වැහි වැටෙන දවස් – ඉරේෂා හේමමාලි-

කවිය මෘදුය… ප්රබලය… එය කවියාගේත් පාඨකයාගේත් චාරිකාවකි, එම ආශ්වාදජනක බැදීමකට මුලපුරන කවිය ඇත්තෙන්ම වැහි වැටෙන දවසක හවසක කලු කෝපි කෝප්පයක් රසවිදින තරමටම සුන්දරය.
චින්තක සමන් හේරත් තම දෙවැනි කාවය අත්දැකීම “වැහි වැටෙන දවස්” අප වෙත බෙදාගන්නේ එකී සියුම් භාවමය චාරිකාවකට ආරාධනය කරමිනි.

තරුණ පරපුරේ ඉදිරියෙන්ම සිටින කවීන් අතරින් චින්තකට සුවිශේෂ ස්ථානයක් හිමිවේ. ඔහුගේ කවිය සියුම් ය , එය කිසිවෙකුට නොරිදවයි, කිසිවකු නොපෙළයි. ඉතා ඉහල පරිකල්පනයන් තුලින් ඔහු සමාජ යතාර්ථයන් අප වෙත ඉස්මතු කරවයි.

“තුරුලිය මුදුන් කලඹයි බක්මහ අකුණු
උන්මාදයෙන් පොපියයි වැව් දිය පොකුණු
හීනෙන් පෙනෙයි බිරිඳගෙ කන කර විකිණු
මේ හැම දේ ම බිත්තර පුපුරන ලකුණු”

ඉතා සූක්ෂමව තම සිතේ ඇතිවන භාවයන් මනා සංයමයකින් ප්රකාශ කරන මෙම නිර්මාණය තුලින් බහුල සමාජ අත්දැකීමක් අපගේ අවධානයට යොමුකරවීමට සමත්වෙයි.

“කපුටා කීපයක් රතු පණිවිඩ එව්වා
පොඩි උන් අරන් යන්නට එන්නැයි කීවා
බැරි තැන කපුටු නිවසට බිරිඳව යැව්වා
කපුටා ඈට රන්මසු දියකර පෙව්වා”

(අවුරුදුඅඬහැ-56 පිටුව)

උපමාමය රූපකයන් තම කවියට සාර්ථකව එක් කරගනිමින් විඩාබර ශෝකාලපයන් වෙනස්ම දෘෂ්ටිකෝණයකින් ඉදිරිපත් කරන චින්තක ස්වකීය සමාජය තුල තමන්ගේ ඇති සානුකම්පිත බව වඩ වඩාත් ඉස්මතු කර පෙන්වයි.

චින්තකගේ කාව්යමය චාරිකාව තුල අපට නැවතී රසවිඳිය හැකි නවාතැන් බහුලය. කවිය හෝ යම් නිර්මාණයකින් සමාජයට යම් බලපෑමක් , සමාජයේ පිරිපහදුවක් සිදුකල යුතුමය යන්න මගේ පෞද්ගලික අදහසයි. චින්තක අරමුණක් ඇති ලියන්නෙකු බව “වැහි වැටෙන දවස්” අපට ප්රත්යක්ෂ කරදෙනු ලබයි.

“පැන පැන ඇවිත් හාවා කවුළුව ළඟට
ඇහුවා යන්න කැමැති ද?” කියලා සඳට
‘දරුවෝ අමතක ද ශිෂ්යත්වය නුඹට’
අම්මා වසා දැම්මා කවුළුව තදට”

(හාවා ඇවිත් අහසින් පහළට බැහැලා – 15 පිටුව)

ර්ථමාන සමාජය තුල කුඩා ළමයින්ගෙන් ගිලිහී ගිය සුන්දර ළමාවිය සියල්ලටම යළි මතක් කරදෙන මෙම කවිය කාලීනව ඉතාම අත්යාවශ්යම සමාජ මැදිහත්වීමක් ලෙස මට පෙනේ.

තරඟකාරී අධ්යාපන රටාවන් තුල හැල්මේ දුවන රොබෝවරු වැනි පරපුරක් බිහිවෙමින් තිබෙන මෙවැනි සමයක, ආත්මාර්ථයන් පමණක් ඉතිරිව ඇති සමාජයක තම පරිසරය, අනෙකා කෙරෙහි සංවේදී වන සමාජයක් තැනීමේ අඩිතාලම දැමිය යුත්තේ කුඩා දරුවන්ගේ සිත් තුල එකී පොත පතින් එහා ඔවුන්ගෙන් උදුරාගත් ළමා කාලය ඔවුන්ට ලබාදීමෙනි.

නිර්මාණකරුවකු සිදුකලයුතු සමාජ මැදිහත්වීම චින්තකගේ කවිය තුල මම සාධනීය මට්ටමකට දකිමි. චින්තක නව කවි ආරකින් වැඩි නිර්මාණ ප්රමාණයක් මෙම කවි එකතුවට එකතුකර ඇති බව පෙනේ. නමුත් මම නම් තවමත් චින්තකගේ පරණ සඳැස් කවියට තවමත් කැමැත්තෙමි.

මා මෙතෙක් දුටු ඉතාම අලංකාර ප්රවේශය චින්තකගේ මෙම කවියට හිමි බව සඳහන් නොකරම බැරිය,

“ඇතුගල උඩින් වැටුණම අගහිඟ වැස්ස
ඉස්ටේසමෙන් ඩැහැගෙන හතරයි විස්ස
කොළඹට ගෙනත් මා ඇරලු පොද වැස්ස
සුද්දයියගේ ඇත්තම නම පියතිස්ස”

(සුද්දයියා – 43 පිටුව)

චින්තකගේ වැහි වැටෙන දවස් අපට මතු බලාපොරොත්තු තැබිය හැකි කවීත්වයක් ඉස්මතු කරන බව ප්රත්යක්ෂය. නව පරිකල්පනයේ මානයන් විවර කිරීමට සමත් නිර්මාණ හැකියාවකින් යුතු කවීත්වය විටෙක ඔහු යොදාගත් සමහර වාග්මාලාවන් නිසා රසවින්දනයට සියුම් බලපෑම් කර ඇති බවඳ මට පෞද්ගලිකව දැනෙන බැවින් එයත් සුහදව මතක් කරනවා. වචන පුනරුක්තිය අවම වූවානම් ඔහුගේ පරිකල්පණයන්ට තවත් සාධාරණයක් වේ වැයි මම සිතමි.

මෙය ඉතාමත් සාර්ථක කවි ගොන්නක් බවට මෙහි ඇති සියළුම නිර්මාණයන් සාක්ශි සපයනු ඇත.

අවසාන වශයෙන් අප හැම මෙම භාවමය චාරිකාව අරන් ගිය ඔබට, මෙවැනි හරවත් නිර්මාණයක් සමාජයට මුදාහල ඔබට බෙහෙවින්ම ස්තූතියි.

ඉතින් චින්තක,

“මේ වැස්ස මෙ පරිදි ම
වැටෙනවා ඇති.
නුඹ සිටින පෙදෙසට ද”

ඔබට ජය…

-ඉරේෂා හේමමාලි-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *