මිය ගිය තොණ්ඩමන් කවුද ? – සිසිර යාපා

මියගිය සෞම්‍යමුර්ති ආරුමුගම් රාමනාතන් තොන්ඩමන් මියයාමත් සමඟ ඔහු ගැන විවිධ දේ ලියවෙනවා. සිංහලෙන් ලියන දකුණේ බොහෝ දෙනෙක් ඔහුව හඳුන්වන්නේ වතු දෙමළ ජනතාවගේ රීරි මාංශය උරා බිව් ‘මුට්ටි කාසි’ කාරයෙක් විදිහට. හැබැයි කව්රුවත් අහන්නේ, බලන්නේ, හිතන්නේ නැහැ මේ කියන පුද්ගලයා වයස අවුරුදු 55ක් දී මියගියාට පසුව වතුකරයේ තේ සහ රබර් කම්කරුවෝ වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ වෙනස්කමකින් තොරව තමන්ගේ රැකියාවට නොගියේ ඇයි කියන එක. ඒ වගේම කඳුකරයේ හැම වත්තකම හැම ගෙයකම ස්වේච්ඡාවෙන් සුදු කොඩියක් එසෙව්වේ ඇයි කියන එක. ඒ වගේම බත්තරමුල්ලේ නිවසට ‘තොන්ඩිට’ අවසන් ගෞරවය දක්වන්න සෑම පන්නයකම දේශපාලකයෝ එන්නේ ඇයි කියන එක.
උතුර නැගෙනහිර විතරක් නෙමෙයි කඳුකරයේ දෙමළා පිළිබඳවත් අපේ හිතීම තමයි ඒ.
තවත් කාරණයක් තිබ්බා, එකත් හරිම රසවත්. ඒ තමයි ‘තෝන්ඩි’ නිසා වත්තට ‘සයනයිඩ් දේශපාලනය’ රිංගුවේ නැති එකේ ගෞරවය ඔහු මියගියාට පසු පැවසීම. ඒක බැලූ බැල්මට පෙන්නේ ආරුමුගම් තොන්ඩමන් තදබල එල්ටීටීඊ විරෝධියෙක් කියලයි.
ඒත් මම දන්න සිදුවීම් දෙකක් කියන්නම්. ඒවා අතීත සිදුවීම්. අතීතය කියන්නේ ඉතිහාසයම කියලා හිතෙන නිසයි මේ සිද්ධි දෙකත් ලියන්නේ. මොකද බොහෝ දෙනෙක් හිතනවා ඉතිහාසය කියන්නේ තමන්ට ඕන පරණ සිද්ධි කිවීම විතරයි කියලා. ඒ නිසයි මේ සිද්ධි දෙක ලියන්නේ. හැබැයි මෙතැනදී මම කියන්නේ නැහැ ආරුමුගම් තොන්ඩමාන් එල්ටීටීඊ පක්ෂපාතියෙක් කියලා. හැබැයි ඔහු එල්ටීටීඊ විරෝධියෙක්නම් නෙමෙයි.

පළමු සිද්ධිය
……………..Image may contain: 1 person, sitting and indoor

ඒ 2002 ජනවාරි 27වන දා.
ඒ වෙනකොට ආරුමුගම් තොන්ඩමන් නිවාස, නාගරික සංවර්ධන, ජල හා ජලාපවහන වගේම වතු යටිතල පහසුකම් විෂය බාර කැබිනට් අමාත්‍යවරයා. ඒ තමයි තොන්ඩමන්ලා වතු විශයෙන් පිටත කැබිනට් ඇමතිකම දරපු එකම අවස්ථාව. ඒ ඇමතිකම ගත්ත විදිහ වෙනම කතාවක්. මේ වෙනකොට තිබුණේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව. අගමැති රනිල් වික්‍රමසිංහ.
කැබිනට් අමාත්‍ය තොන්ඩමාන් එදා දහවලේ මුතූර් වල නැගෙනහිර තැනක එවකට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ එල්ටීටීඊයේ දේශපාලන අංශ ප්‍රධානී අයින්ගරන් මුණගැසුණා. දෙදෙනා අතර සාකච්ඡා වුනා කියලා කිව්වේ නැගෙනහිර මුතූර් යථා තත්ත්වයට පත් කිරීම සහ එම කලාපයේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සහ ඔවුන්ගේ එදිනෙදා ගැටලු විසඳීමේ ක්‍රම පිළිබඳවයි.

ඒ හමුවෙන් පස්සේ අමාත්‍යවරයා ප්‍රාදේශීය ප්‍රජා නායකයින් මුණ ගැහුණා. විමුක්ති කොටින්ගේ ඒකපාර්ශ්වික සටන් විරාමය සමයේදී ශ්‍රී ලංකා හමුදාව විසින් කලාපයට පනවා ඇති සීමාවන් හේතුවෙන් මුතූර් නැගෙනහිර ජනතාවට ඔවුන්ගේ ප්‍රතිපාදන සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ඒ ප්‍රජා නියෝජිතයෝ තොන්ඩමන් අමාත්‍යවරයාට කියලා තිබුණා.
මුත්තූර් හි ආරක්ෂක අංශ සිවිල් වැසියන්ට, රජයේ සේවකයින්ට සහ පෞද්ගලික වාහනවලට එල්ටීටීඊයේ ප්‍රදේශවලට ඇතුළු වීමට ඉඩ නොදෙන බව ඒ අය අමාත්‍යවරයාට කියා තිබුණා. මුතූර් නැගෙනහිර ආහාර බෙදා හැරීමේ බරපතල බිඳවැටීමක් තියෙන බවත්, කලාපයේ ජනතාවට නිසි ප්‍රවාහන පහසුකම් නොමැති බවත් ගම්වාසීන් ඇමති තොන්ඩමන්ට කිව්වා. ඒ වෙන කොටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පනවා ඇති සීමාවන් හා තහනම ගොවිතැනට හා මසුන් ඇල්ලීමට තදින්ම බලපාල තියෙන විත්තියත් ඇමති තොන්ඩමන් හමුවූ ප්‍රාදේශීය ප්‍රජා නියෝජිතයින් කියලා තිබුණා.
ඒ වෙනකොටත් චෙනෙයූර් වල හිටපු පවුල් 850ක් විතර බඩු ගත්තේ මුතූර් නගරයේ සමුපකාර වෙළඳසැල් වලින්. නගරයේත් පාලනය තිබුණේ ශ්‍රී ලංකා හමුදාව යටතේ. චෙනෙයූර් කියන ගම්මානයේ සමුපකාර ගබඩාවක් තිබුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුතුර් නැගෙනහිරට ආහාර සැපයීම දැඩි ලෙස පාලනය කිරීම නිසා ඒක වහලා දාලා තිබුණේ.
තොන්ඩමන් කැබිනට් ඇමතිවරයාට ගමේ අය කිව්වේ “දැන් සටන් විරාමයක් තියෙන්නේ. ඒ හින්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සීමාවන් නිසා වහලා තිබුණු මුතූර් නැගෙනහිර සියලුම සමුපකාර වෙළඳසැල් විවෘත කරන්න රජය වහාම පියවර ගන්න ඕනේ..” කියලා. එවෙනකොටත් තිබුණේ ඒක පාර්ශවීය සටන් විරාමයක්. ආණ්ඩුවේ ප්‍රභල කැබ්නට් ඇමතිවරයෙක් ‘තනි තීරණයකට’ සාම්පූර් හි විමුක්ති කොටි සමඟ සාකච්ඡා සඳහා ප්‍රසිද්ධියේ මුණ ගැහිච්ච පළමු වතාව ඒ.

දෙවන සිද්ධිය

Image may contain: one or more people and people standing

මේක වුනේ 2005 දෙසැම්බර් 17 වෙනිදා.
ඒ වෙනකොට සාම ගිවිසුම ක්‍රියාත්මක කාලේ.
කිලිනොච්චියේ තිබුණු එල්ටීටීඊ සාම ලේකම් කාර්යාලයේදී තමයි මේ හමුව සිදුවුණේ. එල්ටීටීඊයේ දේශපාලන ප්‍රධානී එස්.පී. තමිල්චෙල්වන් සමඟ ඇමති තොන්ඩමන් සාකච්ඡාවක් කළා. ඒක කළේ තොන්ඩමන්ගේ දේශපාලන පක්ෂය වගේම ඔහුගේ වෘත්තිය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) නියෝජිතයනුත් එක්ක. මුත්තු සිවලිංගම්, ආර්. යෝගරාජා, වී. රාධාක්‍රිෂ්ණන්, එම්. සචිතනන්දන්, ටී. මතියුගරාජා තොන්ඩමන්ගේ පැත්තෙන් සාකච්ඡාවට සහභාගී වුණා.
මේ ගමනට කොළඹ ඉඳන් කිලිනොච්චියටම යද්දී ආණ්ඩුවේ මාර්ග බාධකයකදී හෝ එල්ටීටීඊ කිසිම මාර්ග බාධකයකදී තොන්ඩමන් ඇතුළු පිරිස නැවැත්තුවේ නැහැ. ඒ වෙනකොට එල්ටීටීඊ පොලිසියත් ක්‍රියාත්මකයි. ඒ අය අනිවාර්යයෙන් හයි ස්පීඩ් යන වාහන නවත්වනවා. ඒත් ඇමති තොන්ඩමන්ලාගේ හැටට හැටේ ගිය වාහන නැවැත්තුවේ නැහැ.

එල්ටීටීඊ සාම ලේකම් කාර්යාලයේදී කළ මේ සාකච්ඡාවේදී උඩරට හා බස්නාහිර පළාත් දෙමළ දේශපාලන පක්ෂ අතර එක්සත් ප්‍රයත්නයක් ඇති කිරීමේ සැලසුම් පිළිබඳව කතා කළා. CWC සහ එල්ටීටීඊය අතර දකුණේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා පුළුල් දෙමළ පෙරමුණක් පිහිටුවීමේ උපායමාර්ගික අවශ්‍යතාවය වගේම නැගෙනහිර, විශේෂයෙන් ඊසානදිග සහ උඩරට දෙමළ ප්‍රජාවන්ගේ පොදු අභිලාෂයන් තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දෙපාර්ශවය එකඟතාවයෙන් කතා කළා.

ඊසානදිග හා උඩරට දෙමළ ජනයා මුහුණ දෙන අභියෝගයන් එකිනෙකට වෙනස් වුනත් මේ ප්‍රජාවන් දෙකටම සිංහල ජාතිකවාදය විසින් ඉදිරිපත් කරන පොදු අභියෝගයට මුහුණ දිය යුතු බව ගැන හමුව අවසානයේ ඇමති තොන්ඩමන් මාධ්‍යයට කිව්වා.

එල්ටීටීඊයේ දේශපාලන ප්‍රධානී එස්.පී. තමිල්චෙල්වන් සමඟ ඇමති තොන්ඩමන් සහ පිරිස කරපු සාකච්ඡාවෙන් පස්සේ කිලිනොච්චියේ එල්ටීටීඊ සාම ලේකම් කාර්යාලයේදී මාධ්‍යයට ඔහු කියූ දේ මෙහෙමයි.
“දකුණේ නැගී එන නව දේශපාලන ආකෘතීන් නිසා උතුරු නැගෙනහිර සහ කඳුකරයේ දෙමළ ජනයාට එකට වැඩ කිරීමේ හදිසි උපායමාර්ගික අවශ්‍යතාවයක් ඇති වී තිබේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වෙසෙන දෙමළ ජනතාවගේ ආරක්ෂාවට හා සුබසාධනයට එල්ල වන තර්ජනයට මුහුණ දීමටත්, දෙමළ ජනතාවගේ තත්ත්වය දෙවන පන්තියේ පුරවැසියන්සේ පහත් කිරීමට දකුණේ දේශපාලනයේ උත්සාහයන්ට එරෙහි වීමටත් මෙවැනි පුළුල් පෙරමුණකට හැකි වනු ඇත…”.

එදා හමුවීමෙන් පස්සේ එල්ටීටීඊයේ දේශපාලන ප්‍රධානී එස්.පී. තමිල්චෙල්වන් කිව්වේ මෙම හමුවීම ඉතාමත් ඵලදායී කියලයි. ඒ වගේම ඒවෙන කොටත් පැවති දෙමළ අරගලය ඉදිරියට ගෙන යන්න දෙමළ දේශපාලන නායකයින් විසින් අනුගමනය කළ යුතු පොදු උපාය මාර්ගයක් වටා සාකච්ඡා කේන්ද්‍රගත වුණා කියලත් කිව්වා.
මේ හමුවීමෙන් පස්සේ ඇමති තොන්ඩමන්ගේ CWC එකට සම්පුර්ණයෙන් එදිරිව හිටපු කඳුරට ජනතා පෙරමුණේ නායක පෙරියසාමි චන්ද්‍රසේකරන් නිවේදනයක් නිකුත් කළා. පී. චන්ද්‍රසේකරන් ඒ වෙන කොටත් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක්.
“උතුරු නැගෙනහිර, කඳුකරය සහ කොළඹ දෙමළ වැනි වූ දෙමළ ජනයා අතර භෞමික බෙදීම් සැමවිටම අපගේ විරුද්ධවාදියාට සහ සමස්තයක් වශයෙන් දෙමළ ජනයාගේ දියුණුවට බාධාවක් වී තිබේ. අපි එය සැමවිටම විශ්වාස කරමු. CWC සහ එල්ටීටීඊ අතර වූ රැස්වීම මෙම තීරණාත්මක කාරණය සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය වලංගු කරයි. මේ හමුවීමත් සමඟම දෙමළ දේශපාලන අරගල ඉතිහාසයේ වැදගත් වෙනසක් අත ළඟයි..” යනුවෙන් පී. චන්ද්‍රසේකරන් කියලා තිබුණා.
කෙනෙකුට ඕනේනම් මේ ප්‍රසිද්ධ හමුවීම් දෙකත් ඒ පිළිබඳව ඒ අය කළ ප්‍රකාශත් හොයාගෙන කියවන්න පුළුවන්.
මිට අමතරව මේ සිඳුවීම් දෙකටම කලින් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ කාලේ බලය බෙදීම පිළිබඳව මාහාචාර්ය ජී. එල්. පීරිස් ගෙන ආ යෝජනා ගැන වැඩකරපු ‘සුදු නෙළුම් ව්‍යාපාරය’ වගේම ‘සාම තවලම’ ව්‍යාපෘතියේදීත් ඇමති තොන්ඩමන් උපරිම සහය දුන්න. ඒ වැඩසටන් දකුණේ සමහර අය හැදින්වුවේ ‘කොටි වැඩ’ විදිහට.
ඊටත් පස්සේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවත් එල්ටීටීඊ සංවිධානයත් අතර අතුවුණු සාම ගිවිසුමට කඳුකර ජනයාගේ සහය දෙන්න විශාල රැස්වීමක් ඇමති තොන්ඩමන් නුවරඑලිය නගරයේ පැවැත්වුවා. ඒක අවසානයේ සංගීත සංදර්ශනයකුත් තිබ්බා. ඒකට සංගීතය සැපයුයේ තොන්ඩමන්ගේ ප්‍රියතම සංගීත කණ්ඩායම වෙන ‘අප්සරාස්’ කණ්ඩායම. හැබැයි මට ඒක තිබ්බ දින හොයාගන්න බැරිවුණා.
මම මේ ලිව්වේ බොහොම ප්‍රසිද්ධ සිද්ධි හතරක් විතරයි. මේ ප්‍රසිද්ධ කතා වලට යටින් තව අප්‍රසිද්ධ කතා කොච්චරක් හරි ඇති.
ඒ නිසා උතුරේ නැගෙනහිර විතරක් නෙමෙයි කඳුකරයේ දෙමළ නායකයෙක් මැරුණට පස්සේත් “ඔක්කොම කැතයි, හැබැයි ඒ යකා එල්ටීටීඊ එකට විරුද්ධයි…” කියලා තමන්ගේ හිත රවට්ටගෙන සැනසෙන්න හදන එක තෙරුමක් නැහැ කියලයි මට හිතෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *