ජනාධිපතිවරණයේ දී වගේ වුනොත් අපි පරදිනවා – රනිල් කියයි

පසුගිය ජනාධිපතිවරණයේ අනුගමනය කළ ප්‍රතිපත්ති තවදුරටත් අනුගමනය කළහොත් මහ මැතිවරණයද පරාජයට පත්වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසසයි.

එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති නායකයින් අමතමින් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඔහු මේ බව සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීය සමිති නායකයින් පිරිසක් නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි විරෝධයක් එල්ල විය.

එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති නායකයින් හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර මෙම හමුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැත් විය.

ඊට පක්ෂ උපනායක රවී කරුණානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

අනතුරුව වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සිය ගැටලු ඉදිරිපත් කිරීමට යෑමේදී ඔහු එම ස්ථානයෙන් පිටව යෑමට උත්සහ දැරීමත් සමග දැඩි විරෝධයක් එල්ල විය.

තත්ත්වය පාලනය කිරීමට පුත්තලම දිස්ත්‍රික් නායක පාලිත රංගේ බණ්ඩාර මහතා උත්සහ කළද එයද ව්‍යර්ථ විය.

සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් පිටතට පැමිණි වෘත්තීය සමිති සාකච්ඡාවට එක්ව සිටි පිරිසෙන් කොටසක් සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය වෙත පැමිණෙන ආකාරය මෙලෙස දක්නට ලැබුණි.

මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති උණුසුම් වාතාවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත් විය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ගෙන ඇති තීරණය වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ගොනු කර ඇති පැමිණිල්ලට අදාළ වාචික දේශන ලබන 15වන සදුදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ දිසා අධිකරණය අද දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂය විසින්  පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ පිරිස වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර හිටපු මන්ත්‍රීවරයා විසින් ගොනු කළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් මෙම නියෝගය  නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *