සිදුහත් උපත ප්‍රශ්ණ කරන චින්තක සමන්ගේ වැහි වැටෙන දවස් – බිලිණි ප්‍රතිභා


අද කුරුණෑගල ගියේ වෙනත් වැඩ කටයුත්තකට. කුරුණෑගල ප්‍රදේශයෙන් බිහිවූ තරුණ කවියෙකුගේ කවිපොතක් ගැන මුහුණු පොත තුල දිගින් දිගටම පලවන අදහස් නිසාම අධ්‍යාපනික පොත් කිහිපයක් මිලදී ගන්නා ගමන් වැහි වැටෙන දවස් කාව්‍ය සංග්‍රහයත් මිලදී ගත්තා.

අද වැහි වැටෙන දවසක් නොවුනත් වැස්සක් තරමටම අභ්‍යන්තරය සිසිල් කරවන අපූර්වතම කාව්‍ය අභ්‍යාසයක් ලෙස එම කෘතිය හදුන්වන්නට පුළුවන්. මෑතකදි කියවූ කවිපොත් අතර වැහි වැටෙන දවස් ස්ථානගත කල යුත්තේ කොතැනකදැයි මා දන්නේ නැහැ.

බොහෝ කවි පොත් කියවා හමාරකල පසු ඇතිවන හැගීමකට වඩා වෙනස් හැගීමක් තමයි මෙම කවි පොත කියවද්දි අපට ඇතිවන්නේ. එය ජීවිතය පිළිබද පුළුල්ව සිතන්න අපව පොළඹවනවා. එවැනි කාව්‍ය සංග්‍රහයක් ලෙස පසුගිය දිනක මා කියවු ළහිරු කරුණාරත්න ගේ තෙවන කාව්‍ය සංග්‍රහයත් හදුන්වන්නට කැමතියි. ළහිරුලා චින්තකලා මේ ගොඩනගන නව කවිය බොහෝ දෙනාට නුහුරු බවක් දැනෙන්ට පුළුවන්. ඊට හේතුව අපේ රටේ සම්මාන උත්සව වල පවා ඉල්ලන්නේ දේශපාලණික..සමාජ ප්‍රශ්ණ ගැන කතා කරන්න ‍‍පොළඹවන රැඩිකල් කවියක්. නැතිනම් අදෝනා කම්පාවන් පිරුණු කවියක්.

චින්තක සමන්ගේ කවිය තුල උදාර මිනිසුන් ගැහැණුන් නිර්මාණය කරනවා. ජීවිතය පිළිබද අපට හැරවුම් ලක්ෂ නිර්මාණය කරනවා. ඔවුන් අපට මුනගැහෙන සාමාන්‍ය මිනිසුන්ම වුවත් ඔවුන්ගේ අභ්‍යන්තරය මහා විශාල කියවීමකට චින්තක අපට ‍දොරටුවක් විවර කරනවා.

මා මෙම කවි පොතෙහි එවැනි එක් උදාහරණයක් පමණක් ගන්නම්. ඒ කවිය තමයි ..

නූපන් ම පුතුට නම් කවිය.

මේ කවිය ඉතා සුලභ සිදුවීමක්. එක් පාර්ශවයකට විදින්නට වූ සිදුවීමක් වුවත් මෙය කවියා කියාපාන්නේ මුළු සමාජය පුරාම පැතිරුණු පුළුල් කෝණයකින්‍. කවියේ ආරම්භය… කථකයා‍ට ජීවිතයේ විශේෂිත සිදුවීමකට මුහුණපාන්නට සිදුවෙනවා. එනම් තමන්ගේ බිරිදගේ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේදී වෛද්‍යවරයා ප්‍රකාශ කරන ප්‍රකාශයක් නිසා.වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ දරු ප්‍රසූති සැත්කම අවදානම් බවත්. දරුවා හෝ මව යන දෙදෙනාම කිසි සේත් බේරාගත නොහැකි බවත්.

ඉතිං මේ පියා මේ අවස්තාවේදී පත්වන උභතෝකෝටිකය කවියා හසුරුවනයුරු මදක් විමසා බලන්න. කවියේ සියළු ආමන්ත්‍රණයන් එතැන් සිට ඔහු සිදුකරන්නේ තමන්ගේ නූපන් දරුවාටයි. ඔහුගෙන් සිදුකරන ඉල්ලීමක් ලෙසටයි.

මායා දේවියක නොව ඇය
ගෙවාවිත් දුරු සසර
තියා නුඹ මා අත
නික්ම යන්නට පුත

ඔහු තමන්ගේ ලෙයින් බිරිදගේ කුසතුල සිටින බිළිදාට මහාමායා ‍දේවියගේ සිදුහත් පිළිසිද ගැනීමේ කතාන්දරය සිහිපත් කරවනවා. අපි දන්නවා මහාමායා කුසතුල සිදුහත් පිළිසිදගත් ආකාරය.තුසිත දෙවි ලොවින් නික්ම සිදුහත් බෝසතානන් තමන්ගේ කුස තුල පිළිසිදගත් පසු මහාමායා දේවිය දින 07 කින් කළුරිය කරනවා. ඉතිං මේ සැමියා පුතාට කියන්නේ මායාදේවිය වගේ තමන්ගේ බිරිද මිය යන්නට උවමනා නැති බව. මොකද සසර පුරා පෙරුම්පුරා බුද්ධත්වය අපේක්ෂා කල කෙනෙකු නොවෙයි මේ උපදින්නට යන තමන්ගේ දරුවා. නමුත් ඔහු දරුවාට අසීමිතව පෙම්කරනයුරු කවිය පුරා අපට දැනෙනවා.

රෝහල් කොරි‍ඩෝව දිග‍
දෙතිස් තලයෙහි ඇවිද
වෙදදුරුට පවසමි
ඇය උවමනා වග මට
ඉන් හැගෙන්නේ පුත
නුඹ අවැසි නැති වගම නොව

ඔහු වෛද්‍යවරයාගේ ඉල්ලීමට එකවර පිළිතුරක් දෙන්නෙත් නැහැ. ඔහු රෝහල් කොරිඩෝ පුරා ඇවිදිනවා. එය කවිය කියන්නේ දෙතිස් තලයෙහි ඇවිදීමක් බවයි. අපි දන්නවා බුද්ධ දේශණාව අනුව ‍දිව්‍ය ලෝක. බ්‍රහ්ම ලෝක. තිරිසන් ලෝක. මනුස්ස ලෝක සියල්ලෙහි එකතුව තිස් එකක්. ‍ඉතිං දෙතිස් තලයෙහි ඇවිදිනවා යන්නෙන් කවියා අදහස් කරන්නේ දරුවා නැති කල යුතු බවට තමා මෙම ‍දෙන තීරණය නිසා තමන් කවර පවිකාරයෙක් වේවිද සිතනවා යන්නයි. නමුත් ඔහු ඒ සියල්ල අවබෝධකරගෙනත් නැවත එකවරම පැමිණ වෛද්‍යවරයාට දැනුම් දෙන්නේ තමන්ගේ නූපන් පුතුගේ ජීවිතය බිලිදී හෝ තමන්ගේ බිරිද බේරාගන්නට කටයුතු කරන ලෙසයි. මෙම තීරණය නිසා ඔහු‍ ටත් බිරිදටත් විදින්නට සිදුවන අපහාස නින්දා ගැනත් ඔහු කල්පනා කරනවා.

කිඹුල්වත්පුර නෑයින්
අවි අමෝරා එනු ඇත
ඇයව අත්හල සැමියා
මගේ සිත විමසනු ඇත
ඇයව පිලිකෙව් කරනා
උන් තවත් වැඩි වනු ඇත

තමන්ගේ නෑයින් එදා ශුද්ධෝන රජුගේ නෑයින් මෙන් මෙම දරුවා හෝ මායා දේවිය පිළිගන්නේ නැති බව ඔහු කල්තියාම දැන සිටිනවා. මෙම තීරණය නිසා තමන්ටත් වඩා අපහසුතාවයට නින්දාවට පාත්‍රවන්නේ තමන්ගේ බිරිද බවත් ඔහු දන්නවා. ඇයව පිළිකුල් කරනා ලෝකය තව තවත් වැඩිවේයැයි ඔහු කියනවා. එමෙන්ම ඇයව අත්හල සැමියෙක් ගැනත් කියනවා. මේ සිදුවීම් මාළාව සංකීර්ණ වන්නේ මෙම ඉගිකිහිපය නිසා.

ඇත්තෙන්ම ඇය කලින් විවාහයක් සිදුකරගත් ගැහැණියක්. ඇගේ සැමියා ඇයව අත්හැර ගිහින්. ඒ විතරක්‍ නොවෙයි ඇයට දියණියකුත් සිටිනවා. ඔහු සිතනවා ඇයව අත්හල සැමියා උනත් මේ අවස්ථාවේදී තමන්ගේ තීරණය දෙස බලා සිටිනු ඇති බව. මොකද ඒ සැමියා හිතනවා ඇති ඔහු ඇතැම් විට මේ නොවටිනා ගැහැණියව මෙවන් අවස්තාවකදී අත්හැර දමයි කියා.

ඇය නිසාවෙන් කැපකල
මදිවියෙහි මල් සමය පිළිබද
ශෝක වේයැයි සිතමිනි
අනතුරක් ඇති වගද දැන
කුසතුල වඩා ගත්තේ පුත නුඹ

ඔහුගේ බිරිදත් ඔහුත් මෙම දරුවාත් අතර දිවෙන කතාන්දරය සුළුපටු එකක් නොවෙයි. එය ඛේදාන්ත රැසක් සමගින් දිගු කලක් පැමිණි එකක්. මෙම කථකයා මෙම බිරිද වෙනුවෙන් ලොකු කැපකිරීමක් කල කෙනෙක්. මන්ද ඇය සැමියෙකු විසින් දියණියක් සමග අත්හැර දැමූ ගැහැණියක්. කථකයා ‍බොහෝ කලක් ඇය ඇගේ ප්‍රශ්ණ විසදාගෙන තමන් වෙත එනතෙක් බලා හිදින්නට ඇති. ඇගේ කුසතුල දරුවෙක් පිළිසිදගත් බව දැනගත් මොහොතේ මෙම කථකයා යෝජනාවක් කරන්නට ඇති අපි දරුවා නැති කරමු කියා. මොකද ඔවුන් දෙදෙනාම දන්නවා තරමක් වයසට ගියාම දරු ප්‍රසුතියක් ටිකක් අමාරු විය හැකි බව.

නමුත් මේ ගැහැණිය අනතුරක් ඇති වග දැන දැනත් ඊට කැමැත්ත පල කරන්නේ ඇය නිසාවෙන් කැපකල මෙම තරුණයාගේ ජීවිතයේ ඇයට අවම වශයෙන් ඔහුට පිය පදවියවත් ලබාදෙන්නට බැරි මන්දැයි කල්පනා කරමින්. මහා කැපකිරීම් පිරුණ ඛේදාන්තයක් නොවේද මෙය. කෙදින හෝ මම මේ ගැහැණිය වෙනුවෙන් මගේ ජීවිතය විනාශ කරගත්තායි ශෝක වේයැයි ඔහු සිතාවියැයි සිතා තමයි ඇය දරුවා කුස තුල වැඩෙන්නට ඉඩ හරින්නේ.

පෙර විවාහයෙ දියණිය
සිටී මහමෙරක් මෙන්
ඇයත් සමගින් පැමිණ
මගේ විජිතය සරසා


මිනිස්සුන්ට ජීවිත තිත්ත විය යුතු නැහැ. තම තමන් තුලම ජීවත් වීමට ප්‍රියතාවයන් හදාගන්නට පුළුවන්. මෙම කතාන්දරයේ අප හෘදයේ උතුම් දොරටුව විවර වන්නේ ඒ හරහායි. කථකයා තමගේ නූපන් පුතුට කියන්නේ ඔහුගේ මව එසේත් නැතිනම් තමන්ගේ බිරිද හිස් අතින් ආපු ගැහැණියන් නොවෙයි. ඇය දුවක් සමගින් ආවේ. ඒ දුව තමන්ගේ ජීවිතය දැනටමත් සරසමින් සිටිනවා. ඉතිං තමන්ගේ ලෙයින් හැදුනු දරුවෙකුගේ ලොකු උවමනාවක් තමන්ගේ අභ්‍යන්තරයට දැනෙන්නේ නැහැ කියායි.

පුත නුඹ නික්ම යනු මැන
මායා කුසක පිළිසිද
සත් පියුම් මත ඇවිද
ලොවිතුරා බුදුවනු මැන
එකල බණ කතාවක
කියනු මැන අප පිළිබද
අද අප පෙළෙන ලෝකය
සාධු හඩ දෙයි එවිට

කවියා කූටප්‍රාප්තියේදී මහා බරක් අප හිස මත තබනවා වගේම අපේ අභ්‍යන්තරයේ ඇති කුණු සියල්ල මානව ප්‍රේමයෙන් සෝදා හැර අප උතුම් මිනිසුන් මිනිසුන් බවට පත්කොට කවියේ සියළු චරිත උතුම් බවට පත්කරනවා.

පුතුට නික්ම යන්නට කියන්නේ නිකං නොවෙයි‍. මතු බුදුවන්නට බලපොරොත්තු ඇතුව මායා කුසක් වෙත. කවදා හරි සසරෙහි බුදුකෙනෙක් බුදුවූ පසු පෙර ආත්ම භාවයන් ගැන ජාතක කතා.. බණ කතා වල බුදුන් දේශණා කරනවා. ඉතිං කථකයා කියන්නේ එවැනි ජාතක කතාවක එක් ආත්මයක උපදින්නටත් පෙර අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් තමාව කුස තුලම මරා දැමූ බවත් ඒ අම්මාත් තාත්තාත් අද සංසාරේ ඒ පාපය නිසා කොහේ හෝ උපත ලබා ඇති බවත් දෙසන ලෙසද. නමුත් තමන්ගේ පුතාට එහෙමත් නැතිනම් අනාගතයේ බුදුවරයෙක් බවට පත්වන මේ බිළිදාට ඔහු කියන්නේ එදාටවත් බිරිදවත් තමාවත් නිදොස් කිරීමේ වගකීමක් ඔහුට ඇති බවයි.

එනම් මෙම සිදුවීම් වලට බලපෑ සැබෑම හේතු ගැන ගෞරවයෙන් එම ජාතක කතාව දෙසද්දී අද ඔවුන්ව පීඩාවට පත්කරන පෙලෙන ලෝක‍යේ බොහෝ දෙනාද සසර ගෙවා එම දම් දෙසුම අහන්නට පැමිණ සිටිනු ඇති බවයි. ඉතිං ඔවුන් පවා සාධු හඩ දෙන දවසක මෙම සිදුවීම සාධාරණකරනය කරගත හැකි බවයි. නමුත් මෙකව කියවූ පසු මානම් සිතුවේ එම සිදුවීම චින්තක සමන් හේරත් විසින්ම අප අභ්‍යන්තරය තුල සසර පවතින තාක්කල් සාධාරණ තීරණයක් බවට සනිටුහන් කර ඇති බවයි.

චින්තක සමන්ගේ කාව්‍ය සංග්‍රහයේ කවි අප කියවාගත යුත්තේ මෙවැනි සීරුවට ප්‍රවේශමටය . සමාජීය දේශපාශන කියවීම් වෙනුවට ජීවිතය කියවාගැනීමට මෙය මාර්ගෝප‍දේශ සපයන කවි පොතක් වන්නේ එබැවිනි. කවියාට සුභ පැතුම් එක් කරමි

බිලිණි ප්රිතිභා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *