පසින් මතු වූ සිඟිත්තෝ – ( capture & chatter 02) – මනෝහරී වීරසිංහ

මේ දින නිහිපයේම .. උදෑසන අවදි වන්නේ අසල්වැසි නිවෙසකබිළිඳියකගේ හැඬීමක් සමගමයි. ඒ බිළිඳු හඬ කෙතරම් මිහිරිද .. ඒ ශබ්දයට ඇහුම්කන් දීගෙන සිටිද්දී මට සිහිපත් උනේ, හෙමිහිට හෙමිහිට මේ ලෝකයේ එලිය බැලූ මගේ පුංචි පැංචියන් අද දිනයේ කෙසේ වේදැයි විමසන්නටය.

ඊයේ දවසට වඩා ශරීරයෙන් දිගු වී ඇද්ද? අත් පා වැඩී ඇද්ද, සියුමැලි වීද, පැහැය වෙනස් වී ඇද්දැයි බැලීමට ඉක්මන් උවමනාවක් මා හට ඇතිවේ.

ගෙමිදුලට ගොස් පිරික්සමි. ඊයේ දුටුවාට වැඩි වෙනසක් අද මම දකිමි. කුඩා පැලෑටි වල පත්‍ර තරමක් විහිදී ඇත. පත්‍ර වල සියුම් නහර යංතමින් තවම පෙනේ. සමහරක් පැලෑටි වල පැහැයට වඩා පත්‍රවල පැහැය වෙනස්ය. සමහරක් පැලෑටිද පත්‍රද එකම පැහැයකි. තව පැලෑටි හිස් මත බීජ උසුලාගෙනය. සමහර බීජ පස් තැවරීගෙනම මතු වී ඇත.

මම ඔවුන්ගේ පිංතූර කිහිපයක් ගැනීමට සිතමි. එතැනට හිරු කිරණ විශාලව ඇත. ආලෝකය වැඩිය. ඇපචරයේ මදක් ඉහල අගයකට වෙනස් කරමි. එවිට අවැසි පිංතූරය මත ප්‍රමාණවත් තරම් ආලෝකය අඩු කර ගත හැක.

මට පෙනෙන්නේම මේ කුඩා පැලෑටිද අලුත උපන් දරුවන් මෙනි. ඉතා සියුමැලිය. තදින් ඇල්ලුවොත් බිඳේයැයි සිතේ. ඒවා ස්පර්ශ කිරීමට ආසා සිතේ. ඒවා නින්දේ පසුවන බිලින්දන් මෙනි… සුළඟට සෙලවීමටවත් නොදනී. එක තැන ඔහේ තිබේ. ඔවුන්ට රැකවරණය, පෝෂණය, හිරු එළිය අවැසිය.
එකවර එකතැන කුඩා පැලෑටි කිහිපයකට වැඩිය හැක. ඒ කුඩා අවදියේදි පමණි .. ටික දිනකින්ම ඔවුන්ව වෙන් කල යුතුය. වෙන වෙනම ස්ථානගත කල යුතුය.

පස් අංශු තවරගෙන බාහිර ලොවට පැමිණි බීජයක සමීප පිංතූරයක් ගැනීමට කැමරාව මානමි. එතැනට ආලෝකය මදක් අවමය. කැමරා සමීකරණ වෙනස් කරමි. කාච ද්වර විවර වීමේ වේගය අඩු කරමි. දැන් කැමරාව තුලට ආලෝකය පැහැර ගැනීම සිදුවන්නේ අලස ලෙසිනි. එවිට පින්තූරයට හොඳ හැටි ආලෝකය ලැබේ. බීජය මත සියලු දෑ කදිමට සටහන් වී ඇත. මට මෙහි වෙන දෙයක් පෙනේ. මව් කුසින් මෙලොවට සැහැල්ලු වන බිළිඳෙකු සේය. බිළිඳු සමක මුලින්ම දකින රැලි සහිත අවලස්සන පෙනුම දකිමි.

එහෙත් තව දින දෙක තුනකින් මේ සෑම දෙයක්ම වෙනස් වී .. ඉතාමත් සුසිනිඳු නිරෝගී බිළිදෙකු සේම මේ කුඩා පැළද මට දකින්නට ලැබෙන බව දනිමි.

ඉතින් නැවත දවසක අලුත් පාටක් සමග හමුවෙමු.

මම – මනෝහරී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *