උලලේණි ගත් ජීවිතය – තුෂාරා ප්‍රියදර්ශනී

හන්තාන හඳේ ලප
මැකෙනකොට මහරැයේ
උලලේණි ඉල්ලුවා
ජීවිතය මගෙ දුවේ.

සරසවපු පෙට්ටියක්
ඕනෙ නෑ අන්තිමේ
තාත්තා ළඟින් වල
කපාපන් චුටිටියේ……….

බෙහෙත් නැති බෙලෙක්කය
කවුරුවත් දැක්කොතින්
දැන් බෙහෙත් නොබොන
කියාපන් හැමෝටම……….

සැලකුවේ නෑ කියලා
දොස් කියයි ගමේ වුන්
නෑහුණා වගේ නුඹ
ඉදින් හිත තද කරන්……….

වෙලාවක් තිබුණොතින්
බණ ටිකක් කියවපන්
ගමේ උන් උදවුවට එයි
අහක නොබලපන්……..

ගේ උරුමේ ලියලි ඇති
මල්ලීට පොඩි දුවේ
උඩ ඉඩමෙ උරුමයට
ලොකු දූයි සිහි වුණේ
කූඹුරෙ ඔප්පුව උඹට
ලියලා ඇති දෝණියේ
පන්සලේ ඇති ඔප්පු
අරගනින් දෙයි පුතේ……….

අක්කා හෙට ඇවිත් ළඟ
වැටීගෙන අඬනකොට
සනසපන් ඩිංගකට
පේන්නට ගමෙ වුණ්ට……..

අමනාපයක් හිත
⁣කොනකවත් නෑ පුතේ
කරපු පවු ගෙවෙන්නට
තියෙන්නැති මේ ලෙසේ
දරු සෙනේ දැණුනොතින්
නුඹත් මව් වෙන දිනේ
නියත විවරණ දේවි
බුදු වෙන්න මට පුතේ……………

2020/05/20 -තුෂා-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *