ආදරණීය බිරිදැවරුන්ට – Yවර්ණ – 03 – නිරොක්ෂි ජෑන්ස්

සමාජයේ මුලිකම ඒකකය තමයි පවුල කියන්නේ ..පවුල මුලිකත්වය දරන්නේ ස්වාමිපුරුෂයා වුනාට පවුල රදාපතින්නේ ගැහැණිය මත. කවුරු කොයි කතාව කිව්වත් ඇත්ත ඒකයි .ඒත් අද සමාජේ දිහා බැලුවාම ගොඩක් පවුල් තියෙන්නේ අවුල් වෙලා ..ඒ ඇයි දන්නවද ?

ගොඩක් ගැහැනුන්ට තමන් ගැන තියා පවුල ගැන හිතන්වත් වෙලාවක් නැ ..ඒ තරමටම අමුතු බීසී ලයිෆ් එකක ජිවිතේ හිර කරගෙන ..එ්කට මුල්ම හේතුව තමයි ලෝකෙම එකම තැනකට ගෙනත් දිග හරින ජංගම දුරකථනය. ඇත්තටම බැදපු ගෑනියෙක්ට ස්මාට් ෆෝන් එකක් කියන්නේ බෝ වෙන ලෙඩක් වගේ..
එක එක දවසට ඒකට ඇබ්බැහි වෙනවා . තමන්ගේ වගකීම්, යුතුකම් මඟහරිනවා වගේම මඟහැරෙනවා ..කාලය නිකරුණේ නාස්ති කරනවා.

තමන් උදේ ඇදගත්තු ඇදුමවත් මාරු නොකර , දතකට මදින්නේ නැතුව ,විනාඩි දෙකේ කෑම හද හද , ළමයින්ටත් ටීවී එකේ විකාර බලන්න හුරු කරවලා , තමන්ගේ මිනිහා ගෙදර එනකම් රටේ ලෝකේ විස්තර හොයනවා..
මිනිහා ගෙදර ආවට පස්සේත් ලේසියට දවල් උයපු කෑමක් රත්කරලා දීලා,⁣ ෆෝන් එකේ සිහියෙන්ම නින්දටත් යනවා. ආයෙමත් උදේට අර විදිහට සුපුරුදු ජිවිතේම ගත කරනවා. ඇත්තටම කසාද ජිවිතේ කියන්නේ ඒ තරම් සිම්පල් දෙයක්ද . ඒ වගේ තැනක පිරිමියෙක් පිට යනවා කියන එක අරුමයක් නෙමෙයි. මොන මිනිහද කැමති උදේ පාන්දර දැක්ක ඇදුමෙන් හවස වැඩ ඇරිලා ගෙදර එද්දිත් කාලිවගේ ගෑණිව ඒ විදියටම දකින්න. වැඩ ඉවර කරලා මහන්සියෙන් එද්දී ෆෝන් එකේ එල්ලා ඉන්න සුකුරුත්තමක්ව දකින්න..

මිනිහෙක් ආසයි වැඩ ඉවර කරලා ගෙදර එද්දී තමන්ගේ ගෑනි ලස්සනට පිළිවලට ඉන්නවා දකින්න. දොරකඩට ආවේ නැතත් ආපු ගමන් ඒ මුණේ හිනාවක් දකින්න.

” ඔයාට මහන්සිද ?”

” ඉන්න මං තේ එකක් හදාගෙන එන්නම් ..”

” ඔයා කන්න ආසයි කිව්ව හින්දා මං අද ඒ කෑම හදලා තිබ්බා ..”

” ඉතිං අද මොනාද වුනු විස්තර…?”

ඔන්න ඔය වගේ දේවල් ටිකක් ආදරෙන් ළං වෙලා අහනවට වයස් භේදයකින් තොරව ඕන පිරිමියෙක් කැමති ..
අනිත් එක ගෑනු ලස්සනට ඉන්න ඕන , ආදරෙන් කතා කරන්න ඕන, හුරතල් වෙන්න ඕන බදින්න කලින් විතරක් නෙමෙයි. ගොඩක් ගැහැනු අය කියන කතාවක් තමයි බැන්දට පස්සේ ඒ ආදරේ අඩු වෙලා, ඒ සේරම දේවල් බදින්න කලින් විතරයි කියලා. ඒත් මං කියනවා එහෙම නෑ කියලා . ඒ දේවල් බොහෝ විට වෙනස් වෙන්නේ ගැහැනියගේ ක්‍රියාකලාපය මත.

ගැහැනියෙක් දැනගත යුතුයි, ආදරේ කරන කාලේ වගේම බැන්දට පස්සෙත් ලස්සනට ඉන්න, ස්මාට් වෙන්න. අලුත් අලුත් කෑම ජාති හදන්න. ගෙදර පන්සලක් වගේ පිරුවට ,පිරිසිදුව තියාගන්න. අමතක වෙන දේවල් පොතක ලියාගෙන හරි මතක් කරගන්න. වියදම් පාලනය කරගන්න. ගෙදර නිකම් ටිවී එක ඉස්සරහ දිය කරන කාලේ ජිවිතේ වෙනුවෙන් කැප කරන්න. මං මෙතැන කියන්නේ නෑ බැදපු ගැනියෙක් කියන්නේ වැඩ කාරියෙක්,රෝබෝ කෙනෙක් කියලා ..
ඒත් කසාද ජිවිතේ කියන්නේ තනිකඩ ජිවිතේ වගේ හිතුමනේපෙට ජිවත් වෙන එක නෙමෙයි . එහෙම ජිවත් වෙන අයත් මේ සමාජේ ඕන තරම් ඉන්නවා . ටික කාලෙකින් දික්කසාද වෙලා ගිය. මොකද කසාදයක් රදාපවතින්නේ විශ්වාසයෙන් පදනම් වෙච්ච කැපකීරිම් එක්ක ඉවසීමෙන් ජිවතේ ගෙවන තැනක මිසක් කසාද බැන්ද පලිය⁣ට රෑ⁣ට ළං වෙලා උදේට ඔන්න ඔහේ කාලයත් එක්ක සෙල්ලම් කරන තැන නෙමෙයි. ඒත් එහෙම හිතපු ගොඩක් අයට කසදා ජිවිතෙන් උරුම වුනේ අසුන්දර දේවල් මිස සුන්දර දේවල් නම් නෙමෙයි .

අනිත් කාරණය තමයි, සමහරක් බිරින්දැවරු ආදරේ කරන කාලේටත් වඩා බැන්දට පස්සේ නිතීරිති දානවා, හිර කරනවා මානසිකව වද දෙනවා . හැම තිස්සෙම එකම දෙයක් අල්ලගෙන කියනවා. සමහරක් තැන්වලදි එහෙම නොකර බැරිව ඇති. ඒත් දෙයක් කියන්නත් ඕන පිළිවෙලක් තියෙනවා . හැම තිස්සෙම කියවන්න, රණ්ඩු වෙන්න ගියොත් කවදාවත් ඒ පිරිමියාට වුනත් හැමදේම එපා වෙනවා . ඒක හින්දා මතක තියාගන්න. අවුලක් වු‍නත් හෙමිහිට කතා කරලා ලෙහා ගන්න..ඒ වගේම මාසෙකට එක දවසක් හරි ඇවිදින්න යන්න. නිවාඩු දවසක එයා එක්කම රස කෑමක් හදලා කන්න ..

හැමදාම නැති වුනත් සති දෙකකට එක සැරයක් හරි එයාට බොන්න කියලා බයිට් ටිකක් හදලා දෙන්න. වෙලාවක් නැතත් වෙලාවක් හදාගෙන පල්ලියකට පන්සලට ගොඩවෙන්න. ඒ වගේම තමන්ගේ ජිවිතේ සතුට ගැන වඩා පවුල් ජිවිතේ ගැන හිතලා වැඩ කරන්න..ඇත්තටම කසාද ජිවිතේ කියන්නේ එක්තරා කැපකීරිමක් තමයි . ඒකට හොදම උදාහරණයක් තමයි අම්මා . අම්මා තාත්තා සාර්ථක පවුල් ජිවිතයක් ගත කරනවා නම් බලන්න එතැන වැඩිහරියක් තියෙන්නේ අම්මාගේ ජිවිතේ කැපකීරීම්..ඒකයි යාථාර්ථය. ඉතිං මතක තියාගන්න ,ඒ වගේ ගැහැනියෙක්ට පුළුවන් ශ්‍රියා කාන්තාවක් වෙලා ජිවිතේ හැම මොහොතක්ම සතුටින් පුරවන්න …!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *