රක්තය – ශ්වේතයෙන් මිදීම – ( capture & chatter 01) – මනෝහරී වීරසිංහ

සුදු ධවල ශ්වේත මේ කුමන නමකින් හැඳින්වුවද මෙය ඕනෑම වර්ණයකින් වෙන් කර ගැනීමට අප කාටත් පුළුවන්.
ඉපදුනු දා සිට මරණය තෙක්ම අප, හැඩතල වර්ණ සමග කොතෙක් නම් ගනුදෙනු කරනවාද? ශ්වේතය හෙවත් සුදු මත ලෝකයක් දකින්නට, සුදු හැඳ චාම් බව පෙන්වන්නට, සුදු හැඳ ශෝකය පෙන්වන්නට, සුදු කොළයක් මත ලියන්නට, සුදු හැඳ පාසල් යන්නට …
සුදු .. සුදු .. සුදු ….

හැමතැනම සුදෙන් දකින්න කැමති හිතක් ඇති මට, ශ්වේතයෙන් මිදී රත් පැහැයට රක්ත වර්ණයට දෑස් හුරු කර ගැනීමට සිත් වූයේ කාච ද්වාරය මත රක්තය ප්‍රතිබිම්බ වීම වෙනමම රසයක් බව හැගුනු බැවිනි.

රත් පැහැයෙ ඇති දීප්තිමත් බව, උනුසුම් බව, පිබිදෙන බව, උදෑසන දකින අහස් තලයේ මොනවට සටහන් වේ. එය සිතුවමක් වැනිය. එතැන් සිට දවස පුරාම රක්ත වර්ණය මට කෙතරම් සමීපදැයි .. ශ්වේත වර්ණලෝලියෙක් වූ මමම පුදුම වෙමි.

මුලින්ම මට මහමගදි ඉවසීම, බලාසිටීම උගන්වන්නේ රත් පැහැයයි. මට යමක් අවධාරණය කරන්නේ අනතුරක් හඟවන්නේ රත් පැහැයයි. ඇවිද ගිය මාවත අසල ස්වභාවික මල් අලෙවි වන සාප්පුවකි. මම රතු රෝස මලක් සොයමි. සිත උනුසුම් වේ . සිත පිබිදේ .

මම මගේ කැමරා බෑගය රැගෙන වෙරළට ඇදෙමි. එහි සන්ධ්‍යාව මනරම්ය. දිවා කාලය ධවල සහ නීල වර්ණයට වෙලුනු සයුරු තෙර හිරු බැසයාම සනිටුහන් කිරීමට සැරසෙන්නේ ඇස උණුසුම් කරන රත් පැහැයෙනි. මම සීරුවෙන් කැමරාව එදෙසට මානමි. මගේ පියවි ඇසට වඩා කැමරා ඇස බොහෝ සංවේදීය. මා අත්විඳින දේ එලෙසම හෝ ඊටත් වඩා හොදින් හසු කර ගැනීමට කැමරා සමීකරණ සමග කතා කරමි. සමීප දර්ශනයක්ද පුළුල් දර්ශනයක්ද යන්න සිතමි. එයින් කැමරාවට නියෝග දෙමි. ඡායාව කෙසේ වීදැයි නොඉවසිල්ලෙන් විමසමි. නැවතත් වෙනත් කෝණයකට යමි.

මෙය ගිණි ගෙන දැවෙන පබළුවකි. එය කැමරාවක සටහන් කරගැනීමට කැමරා ශිල්පය දන්නාවූත් නොදන්නාවූත් ඕනෑම මානවකයෙකුට හැකියාවක් ඇත.

හැමදාම දකින බැස යන ඉර. හැමදාම අලුත් පෙනුමක් මවන්නේ ඇයි ? බැස යන ⁣රක්ත හිරුගේ කෙතරම් නම් ඡායාරූප ඇද්ද? එහෙත් එකකට එකක් වෙනස් ආකර්ශනයක් .  එකම ඉර මත රත් පැහැය පැතලි තලයකට මුසු වීමම මොන තරම් ආශ්චර්යයක්ද?

වෙරළින් මිදුණු කැමරාව අඩ අඳුරත් සහිතව මාර්ගය දෙසට ඇදෙයි . රථ වාහන පේලියක අවසානයේ හිස් වූ ත්‍රීරෝද රථයකට ගොඩවන කැමරාව. අඩු ආලෝක ධාරාවක් ගලා ඒමක අමුතු සිරියක් ගත්. රථ පේලියක පසුපස ආලෝකය එකම රත් පැහැයකි. එය අමුතුය. මෙතෙක් දුටු නැවතුම් මත ඇස් තිරිංග තද වේ. ආලෝක කදම්බ මත වන රක්ත වර්ණයන් රටා මාදිලිය කැමරා තිරය මත සිත්තමක් මවයි. වාහනය නතර වේ. විදුලි පුවරු සංඥා වෙත නෙත් හෙලන විට මට පෙනෙන්නේ ත්‍රීවීලර් රියදුරුගේ විඩාබර මුහුණයි. ඔහුගෙ හිසෙන් දහදිය බිඳක් ⁣කම්මුලක රූටන ක්ෂණයෙන් විදුලි සංඥා පුවරුව නාභිගත කරමි. ” විඩාව ” යැයි එම පිංතූරයට නමක් දෙමි. එය අමුතුය. විකාශනය අමුතුය. විඩාබර බව දෙතැනකය. පිංතූරයේ එක තැනක මිනිසකුගේ මහන්සියකි. තවත් තැනක රක්ත වර්ණ බල්බයකි. දවස පුරාම නිවි නිවි දැල්වී රතු එළියටත් වෙහෙසකි.

කාච සටහන් සමග නිවසට පැමිණෙන මට, කැමරාව සඟවාගෙන ඇති ප්‍රාණ බර රක්ත වර්ණ සහිත ඡායාවන් කෙසේ සටහන් කරගෙන ඇත්දැයි බලන තෙක් ඉවසුමක් නැත.

ගෙවා දැමූ දිනය ආවර්ජනය කිරීමට මීට වඩා හොඳ ක්‍රමයක් තව වේදැයි සිතමි.

 

ඉතින් නැවත දවසක අලුත් පාටක් සමග හමුවෙමු.

මම – මනෝහරී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *