වමේ ඉදන් දකුණ අත ගානවට වඩා, දකුණේ දේශපාලනය කරන එක මට ok. – එජාප ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ 

වමේ න්‍යායාචාර්ය මොඩලයේ හිටපු වරුණගේ මේ ටර්න් එක හරිද ?

න්‍යායාචාර්ය කෙනෙක් වෙනුවට ක්‍රියාකාරිකයෙක් වෙලා හිටිය කියමු, ලංකාවෙ වමේ විවිධ වෙනස්කම් සහිත ප්‍රවනතා හුගක් තියනව. ඒ අතරින් ජනප්‍රියවාදීම තැන තමයි මම තෝරගත්තේ. පූර්ණ එකගතාවයකින් නෙමේ… ඒත් ඒ වෙලාව මට Set උන තැන. වෙනස්කම් එක්ක ගැටෙමින් මම ඒ අවුරුදු 15 ක් ඒ ආශ්වාදය වින්ද, වෙනස්කම් වැඩිවෙලා දුරස්කම් ඇති උන තත්වයකදී මම ඉවත්උනා. ටිකකාලයක් නිහඩව හිටිය, ඊටපස්සේ අලුත් දේශපාලනයක් පටන්ගත්ත.

 මේ සමග කියවා ගත යුත්තේ ලංකාවේ ධනේෂ්වර පක්ෂ වමට නැඹුරු වෙලාද නැත්නම් වමේ පක්ෂ දකුණට නැඹුරු වෙලාද ?

සාම්ප්‍රදායික වම සහ දකුණ දැන් නැහැ, වමේ තිබුනු පන්සිල්පද කැඩිල, සමහර වම්මු ජාතිවාදය වැලදගෙන, රැඩිකල් කම කියන්නෙ ගේම ඉල්ලන සද්දෙට නෙමෙයි. සමාජයට සාපේක්ෂව අපි ඉන්න තැනට. සමහර තැන්වලදි වමට වඩා දකුණ රැඩිකල්.

මේ පක්ෂ මාරු වීම හා සංවිධායක ධූරයට මුල් වන්නේ මුදල්ම පමණක්ද ?

මම ජවිපෙන් අයින්වෙලා වසරක් පමන නිහඩව හිටිය, UNP යට එක් වුනේ ඊට පස්සේ. ඒ වෙලාවෙ UNP විපක්ෂයේ අවුරුදු ගානක් ඉදල සිරිකොතේ ලයිට්බිල ගෙවාගන්න බැරි කාලයක්. ඒනිසා එතන මුදල් කතාවක් නැහැ. මගේ දේශපාලන පිපාසය තමයි මීට වසර අටකට පෙර UNP ය තෝරගන්න හේතුව.

ඔබ ජ.වි.පෙ ඛණ්ඩනයේදී ඒ සදහා මැදිහත් වූවෙක්.. ඒ ජවිපෙට වඩා වාමවාදී නැඹුරුවක් සහිතයැයි කියමි සමාජවාදී පෙරටුගාමී පක්ෂය නිර්මාණය කිරීමට, නමුත් එහිද කටයුතු කලේ ටික කාලයයි. මොකද්ද අවුල ?

ජවිපෙන් ඉවත්වෙන්න අපි හුග දෙනෙකුට හේතුවුන මතවාදී ප්‍රශ්නයට පෙසපෙ දීත් මූනදෙන්න උනා. දැන් අහන්න එපා UNP යෙන් ඒවාට උත්තර හම්බවුනාද කියල. වම නම් වම, දකුණ නම් දකුණ. වමේ ඉදන් දකුණ අතගානවට වඩා දකුණේ දේශපාලනය කරන එක මට ok.

හරි අපට නිවැරදිව කියන්න ලංකාවේ වමට කුමක් වීද ? එසේ නම් ඒ කැපකිරීම් කරන තරුණ ජීවිත නාස්ති වෙනවාද ?

දේශපාලනය කියන්නේ මගේ ගමනේදී මට, සොයා යෑමක්, බොහෝ දේශපාලන පක්ෂ, සංවිධාන හමුවෙලා තියෙනවා. මම ඔවුන්ට මා ලග තිබූ දේ උපරිමයෙන් දායක කළා. මගේ ජීවිතයේ ඔවුන්ගෙන් පෝෂණය වුනා. හෙට මගේ දුව ජවිපෙට ගියත් මම එපා කියන්නෙ නැහැ. ඒක එයාගෙ සොයා යාම. ඒක නාස්තියක් නෙමේ. මම අද මෙතන ඉන්නේ ඊයේ එතන හිටපු නිසා.

කැපකිරීම් අවුලක් නැත්නම් ඔබ කුමන පක්ෂයක් නියෝජනය කළත් විප්ලවීය තත්වයක් සමාජය තුළ පැන නැගුණොත් එහි නියමුවෙක් වෙනවාද ?

ඇ‍‍යි අපි නියමුවෝ වෙන්නේ. අපිම ක්‍රියාකාරිකයෝ වෙමු. කොරෝනාවලට කලින් දේශපාලනය නෙමේ කොරෝනා කාලෙ දේශපාලනය. කොරෝනා වලින් පස්සේ ඊටත් වෙනස්. ඊයෙ ඇමරිකාව නෙමේ අද. අරගලය යන්නේ ආදරය දිශාවට නම්, අරගලය යන්නේ අනාගතය දෙසට නම් මම එතන.

හරි ඉතිං කියන්න අලුත් සංවිධායක ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළාද ?

මේක වෙනම ආතල් එකක්. පුහුණු කරපු කාඩරයක් සමග වැඩකිරීම සහ බහු ජනතාව සමග වැඩකිරීම සම්පූර්ණයෙන්ම වෙනස්. මේ දවස්වල ඒ වෙනස විදිනව.

 එජාපයට ඔබ සම්බන්ධ වන්නේ එය දෙකඩ වීමෙන් පසුවයි, එහෙත් ජයග්‍රාහී කණ්ඩායම ඉන් ඉවත්ව ඇති තත්වයක් තුළ මෙය අවධානම් නේද ?

මම එජාපයට සන්බන්ධ වුනේ මෛත්‍රී ජධිපතිවරණයට වසරකට කලින්. මම පසුගිය වසර හත එජාපය තුල වැඩකලා. එනිසා එජාපය මට හොදට පුරුදුයි.

හරි වරුණ ඉතිං ගම්පහ එජාප සංවිධායක ලෙස හා අපේක්ෂකයෙකු ලෙස කුමක්ද එක්සත් ජාතික පක්ෂ සාමාජිකයාට ඔබ දෙන පණිවුඩය.

හරි තැන් හරියට හිට ගන්න ඔබ කෙතරම් අවංකව පක්ෂයට වැඩ කරනවද මම එතරම්ම ආදරයකින් ඔබ වෙනුවෙන් ඉන්නව.

 ඒ එක්කම ජ.වි.පෙ. සහ පෙරටුගාමී හිතවතුන්ටත් කියන්න දෙයක් ඇති..?

මම ඒ පනිවිඩය මීට වසර 8 කට පෙර ලිඛිතව ලබා දී තියෙනව. ඔබට වමේ දේශපාලනයට යමක් ගන්න අවශ්‍ය නම් මාගේ අතීතය සොයන්න. ඔබට දකුනේ දේශපාලනය කරන්න අවශ්‍ය නම් මගේ වර්තමානය සමඟ එක්වන්න. ඔබ කොතනක උනත් අනාගතයේදී හමුවේවි.

අවසන් වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට යද්දී පාක්ෂිකයන්ට දෙන පොරොන්දු මොනවාද ?

ඡන්දෙට හාල් බෙදන පොත් බෙදන අය අතරේ එහෙම නොකරන මම දැකල මගෙන් හිතවතෙක් ඇහැව්ව  ඔයා මොනවද දෙන්නෙ කියල මම කිව්වා ආදරේ කියල. මිනිහට හොදටම හිනා ගියා. ඒත් මම ආයෙත් ඒකම කියනව ආදරය කියන්නේ බැදීමක්. අද ප්‍රශ්නෙට හාල් දීල, හෙට බඩගින්න මඟ ඇරල යන්න බැරි, දාර්ශනික උත්තරේකින් ප්‍රශ්න අනන්තයට කල් දාන්නැති සීරියස් බැදීමක්

 

 

සාකච්ඡා කලේ  – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *