණු සිය දරුවා කරපින්නාගනිමින්, තමාටම වෛරකරගනිමින්, තම කුඩා දරුවා තමාගෙන් ඈත්කර තබන ලෙස පවසමින් හඬමින් දිව යන මවකි.
ඒ අන් කිසිවෙකු නොව කුඩා බෙක්ගේ මව ය.
තමාව තම දියණියගෙන් ඈත්කර තබන ලෙස හඬා වැළපෙමින් ඉල්ලා සිටින මවක පිළිබඳව ඔබේ සිතේ මැවෙන චිත්‍රය කුමක් ද? සැබැවින්ම එය ඔබගේ සිත කම්පනය කරවීමට සමත් නොවන්නේ ද?
ප්‍රධාන ලෙසම කාන්තා චරිත රැසක් දැකිය හැකි මෙම චිත්‍රපටය තුළ කැපී පෙනෙන කාන්තා චරිත කීපයක්ම හඳුනාගත හැකිය. ඒ
මිස් බෙක්
මිස් බෙක්ගේ මව
කිම් ජී ගේ පියාගේ පෙම්වතිය
යන චරිතයන් ය. එම කාන්තා චරිතයන් තුළින් කාන්තාවකගෙන් සාමාන්‍යයෙන් අපට දකින්නට ලැබෙන චරිත ලක්ෂණයන්ගෙන් ඔබ්බට ගොස් එකිනෙකට වෙනස් විවිධ පැතිකඩයන් ඔස්සේ කාන්තාවගේ චරිත ලක්ෂණ සියුම් ලෙස විනිවිද දැකීමට මෙහිදී සිනමාකරුවා සමත් වී ඇත. මිස් බෙක්ගේ මවගේ චරිතය ප්‍රධාන චරිතයක් ලෙස කරළියට ගෙන නොආව ද මිස් බෙක්ගේ චරිතය තුළින් සියුම් හුයක් ලෙස එය දිව යන ආකාරයත්, ඇයගේ චරිතය මිස් බෙක්ගේ චරිතයට සිදුකරන ප්‍රබල බලපෑමත් සිනමාපටය පුරාවටම අපට හඳුනාගත හැකිය.
මිස් බෙක් කිම් ජීගේ ජීවිතයට ආලෝකයක් වූවා සේම කිම් ජී ද මිස් බෙක්ගේ ජීවිතයට ආශිර්වාදයක් වූවා ය. ඇය තමා තුළ සැඟවී තිබූ මෙතෙක් තමා අනාවරණය කර නොගත් ප්‍රදේශයක් අනාවරණය කරගැනීමට මිස් බෙක්ට උපකාරී වූවා ය. ඇය සිය සියුමැලි කුඩා හස්තයේ ස්පර්ශයෙන් මිස් බෙක්ගේ හදවත ගැඹුරේ වූ තුවාල මත ඔසු ගැල්වීමට සමත් වූවා ය. සැබැවින්ම ආදරයට කළ නොහැක්කේ කුමක් ද? ස්වයංජාතව හදවතේ හටගන්නා අසිරිමත් බීජයක් වන ප්‍රේමය අප හදවතේ ගැඹුරුම තැන් කරා සිය මුල් විහිදුවා එය විනිවිද ගොස් මුළු හදවතම තදින් බදා වැළඳගන්නේ ය.
කිම් ජී විසින් මිස් බෙක් තුළින් අනාවරණය කරගත් ඇය තුළ වූ මාතෘත්වය පිළිබඳව හැඟුම් දහරාව නිසා ඇය තමා කුඩා කල විඳි නේකවිධ දුක්ගැහැටයන් කිම් ජී විඳිනු දැකීමට අකමැති වූවා ය. කිම් ජීව ඉන් මුදවාගැනීමට ඇයට අවැසි විය. නමුත් කිම් ජීගේ නපුරු කුඩම්මාගේ කෲරත්වය හමුවේ එය කිසිසේත්ම පහසු කාර්යයක් නොවී ය. අවසානයේ සිය දිවි පරදුවට තබා ඇය කිම් ජීව මුදවාගත්තා ය. එයට අවැසි ශක්තිය ඈට ලබාදුන්නේ ඈ තුළ වූ මාතෘත්වයේ හැඟුම් දහරාවයි. සැබැවින්ම මවකගේ ශක්තිය කොතරම් ද? සෙනෙහස වෙනුවෙන් මවකට කළ නොහැක්කේ කුමක් ද? ඇයට ඒ සියලු ශක්තීන් ලබාදෙන්නේ ඇයගේ මාතෘත්වය යි. නමුත් එම ශක්තීන් ස්පර්ශ කර බැලීමටත්, එය අත්විඳීමටත් තම කුසින්ම දරුවෙකු බිහි කළ යුතු නැත. මිස් බෙක් නිහඬවම ලොවට කියාපාන්නේ ස්ත්‍රිය සහ මාතෘත්වය පිළිබඳව ඒ සොඳුරු යථාර්ථය යි.
කොරියානු බසින් නිෂ්පාදනය වී ඇති “Miss Baek” සිනමාපටය තුළ ප්රබලවම කිව හැකි අන්දමේ සිනමාත්මක ලක්ෂණ රාශියක් දැකිය හැකි නොවූව ද එහි දී මිස් බෙක් ලෙස හන් ජි මින් ද, කිම් ජී නම් කුඩා දැරිය ලෙස කිම් සී ආ ද ප්‍රකට කරන්නේ කැපීපෙනෙන රංගන කුසලතාවයකි. එම රංගනය සිනමාපටය ආරම්භයේ සිට අවසානය දක්වා ඔබව ඒ වෙත ඇද බැඳ තබාගැනීමට සමත් රංගනයකි. ආරම්භයේ සිට අවසානය දක්වාම සංවේදී හැඟීම් උපදවා ඔබේ හදවත සියුම් ලෙස කම්පනයට පත්කරමින් නෙතග කඳුළින් පුරවාලීමට මිස් බෙක් චිත්‍රපටය සමත්වනු නිසැක ය. මෙම සිනමාපටය සඳහා හිමිවී ඇති IMDb අගය 6.6 කි.
ලොව සෑම කාන්තාවක තුළම අම්මා කෙනෙකු ජීවත්වෙතැයි යනුවෙන් විශ්වාස කිරීමට මම කැමැත්තෙමි. නමුත් ඉන් ව්‍යතිරේඛී වන, මාතෘත්වයට නිගාදෙන කාන්තාවන් ද ලොව සිටින බව මම ඉතා හොඳින්ම දනිමි. අම්මා කෙනෙකු වීමටත්, මාතෘත්වයේ හැඟුම් ස්පර්ශ කර බැලීමටත්, එය අත්විඳීමටත් ජීව විද්‍යාත්මකව දරුවෙකුට උපත ලබාදීමක් අවශ්‍ය වන්නේ නැත. මම එය අත්දැකීමෙන්ම අවබෝධකරගෙන ඇත්තෙමි. තවමත් දරුවෙකු බිහි නොකළ මා තුළ ද අම්මා කෙනෙකු ජීවත්වන බව මම නොයෙක් වර අවබෝධකරගෙන ඇත්තෙමි. මිස් බේක් සිනමාපටය මා තුළ ජීවත්වන ඒ අම්මා යළිත් වරක් හදවත අභ්‍යන්තරයෙන් මතුපිටට කැඳවාගෙන පැමිණි සිනමාපටයකි.
“අම්මා” යනු පදවියක් නොවේ. එනිසාම දරුවෙකුට ජීව විද්‍යාත්මකව උපත ලබාදුන් පමණින් එය අත්පත්කරගැනීමට කිසිසේත්ම නොහැකි ය. මාතෘත්වය යනු ගැහැනියකගේ හදවත ගැඹුරේම රැඳී පවතින, එය තදින් බදා වැළඳගත් අපූර්ව හැඟීම් සමුදායක එකතුවකි. එය හදවත තුළින්ම පැන නැගිය යුත්තකි. ඇයට අසීමිත කැපකිරීම් කිරීමට ශක්තියක් ලබාදෙන්නේ ද ඇයගේ හදවත ගැඹුරේම තැන්පත් වී ඇති ඒ අපූර්ව හැඟුම් සමුදාය යි. ” “මාතෘත්වය” යන හැඟීමට ඇත්තේ පුදුමාකර ශක්තියකි. හින්දු පුරාණයන්ට අනුව මහීෂ අසුරයා ඇතුළු දරුණු අසුරයන් රැසක් මර්දනය කළ දුර්ගා දේවිය නිර්මාණය වී ඇත්තේ ලොව සියලුම මව්වරුන්ගේ ශක්තිය එක්වීමෙනි. “අම්මා” යනු තනි වචනයක් නොවේ. එය කිසිදා ලියා නිමකළ නොහැකි අකුරු තුනක ඉතාමත් දිගු කවියකි. මාතෘත්වයේ හැඟීම්වල අපූර්වත්වය පිළිබඳව රුසියානු මහා ගත්කතුවර මක්සීම් ගෝර්කි සිය “අම්මා” කෘතියේ මේ අයුරින් සඳහන්කරන්නට ඇත්තේ ඒ නිසා වන්නට ඇත.
“ඔහු “නෙන්කො” (උක්රයීන බසින් “අම්මා” යන අරුත දෙන වදනක්) යැයි කියන විට ළදරුවෙකු සිඟිති සිනිඳු අතින් ඇගේ කම්මුල් අතගාන්නාක් මෙනි.”
මාතෘත්වය යනු මෙලොව ගැහැනියකට පැළඳිය හැකි වටිනාම මෙන්ම ඉහළම කිරුළ වන බවටත්, එය ස්ත්‍රීත්වය වන්දනීයත්වයට පත්කරන බවටත් සෑමදෙනෙක්ම පාහේ පවසති. නමුත් එම කිරුළ පැළඳීමට හෝ මාතෘත්වයෙන් ආශිර්වාද ලත් තැනැත්තියක බවට පත්වීමට ගැහැනියක අනිවාර්යයෙන්ම තමන්ගේම දරුවෙකුට ජීව විද්‍යාත්මකව උපත ලබාදිය යුතු වන්නේ නැත. අවශ්‍ය වන්නේ සෙනෙහසින් හා දයාර්ද්‍ර බවින් පිරීගිය ළතෙත් හදවතක් පමණි. එවැනි හදවතක් නිසැකවම ගැහැනියක අම්මා කෙනෙකු බවට පත්කරන අතරම දරුවන්ට සෙනෙහසින් හා ආරක්ෂාවෙන් සපිරි ඉඩකඩක් ලෝකය තුළ නිර්මාණය කරනු ඇත. ඉතාමත් ප්‍රකට ජර්මානු නාට්‍යකරුවෙකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ “The Caucasian Chalk Circle” නාට්‍යය “හුණුවටයේ කතාව” යනුවෙන් සිංහලයට නගමින් හෙන්රි ජයසේන ශූරීන් මෙලෙස පවසන්නේ එබැවිනි.
“මුදු ගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වෙය
රියැදුරු මනා වූ
ලැබිය යුතු වූ සේම අස්රිය
මව් ගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වෙය
ගොවි දන මනා වූ
දිනිය යුතු වූ සේම ගම් බිම්”
“Miss Baek” සිනමාපටය ද ලොවට පිළිබිඹු කරන යථාර්ථය වන්නේ එයයි.
ඔබ ඔබේ දරුවන්ට ජීවය ලබාදුන්නෙහි ය. ඔවුන් උපත ලැබුවේ ඔබගෙනි. ඒ සියල්ලක්ම සැබෑ ය. නමුත් ඒ කිසිවකිනුදු ඔවුන් ඔබට අයිතිවන බවක් හැඟවෙන්නේ නැත. ඔවුන් ඔබට අයිතිවන්නේ නැත. දරුවන් අයිති ලෝකයට ය. ඔවුන්ට ඔවුන්ගේම ජීවිත පවතී. ඔවුන්ට ද ඔබට මෙන්ම ඔවුන්ටම උරුම වූ හැඟීම් දැනීම් ඇත. ඔබ ඔවුන්ගේ දෙමාපියන් හෝ භාරකරුවන් වීම ඔවුන්ව පීඩාවට පත්කිරීම සඳහා ඔබට ලැබෙන නිල නොලත් අවසර පත්‍රයක් නොවේ. ඔබට ඔවුන්ව කිසිවිටෙකත් පීඩාවට පත්කිරීමට මෙන්ම ඔබගේ පීඩනය ඔවුන් මුදාහැරීමට කිසිදු අයිතියක් නොමැත.
ඇතැම් අයට තම දරුවන් තමාගේ ජීවිතය තුළ සිදු වූ “අත්වැරැද්දක්” ලෙස පෙනී යාමට හැකිය. එනිසාම ඔබ ඔබේ දරුවන් නොසලකාහැරීමටත් ඔවුන්ව පීඩාවට පත්කිරීමටත් හැකිය. නමුත් එහිදී ඔබ විසින් වටහාගත යුතු ප්‍රබල සත්‍යයක් ඇත. දරුවන් එසේ “අත්වැරැද්දක්” නම් එය කිසිසේත්ම ඔවුන්ගේ වරදක් නොව ඔබගේ වරදක් වන බව ය. එයට ඔවුන් වගකිව යුතු නැත. එනිසාම ඔබට එවැනි හේතූන් මත දරුවන්ව පීඩාවට පත්කළ නොහැකි ය. එවැනි “අත්වැරදීම්” සිදුවීමට පෙර වළක්වාගත හැකි ආකාරයන් ලොව කොතෙකුත් පවතී. කිසිම දරුවෙකු මෙලොවට කාගේවත් “අත්වැරැද්දක්” ලෙස බිහිවිය යුතු නැත. කිසිම දරුවෙකුට මේ ලොව තුළ එවන් තත්වයක් හිමිවිය යුතු නැත.
මිස් බේක් සිනමාපටය තුළින් මෙලස ගෙන හැර දක්වන්නේ සමාජය තුළ දැකිය හැකි එක් අඳුරු, හද කම්පාකරවන සුළු යථාර්ථයක පැතිකඩකි. අප සිතන්නේ කුඩා දරුවන් පීඩාවට පත්වන්නේ නාඳුනන පුද්ගලයන් වෙතින් බාහිර පරිසරය තුළ දී යනුවෙනි. නමුත් තම නිවෙස් තුළම මෙලෙස කුරිරු හා හද කම්පාකරවනසුළු අන්දමින් පීඩාවට පත්වන, කිම් ජී වැනි දරුවන් ලොව කොතෙකුත් ඇත් ද?
ඔවුන් සියලුදෙනාම ඒ පීඩාකාරී ග්රහණයන්ගෙන් මුදවාගැනීමට සුරංගනාවන්, දයාබර කුරුමිට්ටන් හෝ මිස් බේක්ලා පැමිණෙන්නේ නැත. නමුත් එවැන්නන් පැමිණෙනු ඇතැයි ඔවුන්ගේ කුඩා සිත් තුළ පුංචි හෝ බලාපොරොත්තුවක සේයාවක් නොමැති වේ යැයි පැවසිය හැක්කේ කා හට ද?
තමාට සිදුවන දහසකුත් එකක් පීඩාවන් වෙනුවෙන් හඬක් නැගීමට නොහැකිව ඔවුන් අඳුරේම සැඟවෙමින් සෑම මොහොතකම අවිනිශ්චිත බියකින් යුතුව සිය දහස් වාරයක් සිතින් මැරි මැරී ඉපදෙනු ඇති ද?
මෙය හුදෙක් මවිසින් සිනමාපටයක් පිළිබඳව රචිත තවත් එක් ලිපියක් ලෙස හඳුන්වාදීමට මම අකමැත්තෙමි. මෙය තවත් එක් අම්මාකෙනෙකුගේ ලියවිල්ලකි. මේ සෑම අකුරක්ම ඔවුන් වෙනුවෙනි. මෙය අකුරු කරන මේ මොහොතේදීත් මගේ දෑසේ නැගී ඇති කඳුළු බිඳු ඔවුන් වෙනුවෙනි. මා කිසිදා නොදුටු, නමුත් හදවතින් වැළඳගෙන මහත් සෙනෙහසින් ළයට තුරුළුකරගන්නා මගේ ඒ දරුවන් වෙනුවෙනි.
– හංසිනී කවින්දි –
**********************************************
Directed by – Lee Ji-won
Produced by – Kang Ga-mi
Screenplay by – Lee Ji-won
Starring – Han Ji-min
Kim Si-a
Lee Hee-joon
Music by – Mowg
Cinematography – Kang Guk-hyun
Edited by – Han Young-gyu
Heo Sun-mi
Production company – Bae Pictures
Distributed by – Little Big Pictures
Release date – October 11, 2018
Running time – 98 minutes
Country – South Korea
Language – Korean
Box office – US$5.4 million