ලංකාවේ පක්ෂ කියල දෙයක් නෑ. තියෙන්නේ පක්ෂ කාර්‍යාල විතරයි – නිරූපා සේරසිංහ

ලංකාවේ පක්ෂ දේශපාලන ආකෘති අහෝසි වෙමින් යනවාද ?

ලංකාවේ දේශපාලනයේ පක්ෂ නැහැ කොහොමත්. ඉන්නෙ මිනිස්සු. උදාහරණයක් කිව්වොත් රාජිත සේනාරත්න, එස්.බී දිසානායක , ඩිලාන් පෙරේරා හැම පක්ෂෙම ඇමතිවරු, තව අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක ඔය වගේ නම් ලැයිස්තුවක් දෙන්න පුළුවන්.
ඊට පස්සෙ ලංකාවේ දේශපාලන බල අරගල හැදෙන්නෙත් මිනිස්සු වෙනුවෙන්. මහින්ද මහත්තයා වෙනුවෙන් සජිත් මහත්තයා වෙනුවෙන් ගෝඨාභය මහත්තයා මිනිස්සු ඡන්දේ දෙනවා. ලංකාවේ පක්ෂ කියල දෙයක් නෑ. තියෙන්නේ පක්ෂ කාර්‍යාල විතරයි.

වාමාංෂික පක්ෂයක් පොදු ක්‍රියාමාර්ගයකට එළඹ සමාජ සිවිල් චරිත වෙත තම පාර්ලිමේන්තු ආසන ප්‍රදානය කිරීමට ප්‍රයත්න දරමින් ඉන්නවා මෙය ඔබ දකින්නේ කෙසේද ?

ජවිපෙ දේශපාලනය නෙමෙයි මෙතන ක්‍රියාත්මක වෙන්නෙ. ජවිපෙ දේශපාලන භාවිතාවයට එකඟ සිවිල් පුරවැසියන් පිරිසක් දේශපාලනයට එනවා ජවිපෙත් සාමාජිකත්වය දරන බලවේගයක. ජවිපෙ එහි දේශපාලන පක්ෂයක් විතරයි. ඔවුන්ගෙ පක්ෂයට එහෙම වෙනසක් අවශ්‍ය නිසා ඔවුන් කල්පනා කරන්න ඇති මෙහෙම වෙනසකට යන්න. ඒකට එකඟ පිරිස් ඔවුන් වටා එකතු වුණා

ඔබ ජවිපෙ සාමාජිකාවක් හෝ දේශපාලන ක්‍රියාදරියක් නොවන තැනකදී ඇයි එය මූලික කොටගත් තැනකින් පාර්ලිමේන්තුව සදහා තරග වදින්නේ..?

අනික් පක්ෂවලට යන්න ලැජ්ජ නිසා

සරලව ගත හොත් ජවිපෙට පක්ෂපාත හෝ එහි වාර්තමාන හෝ අතීත ක්‍රියාදාමයකට ඔබ හුරුව සිටින්නියක් විය හැකියි. එසේ එසේද ?

ඔව්, දූෂණයට වංචාවට එරෙහි සටනේදි සහ සමාජ දේශාපාලනික කාරනා වලදී හැමදාම ඔවුන්ගෙ අරගලයට මම ප්‍රශංසා කළා..ඔවුන්ගේ මතයට සහ පෙනීසිටීමට මම ගරු කලා..

88 -89 කාල වකවානු සමග සංසන්දනය කිරීමේදී මේ වන විට වාමාංෂික පක්ෂයන්ගේ වැඩපිළිවෙලෙහි වෙනසක් දැකිය හැකියි .. එය අර්ථ විග්‍රහ කරන්නේ නම් එය කියවා ගන්නේ කෙසේද ?

ආයුධ සන්නද්ධ අරගල තව දුරටත් ලෝකේ වලංගු නැහැ. 88/89 අරගලය සිදු වුනේ ඒ අවස්ථාවෙ ඇතිවු දේශපාලනික සහ සාමාජීය පීඩනයේ පුපුරා යාමක් විදියට..
තමන්ගේ බෙල්ල පාගන් ඉන්න කෙනාගෙ සපත්තු අඩිය ලෙවකන්න එපා කියලා ජීවිත උදාහරණ සහිතව පෙන්වූ ඒ අරගල කළ මිනිසුන්ට සැමදාම අපි ආචාර කළ යුතුයි. ඒ යුගයෙ වාමාංශික පක්ශ අද දක්ශිනාංශික පක්ශ ඇතුලෙ දියවී යාම කොතෙක් ද කියනව නම් එදා දැඩි වාමාංශිකයො අද දක්ශිනාංශික පක්ශවලින් ඡන්දෙ ඉල්ලනවා..

ඕනෑම මැතිවරණ අපේක්ෂකයෙකුට හෝ අපේක්ෂිකාවකට එම මැතිවරණයේදී ඡන්ද පොරෝන්දු ජනතාවට දෙනවා. ඔබ දෙන මැතිවරණ පොරොන්දුව කුමක්ද?

දෙන්නම් කාසි ඕන නැහැ. ජවිපෙ සහ එහි සහයෝගය ලබන කණ්ඩායම්වල අතීත භාවිතාව බලන්න. ඒක තමයි පොරොන්දුව

බොහෝ අවස්ථාවන්හිදී අප දැක තිබෙනවා. එක් හෝ පවුලක්, පක්ෂයක්, බලයක් පරාජය කිරීමට මැතිවරණ මෙහෙයවීම්.. ඇයි මෙහි අඩංගු නොවන්නේ ක්‍රමයක් පැරදවීමට මැතිරණයට පැමිණීමක් ..?

ලංකාවේ දේශපාලනය තාම කැරකෙන්නෙ වලව් කිහිපයක් වටා. ලංකාවේ ක්‍රම කියන්නේ රටේ පාලකයා කියන ක්‍රමයට ඔහේ ජීවත් වීමයි. ඒ නිසා දේශපාලනයෙ ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්නෙ බොහෝ දුරට පවුලක් තමයි ගැටලුවට මුළ

කාන්තා නියෝජනයට අදාළව ඔබ මැතිරවණය සදහා තරග වදින්නේ නම්. මොනවාද කාන්තාවක් වීම නිසා ඇයට උද්ගතව ඇති ප්‍රධාන ප්‍රශ්න.

කාන්තා නියෝජනයට අදාල ව මම මැතිවරණයට ඉදිරිපත් උනත් , මම එන්නෙ කාන්තාවගෙ ප්‍රශ්න විසඳීම සදහා පමණක් නෙමෙයි .මේ රටේ පවත්නා දහසක් ප්‍රශ්න අතරෙ කාන්තාව සම්බන්ධ ප්‍රශ්න වලට විසඳුම් සෙවීමත් මගේ එක අරමුණක්. කාන්තාවක් වීම නිසාම උද්ගත ප්‍රධාන ප්‍රශ්න වශයෙන් එකක් දෙකක් කියලා නවත්තන්න පුලුවන් මට්ටමක් නැහැ ඇත්තටම. ආර්ථිකමය, සාමාජීය, සංස්කෘතිකමය යන සෑම අංශයකින්ම කාන්තාව දැඩි පීඩනයක ඉන්න බවත් , ඒ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන තෙක් මේ රට දියුනු තත්වයකට පත් කල නොහැකි බවත් මට ස්ථිරවම කියන්න පුලුවන්

අපට කියන්න නිරූපා සේරසිංහ කියන්නේ කවුද ? ඇයි ඇය බලයට පත් කරගත යුත්තේ..?

නිරූපා සේරසිංහ කියන්නෙ ගැහැනුකම ආභරණයක් කරගත්, අභියෝග එක්ක ගැටෙන, සාම්ප්‍රදායික මහ සමාජයෙ බමුනු මතවලට බයේ මුලු ගැන්වෙන්නෙ නැති ගැහැනියක්. මම බලයට පත් කරගත යුත්තේ, ආර්ථික සහ සාමාජීය වශයෙන් රටේ පවන්නා බරපතල ව්‍යවසනකාරී තත්වයෙන් රට නිවැරදි දිශානතියකට යොමු කිරීමට තරම් දැක්මක් හැකියාවක් මා ඇතුලු අපේ ජාතික ජනබලවේගයේ කණ්ඩායමට පවතින නිසා

ඔබ නියෝජනය කරන දිස්ත්‍රික්කයට අදාලව එහි වාසය කරන ජනතාව ඔබට කීමට ඇත්තේ කුමක්ද ? ඔබ මහජන නියෝජිතවරියක් ලෙස තෝරා ගන්නේ නම්?

කොලඹ දිස්ත්‍රික්කය කියන්නෙ අපේ රටේ දියුණුම දිස්ත්‍රික්කය උනත් මෙහි සඟවුනු ඛේදවාචකයකයන් බොහෝමයි. පැල්පත් සහ වතු නිවාස ආශ්‍රිතව සුවිශේශි මෙන්ම ඉන් බාහිරවත් පවතින සෞඛ්‍ය ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, මත්ද්‍රව්‍ය උවදුර , ළමා හා කාන්තා අපචාර, ළමා විවාහ ඇතුලු සමාජීය ගැටලු වගේම පාරිසරික ගැටලුත් බොහෝමයි. ගොඩනැගිලි ලස්සන උද්‍යාන තිබුනට ඒවා පිටුපස සැගවුන සමාජ ආර්ථික ව්‍යවසනයන් බොහෝයි. මෙතෙක් පැමිනි හැම පාලකයෙක්ම කලේ ඒ ව්‍යවසනයන් හරහා බලය ලබා ගැනීමයි. අපි ඒ ක්‍රමය වෙනස් කිරීමට, කොළඹට පමණක් නොවේ මුලු රටටම නිවරැදි දිශානතිය පෙන්වීමට සූදානම් ..

සාකච්ඡා කලේ  –  තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *