අපගේ අනාගතය මානුෂික මුහුණුවරක් සහිත ම්ලේච්ජත්වයද ? -වසන්ගතය ! කොවිඩ් 19 ලොව සසල කරයි – ( 10 වන කොටස )

හැඳින්වීම

විය නොහැකි නැතහොත් කළ නොහැකි යැයි පෙනෙන දේ අපට සැබෑව තුළ මුණ ගැසෙන නිමේෂයන් පවතී. අපට යමක් විය නොහැකි යැයි පෙනෙනුයේ පවත්නා යථාර්ථයේ ඛණ්ඩාංක තුළය. නමුත්, මෙතෙක් කලක් යථාර්ථය තුළ විය නොහැකි යැයි පෙනුණු ඇතැම් දේ සැබවින්ම සිදු වනු අප දැක තිබෙනවා නොවේද? කළ නොහැකි යැයි පෙනුණු දේ කරන්නට මිනිසුන් සමත් වී නොමැතිද? එවන් නිමේෂයන් යනු පවත්නා යථාර්ථයේ ඛණ්ඩාංක පරිවර්තනයට ලක් වන නිමේෂයන්ය. වෙනත් ලෙසකට කිවහොත්, එතෙක් පැවති යථාර්ථයේ සීමාවන් මුණ ගැසෙන, එම යථාර්ථය පරිවර්තනයට ලක් වන නිමේෂයන්ය. මේ ශිෂෙක් ඔහුගේ කෘතීන් ගණනාවක් තුළම නැවත නැවතත් තේරුම් කොට තිබෙන න්‍යායික අදහසකි.

මේ සඳහා ඔහු නිතර ගෙන හැර පාන නිදසුනක් නම් 1917 අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා රුසියානු දේශපාලනය තුළ වී.අයි. ලෙනින්ගේ ක්‍රියාකාරීත්වයයි. ස්විට්සර්ලන්තයේ සිට රුසියාව වෙතට සීල් කළ දුම්රියක නැගී පැමිණෙන අතර ලෙනින් ඉතිහාසය වෙනස් කරන ආකාරයේ ක්‍රියාවක නිරත වෙමින් සිටියේය. ඒ “අප්‍රේල් තිසීස” නමැති ලියැවිල්ල රචනා කිරීමයි. රුසියාව වෙත පැමිණි බෝල්ෂෙවික් නායකයා ඉදිරිපත් කළ යෝජනාව ඔහුගේම පක්ෂයේ බහුතරයක් නායකයින් පවා දුටුවේ අතාර්කික උමතු අදහසක් ලෙසයි. ඔහු සරලව පැවසුවේ බෝල්ෂෙවික්වාදීන් රාජ්‍ය බලය අත්පත් කර ගත යුතු බවයි. එය ගතානුගතික මාක්ස්වාදී න්‍යාය අනුවද, රුසියානු යථාර්ථය පිළිබඳ මධ්‍යස්ථ ගණනය කිරීම් අනුවද කළ නොහැක්කක් විය. රුසියානු ඔක්තෝබර් විප්ලවය යනු එම පැවති යථාර්ථය තුළ කළ නොහැකි යැයි පෙනුණු දේ කිරීමේ ක්‍රියාවයි. එම ක්‍රියාවෙන් පසුව රුසියාවත් ලෝකයත් ප්‍රවේශ වන්නේ නව දේශපාලන යථාර්ථයක් තුළටය.

ශිෂෙක්ට අනුව “ක්‍රියාව” යන්නෙහි (සහ අර්නෙස්ටෝ ලැක්ලාවූට අනුව “තීරණය” යන්නෙහි) විප්ලවීය මානය වන්නේ මෙයයි. එම දෙදෙනාම “දේශපාලනය යනු වියහැකියාවේ කලාව වේ”ය යන ලිබරල්වාදී අදහසට ප්‍රතිපාක්ෂිකව “දේශපාලනය යනු වියනොහැකියාවේ කලාව” ලෙස නැවත අර්ථ කථනය කරන්නේ මේ අරුතිනි. ඒ අනුව, දේශපාලනය තුළ විමසිය යුතු සැබෑ දේශපාලනික ප්‍රශ්නය වනුයේ “කළ හැක්කේ කුමක්ද?” යන්න නොව “කළ යුත්තේ කුමක්ද?” යන්නයි.Coronavirus vaccines: What we know about testing and availability ...

ශිෂෙක් මෙම පරිච්ජේදයේදී පළමුව පෙන්වා දෙන්නේ වත්මන් ගෝලීය වසංගතය හමුවේ මෙතෙක් විය නොහැකියාවන් ලෙස පෙනී සිටි දේවල් විය හැකියාවන් බවට පරිවර්තනය වී ඇත්තේ කෙසේද යන්නයි. දෙවනුව, සමකාලීන අර්බුදයට පිළියම් සෙවිය යුත්තේද විය නොහැකි/කළ නොහැකි දේ අත්පත් කර ගැනීමේ ප්‍රවේශයකින් බව ඔහු පෙන්වා දේ. නමුත්, මෙම අර්බුදයේ නිමේෂය තුළ අපගේ සමාජයන් අතිශය ප්‍රතිගාමී දිශානතියකට හැරීමේ අනතුරක්ද පවතී. මන්ද යත්, ශිෂෙක් කලක පටන්ම පෙන්වා දී ඇති පරිදි පවත්නා යථාර්ථයෙන් ඔබ්බෙහි වූ යමක් නැතහොත් යථාර්ථයට වඩා දෙයක් වෙනුවෙන් පෙනී සිටීමට පසුගිය දශක කිහිපය තුළදී වැඩි උත්සුකභාවයක් දක්වා ඇත්තේ අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදී ව්‍යාපාරයන්ය (“ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ටත්වයට පත් කිරීම”, “චීන සිහිනය”, “හින්දු රාෂ්ට්‍ර”, “ආසියාවේ ආශ්චර්යය” යනාදී ලෙස). ඒ වෙනුවට “වඩා දෙය” නියෝජනය කිරීමට වාමාංශයද සමත් විය යුතුය යන්න ඔහුගේ ප්‍රධාන අවධාරණයකි.

ඔහු දැන් කොමියුනිස්ට්වාදය පිළිබඳව ඉදිරිපත් කරන සීමිත වුවත් වඩා ප්‍රායෝගික අදහස වටහාගත යුත්තේ ඔහුම කලක පටන් ගොඩ නගමින් සිටි ඉහත කී න්‍යායික අදහස් පසුබිම් කොට ගනිමිනි. ඇතැම්විට, ශිෂෙක්ගේ”Pandemic !” කෘතියේ  න්‍යායික වැදගත්කම වටහා ගන්නට කෙනෙකු අසමත් විය හැක්කේ ඔහුගේ විප්ලවීය චින්තනයේ විකාශනය තුළ ස්ථානගත කොට මෙම කෘතිය කියවීමට අසමත් වීම නිසා විය හැකිය.

කෙසේ වුවද, වත්මන් අර්බුදයේ නිමේෂය තුළ ශිෂෙක් දකින පර්යාලෝකය ජියෝජි අගම්බෙන්ගේ පර්යාලෝකය තරම් සර්ව-අසුබවාදී වූවක් නොවන බව පැහැදිලිය. අසුබවාදී විය හැකියාවන් ගැන සාධාරණ තක්සේරුවක් ශිෂෙක්ට තිබුණද ඔහු ලෝකය වඩා යහපත් අතට හැරවීමේ දේශපාලනයක් සඳහා විවර වී ඇති අවස්ථාවන්ද හඳුනා ගනී; එම අවස්ථාවන් ග්‍රහණය කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි; ඒ සඳහා උපාය උපක්‍රම සම්පාදනය කරයි. මේ අරුතින් කොරෝනා වෛරසයේ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් සිටින සෙසු බොහෝ වාමාංශික බුද්ධිමතුන්ට වඩා ඔහුගේ ප්‍රතිචාරය දේශපාලනික යැයි කීම සාධාරණය. ඒ කොතෙක්ද යත්, ශිෂෙක්ගේ “Pandemic!” කෘතිය ශන්තාල් මූෆ්ගේ “For a Left Populism” (2018) කෘතිය සමග සංසන්දනාත්මකව කියවීමට පවා හැකි බව මගේ අදහසයි. (ඔවුනගේ ඇතැම් න්‍යායික සහ දේශපාලනික නොකඟතා පැවතියදීම). මෙම පරිවර්තන කාර්යය අවසන් වූ වහාම ලැක්ලාවූ, මූෆ්, අගම්බෙන් සහ ශිෂෙක් අතර එවන් සංසන්දනාත්මක කියැවීමක් ලියා පළ කරන්නට මම බලාපොරොත්තු වෙමි.

මේ දිනවල ඇතැම්විට මට වෛරසය බෝ වූවා නම් කියා සිතෙයි. අඩු තරමින් එමගින් මේ බෙලහීන අවිනිශ්චිතතාව අවසන්ව යනු ඇත. මා තුළ වැඩෙන කාංසාව පිළිබඳ පැහැදිලි සංඥාවක් නම් මා නින්ද සමග සම්බන්ධ වන්නේ කෙසේදැයි යන්නය. දැනට සතියක් පමණ වන තුරු මම සන්ධ්‍යාව නිමා වන තුරු ආශාවෙන් බලා සිටියෙමි; ඒ මට නින්ද වෙත පළා ගොස් දෛනික ජීවිතයේ බිය අමතක කර දමන මොහොත එන තෙක්ය. නමුත්, දැන් එය මුළුමනින්ම අනෙක් අතට හැරී ඇත. මම දැන් නින්දට වැටෙන්නට බිය වෙමි; මන්ද යත්, බිහිසුණු සිහින මා තුළ හොල්මන් කරයි; මා බියපත්ව අවදි වේ. ඒ බිහිසුණු සිහින වනාහී මා එනතුරු මග බලා සිටින යථාර්ථය ගැන වූ ඒවාය.

කුමන යථාර්ථයද? (මම මේ චින්තන ධාරාව වෙනුවෙන් අලෙන්ක සුපන්ජිච් හට ණයගැතිය). අපට මේ දිනවල නිතරම පාහේ අසන්නට ලැබෙන්නක් නම් අපට වත්මන් වසංගතයේ ප්‍රතිවිපාකවලට මුහුණ දීම සඳහා රැඩිකල් සමාජ වෙනස්කම් අවශ්‍ය බවයි. මේ කුඩා පොත සාක්ෂි දරන පරිදි මමද මේ මන්ත්‍රය පතුරුවා හරින්නන් අතුරින් කෙනෙකි. නමුත්, රැඩිකල් වෙනස්කම් දැනටමත් සිදු වෙමින් පවතී. කොරෝනා වසංගතය අපට මින් පෙර විය නොහැකි යැයි සිතූ දේ මුණගස්වා ඇත. අප මෙතෙක් දැන සිටි ලෝකය වැඩ කිරීම නතර වී තිබේ. රටවල් පිටින් අගුළු දමා ඇත. අප බොහෝ දෙනෙකු අපගේ නිවෙස්වලට කොටු වී සිටින්නේ අප වැඩි දෙනෙකුගේ ජීවිත රැකුණා වුවද මහා ආර්ථික අර්බුදයක් ඇති විය හැකි අවිනිශ්චිත අනාගතයක් දෙසට හිස හරවාගෙනය. මේ සියල්ලටම අපගේ ප්‍රතිචාරයද, එනම් අප කළ යුත්තේ කුමක්ද යන්නද විය නොහැක්කක් විය යුතුය. එනම්, පවත්නා ලෝක පර්යායේ ඛණ්ඩාංක තුළ විය නොහැක්කක් යැයි පෙනෙන දෙයක් විය යුතුය. විය නොහැකි දේ සිදු විය. අපගේ ලෝකය නතර විය. ඉදින්, වඩාත්ම නරක දෙය වළක්වා ගැනීම සඳහා අප කළ යුතු දේද විය නොහැකියාවකි. ඒ කුමක්ද?

විශාලතම අනතුර වන්නේ විවෘත ම්ලේච්ජත්වයක් කරා, එනම් මහජන වියවුල සහ භීතියෙන් මෙහෙයවෙන එල්ලා මැරීම් යනාදිය සහිත පැවැත්ම වෙනුවෙන් මුදා හැරෙන මෘග ප්‍රචණ්ඩත්වයක් කරා කඩා වැටීම යැයි මම නොසිතමි (සෞඛ්‍ය ඇතුළු සමහර මහජන සේවාවන් බිඳ වැටීම තුළ මෙය පවා සිදුවිය හැකි වුවද). මම බිය වන්නේ විවෘත ම්ලේච්ජත්වයකට වඩා මානුෂික මුහුණක් සහිත ම්ලේච්ජත්වයකටය – පසුතැවීමක් සහ අනුකම්පාවක් පවා සහිතව ක්‍රියාවට නගනු ලබන නමුත් විශේෂඥ මත මගින් සුජාතකරණය කරනු ලබන්නා වූ පැවැත්ම වෙනුවෙන් ගන්නා ක්‍රෑර ක්‍රියා මාර්ගවලටය.Slavoj Zizek

බලයේ සිටින්නන් අපව ආමන්ත්‍රණය කරන ස්වරය වෙනස්ව ඇත්තේ කෙසේදැයි සමීපව නිරීක්ෂණය කරන්නෙකුට පැහැදිලිව හඳුනාගත හැකිය. ඔවුන් හුදෙක් සංයමය සහ ආත්ම විශ්වාසය ප්‍රක්ෂේපනය කරන්නට උත්සාහ කරනවා නොවේ; ඔවුන් නිරන්තරයෙන්ම දරුණු අනාවැකි කීමෙහිද නිරත වේ. ඒ අනුව, වසංගතය වසර දෙකක් පමණ කාලයක් පුරා විහිඳ යන බවක් පෙනේ; වෛරසය ගෝලීය ජනගහණයෙන් සියයට 60 කට 70 කට පමණ ආසාදනය වී මිලියන ගණනක් එයින් මරණයට පත් වනු ඇත. කෙටියෙන් කිව හොත්, ඔවුනගේ සැබෑ පණිවිඩය වන්නේ අපට අපගේ සමාජ ආචාර ධර්මවල ප්‍රතිෂ්ඨාවන් මොට කරගන්නට සිදු වනු ඇති බවයි. මහල්ලන්ව සහ රෝගාතුර වූවන් රැක බලා ගැනීමද එයට අයත්ය. තත්ත්වය නරකම අතට හැරුණහොත් වයස 80 වඩා වැඩි පුද්ගලයන් සහ බරපතල සෞඛ්‍ය ගැටළු ඇති පුද්ගලයන් මියෙන්නට හරිනු ඇති බව ඉතාලිය දැනටමත් නිවේදනය කොට තිබේ.

Giorgio Agamben (Author of Homo Sacer)
ජියෝජි අගම්බෙන්

මෙහිදී යමෙකු සටහන් කරගත යුතු කරුණක් නම් “ශක්තිවන්තයා පවතිනු ඇත” යන තර්කනය පිළිගැනීම වනාහී මිලිටරි ආචාර ධර්මවල මූලධර්ම පවා උල්ලංඝණය කිරීමක් බවය. මිලිටරි ආචාර ධර්ම අපට පවසන්නේ සංග්‍රාමයකින් පසුව යමෙකු පළමුව කළ යුත්තේ බරපතල ලෙස තුවාල ලැබූවන් රැක බලා ගැනීම බවය; ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා වීම අවම මට්ටමක තිබුණද එසේ කළ යුතුය. මාව වැරදි ලෙස වටහා ගැනීම වැලැක්වීම සඳහා මෙහිදී මට සහතික කරන්නට අවශ්‍ය කාරණයක් නම් මා අත්‍යන්ත යථාර්ථවාදියෙකු බවය. මාරාන්තිකව රෝගී වූ තැනැත්තෙකු අනවශ්‍ය ලෙස වද විඳීම වැලැක්වීම සඳහා ඔවුනට වේදනා විරහිතව මිය යාමට අවශ්‍ය වන ඖෂධ සූදානම් කර තැබිය යුතුය. නමුත් අපගේ ප්‍රථම මූලධර්මය විය යුත්තේ උපකාර වුවමනා අයවලුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා කොතරම් වියදමක් කරන්නට සිදු වුවද, ඒ ගැන සකසුරුවම් නොබලා කොන්දේසි විරහිතව ඔවුනට සහාය වීමය.

ඉදින්, මම ජියෝජි අගම්බෙන් පවසන දේට ගෞරවාන්විතව විරුද්ධ වෙමි. ඔහු වත්මන් අර්බුදය දකින්නේ පහත දැක්වෙන තත්ත්වයේ සංඥාවක් ලෙසය,

“…අපගේ සමාජය තවදුරටත් නිරුවත් ජීවිතය මිස අන් කිසිවක් විශ්වාස නොකරයි. ඉතාලියානුවන් ප්‍රායෝගිකව සෑම දෙයක්ම, එනම් ජීවිතයේ සාමාන්‍ය කොන්දේසි, සමාජ සබඳතා, රැකියාවන්, මිත්‍රත්වයන්, ආදරයන් සහ ආගමික සහ දේශපාලන විශ්වාසයන් යනාදී සියල්ලම කැප කරන තැනකට හෙළා ඇති බව පැහැදිලිය; ඒ රෝගී වීමේ අනතුරෙන් ගැලවීම පිණිසය. නිරුවත් ජීවිතය – සහ එය අහිමි වීමේ අනතුර – යනු මිනිසුන්ව එක්සත් කරන යමක් නොවේ; ඔවුන්ව අන්ධ කරවන සහ වෙන් කරවන යමකි.”

නමුත්, දේවල් මීට වඩා බෙහෙවින්ම බහුරුත් සහිතය: මරණය පිළිබඳ තර්ජනය මිනිසුන්ව එක්සත් කිරීමද සිදු කරයි – ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම අනෙකාට ගෞරවය දැක්වීමක්ද වේ; මන්ද යත්, මාද වෛරසය රැගෙන යන්නෙකු විය හැකි බැවිනි. මේ දිනවල මගේ පුතුන් මාව මුණ ගැසීම මග හරියි; ඒ ඔවුන් මගින් මට රෝගය බෝ වේ යැයි ඔවුන් බියව සිටින නිසාය. ඔවුනට තවත් එක් අසනීපයක් වන දෙය මට මාරාන්තික වූවක් විය හැකිය. ශීත යුද්ධය පැවති සමයේ පැවැත්මේ රීතිය වූයේ MAD ය (එනම් අන්‍යොන්‍යව සහතික කළ විනාශය – Mutually Assured Destruction); දැන් එය වෙනත් MAD එකකි. එනම්, අන්‍යොන්‍යව සහතික කළ දුරස්ථභාවයයි (Mutually Assured Distance)Leadership in the time of Corona | ORF

පසුගිය දිනවලදී අපට දිගින් දිගටම අසන්නට ලැබුණේ අප සැවොම පුද්ගලිකව වගකීම් සහගත විය යුතු බවත් නව රීතින් අනුගමනය කළ යුතු බවත්ය. මාධ්‍ය අවකාශය පිරී තිබුණේ නොමනා ලෙස හැසිරී තමන්වත් අන් අයවත් අනතුරේ හෙලූ පුද්ගලයන් ගැන කතන්දරවලිනි; ආසාදිත මිනිසෙකු වෙළඳසැලකට ඇතුළු වී අන් සියල්ලන් ඉදිරියේ කසින අයුරු පෙන්වන ආකාරයේ පුවත්වලිනි. මෙහි ඇති ගැටළුව, පරිසර අර්බුදය සම්බන්ධයෙන් ජනමාධ්‍ය වැඩ කරන ආකාරය වැනිම එකකි. ගැටළුව සම්බන්ධයෙන් ඇති අපගේ පුද්ගලික වගකීම මාධ්‍ය අධි-අවධාරණයකට ලක් කරයි. ඒ ප්‍රතිචක්‍රීයකරණය සහ සෙසු චර්යාත්මක ගැටළු ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස අපෙන් ඉල්ලා සිටිමිනි. පුද්ගලික වගකීම කෙරෙහි වන එම එල්ලය (එක්තරා දුරකට එය අවශ්‍ය වේ) අපගේ මුලු මහත් ආර්ථික සහ සමාජ ක්‍රමයම වෙනස් කරන්නේ කෙසේද යන කාරණයට අදාළ පුළුල් ප්‍රශ්න සඟවාලීමට සේවය කරන විට එය දෘෂ්ටිවාදයක් ලෙස ක්‍රියා කරයි.

කොරෝනා වෛරසයට එරෙහි අරගලය සිදු කළ හැක්කේ දෘෂ්ටිවාදී මායාකරණයට එරෙහි අරගලය සමගමය. එසේම, පොදු පරිසරවාදී අරගලයේ කොටසක් ලෙසටය. කේට් ජෝන්ස් පවසන පරිදි, වන ජීවින්ගෙන් මානවයන්ට රෝග බෝවීම වනාහී,

” …මානවීය ආර්ථික සංවර්ධනය සඳහා ගෙවනු ලබන සැඟවුණු මිළකි. සෑම පරිසරයක් තුළම අප බොහෝ දෙනෙකු සිටින්නෙමු. අප විශාල වශයෙන් බාධාවට ලක් නොවූ ස්ථානවලට ගොස් වඩ වඩාත් අපව හෙළිදරව් කර ගන්නෙමු. අප වෛරසවලට ඉතාම පහසුවෙන් සැරිසැරිය හැකි වාසස්ථාන නිර්මාණය කරන්නෙමු. ඉන්පසුව අප නව වෛරස පැවතීම ගැන විමතියට පත් වන්නෙමු.”

ඉදින්, මානවයන් සඳහා කිසියම් ආකාරයක ගෝලීය සෞඛ්‍ය සේවයක් ගොඩ නැගීම පමණක් ප්‍රමාණවත් නොවේ; සමස්තයක් ලෙස සොබා දහමද එයට ඇතුලත් කළ යුතුය. වෛරසයන් අපගේ ප්‍රධාන ආහාර මූලාශ්‍රය වන ගස් වැල්වලටද පහර දෙයි. අප මෙයින් හැඟවෙන සියලුම පරස්පරතාද සහිතව අප ජීවත් වන ලෝකය පිළිබඳ ගෝලීය චිත්‍රය නිරන්තරයෙන්ම සිහි තබා ගත යුතුය. නිදසුනක් ලෙස, කොරෝනා වසංගතය නිසා චීනය අගුළු දැමීමෙන් එම වෛරසයෙන් මිය ගිය ප්‍රමාණයට වඩා වැඩි ජීවිත ප්‍රමාණයක් රැකුණු බව දැන ගැනීමට ලැබීම සතුටකි (යමෙකු නිල සංඛ්‍යා ලේඛණ විශ්වාස කරන්නේ නම්). පාරිසරික සම්පත් පිළිබඳ ආර්ථික විද්‍යාඥයෙකු වන මාෂල් බර්ක් පවසන පරිදි අයහපත් වායු ගෝලීය තත්ත්වයත් එම වායු ආශ්වාස කිරීමෙන් සිදු වන අඩු වයසේ මරණත් අතර සනාථ වූ සබඳතාවක් ඇත. ඔහු මෙලෙස පැවසීය:

“මේ කාරණය සිත් තබාගෙන ඇසිය හැකි ස්වභාවික නමුත් අමුතු යැයි පිළිගත හැකි ප්‍රශ්නය වන්නේ කොවිඩ් – 19 මගින් සිදු වූ ආර්ථික කඩා වැටීම හමුවේ පහත වැටුණු වායු දූෂණය හේතු කොටගෙන රැකුණු ජීවිත ගණන වෛරසයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ඉක්මවා යන්නේද යන්නයි. ඉතාම සාම්ප්‍රදායික සිතා ගැනීමක් අනුව බැලුවද මෙයට පිළිතුර වන්නේ පැහැදිලිවම ‘ඔව්’ යැයි මම සිතමි.”

මාස දෙකක් තුළ වායු දූෂණය පහත වැටීමෙන් චීනය තුළ පමණක් වයස පහට අඩු දරුවන් 4000 කගේ සහ වයස 70ට වැඩි මහල්ලන් 73,000 කගේ ජීවිත රැකුණු බව ඔහු පවසයි.Coron Stock Videos & Royalty-free Footage - Getty Images

අප ත්‍රිවිධ අර්බුදයකට හසු වී ඇත. එනම්, වෛද්‍ය අර්බුදය (වසංගතයද ඇතුළුව), ආර්ථික අර්බුදය (වසංගතයේ ප්‍රතිපලය කුමක් වුවද ආර්ථිකයට තදින් පහර වදිනු ඇත) සහ මානසික අර්බුදයයි. මිලියන් ගණනක ජනයාගේ දෛනික ජීවිතයේ මූලික ඛණ්ඩාංක කැඩී බිඳී යමින් පවතී. එසේම මෙම වෙනස නිවාඩු දිනවල කරන ගුවන් සංචාරවල සිට සරල ශාරීරික ස්පර්ෂයන් දක්වා වූ සියල්ලම කෙරෙහි බලපානු ඇත. අප කොටස් වෙළඳපළේ සහ ලාභයේ ඛණ්ඩාංකවලට පිටතින් සිතන්නට උගත යුතුය; අත්‍යවශ්‍ය සම්පත් නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම සඳහා වෙනත් මාර්ගයක් සොයා ගත යුතුය. කිසියම් සමාගමක් මුහුණු ආවරණ මිලියන ගණනක් ගොඩ ගසාගෙන ඒවා අළෙවි කිරීමට නිසි මොහොත එන තෙක් බලා සිටී යැයි බලධාරීන් දැන ගත් විට එම සමාගම සමග කිසිදු ගිවිස ගැනීමක් වුවමනා නැත; එම මුහුණු ආවරණ වහාම පවරා ගත යුතුය.German vaccine makers urge regulators to ease rules for virus ...

ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසය සඳහා වූ එන්නතක් “එක්සත් ජනපදයට පමණක්” හිමි කර ගැනීම සඳහා ජර්මනියේ ටූබින්ගන්හි පිහිටි ජීව ඖෂධ සමාගමක් වන CureVac වෙත ඩොලර් බිලියන එකක් ප්‍රදානය කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ. ජර්මානු සෞඛ්‍ය ඇමති ජෙන්ස් ස්පාන් පවසා සිටියේ CureVac සමාගම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්පත් කර ගැනීම “අත යට ගණුදෙණුවක්” කියාය. “CureVac ආයතනය එන්නතක් නිපදවනු ඇත්තේ සමස්ත ලෝකයම වෙනුවෙනි; කිසිදු තනි රටක් වෙනුවෙන් නොවේ.” පුද්ගලීකරණය/ම්ලේච්ජත්වය සහ සාමූහිකකරණය/ශිෂ්ටත්වය අතර පවත්නා අරගලය ගැන නිදර්ශනාත්මක සිදුවීමක් මෙතැනදී අපට මුණ ගැසේ.US, Germany battle for virus vaccine surpremacy

නමුත්, ඒ අතරම, ආණ්ඩුවට හදිසි වෛද්‍ය සැපයුම් නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා පුද්ගලික අංශයට උපදෙස් දීමට හැකියාව ලැබෙන පරිදි ආරක්ෂක නිපැයුම් පණත බල ගැන්වීමටද ට්‍රම්ප්ට බල කෙරිණ. ට්‍රම්ප් පුද්ගලික අංශය අත්පත් කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කරයි.

“තමන් වසංගතයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ආණ්ඩුවට පුද්ගලික අංශය පෙළ ගැස්වීමට ඉඩ ලැබෙන පරිදි ෆෙඩරල් විධි විධානයක් බල ගන්වන්නේ යැයි එක්සත් ජනපද ජනපද ජනාධිපතිවරයා පැවසීය”: ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය මෙසේ වාර්තා කරයි. “අවශ්‍ය වූ මොහොතක දේශීය කාර්මික නිෂ්පාදනය මෙහෙයවීමේ බලය තමන් අතට පැවරෙන පණතකට තමන් අත්සන් කරනු ඇතැයි ට්‍රම්ප් පැවසීය.”

මේ අර්බුදයෙන් එළියට එන මාර්ගය වන්නේ කිසියම් “කොමියුනිස්ට්වාදී” ආකෘතියක් යැයි මා මෑතකදී යෝජනා කළ විට මට විශාල වශයෙන් සරදම් කරනු ලැබිණ. නමුත්, දැන් අපට මෙසේ කියවන්නට ලැබෙයි: “ට්‍රම්ප් පුද්ගලික අංශය අත්පත් කරගැනීමේ යෝජනාවක් නිවේදනය කරයි” මේ වසංගතයට පෙර එවන් සිරස්තලයක් ගැන යමෙකුට සිතන්නට පවා හැකි වීද? තවද, මේ ආරම්භය පමණි. තවත් බොහෝ මෙවන් විධි විධාන වුවමනා වනු ඇත. රාජ්‍ය විසින් පවත්වාගෙන යන සෞඛ්‍ය පද්ධතිය විශාල පීඩනයකට ලක්ව බිඳ වැටුණ හොත් ප්‍රාදේශික ප්‍රජාවන්ගේ ස්වයං-සංවිධානද වුවමනා වනු ඇත. නිකම්ම හුදෙකලා වී ජීවිතය රැක ගැනීම ප්‍රමාණවත් වන්නේ නැත – මන්ද යත්, එය පවා වියහැක්කක් වනුයේ මූලික මහජන සේවාවන් දිගටම ක්‍රියාත්මක වන්නේ නම්ය. විදුලිය, ජලය, ආහාර සහ බෙහෙත් දිගටම ලබා ගත හැකි විය යුතුය. අපට ඉක්මනින්ම සුව වූ සහ අඩු තරමින් යම් කලකට ප්‍රතිශක්තිය සහිත පුද්ගලයන්ගේ ලැයිස්තුවක් වුවමනා වනු ඇත; ඒ ඔවුන් හදිසි මහජන කටයුතු සඳහා කැඳවීමට හැකි වනු පිණිසය.

මේ යුතෝපියානු කොමියුනිස්ට් දැක්මක් නොවේ. නිරුවත් පැවැත්මෙහි අවශ්‍යතා විසින් බල කෙරුණු කොමියුනිස්ට්වාදයකි. එය අවාසනාවන්ත ලෙස 1918 සෝවියට් දේශය තුළදී “යුද කොමියුනිස්ට්වාදය” ලෙසින් නම් කෙරුණු දෙයෙහි අනුවාදයකි.

දැඩි මතධාරී දේශප්‍රේමී පිළිගැනීමක් ඇති ගතානුගතිකවාදීන්ට පමණක් සිදු කළ හැකි ඇතැම් ප්‍රගතිශීලී දේ තිබේ. ඇල්ජීරියාවට නිදහස ලබා දිය හැකි වූයේ ඩිගෝල්ට පමණි. චීනය සමග සබඳතා ගොඩ නගා ගත හැකි වූයේ නික්සන්ට පමණි. මේ සිද්ධීන් දෙකේදීම ප්‍රගතිශීලී ජනාධිපතිවරයෙකු මේ දේවල් කරන්නට තැත් කළේ නම් ඔහු ජාතික අභිලාෂයන් පාවා දුන්නේය යන චෝදනාව ඉක්මනින්ම නැගෙන්නට ඉඩ තිබිණ. දැන් ට්‍රම්ප් පුද්ගලික ව්‍යවසායන්ගේ නිදහස සීමා කරමින් කොරෝනා වෛරසයට එරෙහි සටනට අවශ්‍ය දේ නිපදවන්නැයි ඔවුනට බල කරන විට ඉහත කාරණය ඔහුටද අදාළ වේ. ඔබාමා මෙය කළේ නම් දක්ෂිණාංශික ජනතාවාදීන් නිසැකවම කෝපයෙන් පිපිරෙමින් විත් පවසනු ඇත්තේ ඔහු එක්සත් ජනපදයට කොමියුනිස්ට්වාදය හඳුන්වා දීම සඳහා සමාවට කරුණක් ලෙස සෞඛ්‍ය අර්බුදය භාවිතා කරන බවය. “අර්බුදයක් තුළදී අප සියල්ලන්ම සමාජවාදීන් වේ” යැයි කියමනක් තිබේ.

දැන් ට්‍රම්ප් පවා කිසියම් ආකාරයක විශ්වීය අවම ආදායමක් ගැන සලකා බලමින් සිටී – එනම්, සෑම වැඩිහිටි පුරවැසියෙකුටම ඩොලර් 1000 ක චෙක් පතක් ලබා දීම. සියලුම ගතානුගතික වෙළඳපල රීතින් උල්ලංඝනය කරමින් ට්‍රිලියන් ගණනක මුදලක් වියදම් කෙරෙණු ඇත. නමුත්, මෙය කෙලෙසක සහ කොතැනක සිදු වේද යන්නත් කව්රුන් වෙනුවෙන් සිදු වේද යන්නත් අපැහැදිලිය. මේ බල කෙරුණු සමාජවාදය ධනවතුන් සඳහා වන සමාජවාදයක් වනු ඇත්ද? එය 2008 දී මිලියන් ගණනක සාමාන්‍ය ජනතාවට ඔවුනගේ කුඩා ඉතුරුම් මුදල් අහිමිව යන විට බැංකු පමණක් ගලවා ගනු ලැබුවාක් වැනි දෙයක් වනු ඇත්ද? මේ වසංගතය නයෝමි ක්ලේන් “ආපදා ධනවාදය” යනුවෙන් හඳුන්වන දෙයෙහි දිගු දුක්බර කතාවෙහි තවත් එක් පරිච්ජේදයක් බවට ඌණනය වේවිද? නොඑසේනම්, වඩාත් හොඳ තුලනයක් සහිත, ඇතැම්විට වඩාත් මධ්‍යස්ථ නව ලෝක පර්යායක් මේ තුළින් පැන නගීවිද? අද දවසේ සෑම අයෙකුම පවසන්නේ අපට අපගේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කර ගන්නට සිදු වනු ඇති බවය.

නමුත්, මෑතකදී Nouvel Observateur හි පළ වූ ප්‍රතිචාරයක් තුළ තෝමස් පිකටි සඳහන් කළ පරිදි සැබවින්ම අදාළ කාරණය වන්නේ අප එය කෙලෙසක වෙනස් කර ගන්නේද යන්නයි; ඒ කුමන දිශානතියකටද? ඒ සඳහා කුමන ක්‍රියා මාර්ග අවශ්‍ය වනු ඇත්ද?

දැන් පැතිරෙමින් යන එක්තරා පොදු සැනසිලි වදනක් වන්නේ අප සියලුම දෙනා එකට මේ අර්බුදයට මැදි වී සිටින බැවින් අප දේශපාලනය අමතක කර දමා අපවම බේරා ගැනීමට එක්සත්ව වැඩ කළ යුතුය යන්නයි. මේ මතය වැරදිය. දැන් අවශ්‍යව ඇත්තේ සත්‍ය දේශපාලනයකි – සහයෝගීතාව පිළිබඳව ගන්නා තීන්දු තීරණ විශිෂ්ට ලෙසම දේශපාලනිකය.

පරිවර්තනය: සුමිත් චාමින්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *