ජීවත් වෙන්න අවශ්‍ය හදවත පමණයි – මලී පෙරේරා

” මංසල ” සමාජ සත්කාර වැඩසටහනෙන් මහරගම පිළිකා රෝහලට ගිය ගමන හේතු දෙකක් නිසා මට අමතක කරන්න බෑ . එකක් ආදරය අහිමීවීමේ වේදනාව සහ අනෙක ආදරය හිමිවීමේ වේදනාව . මරණය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති දරුවො මරණය පෙනි පෙනී ජීවත් වෙනව. තමන්ගේ පවුලෙ අයගෙන් ඈත් වෙලා තමන් වගේම පිරිසක් මැද ආදරේ හොයනව. පිළිකාවක් ද මොකක්ද කියල දන්නෙවත් නැතුව පුරුදු විදිහට සෙල්ලම් කරන පොඩි පැටව් දැක්කම හීල්ලෙනව. ” ඉපදෙද්දි අපි හැමෝම මරණය අතින් අරන්නෙ එන්නෙ. කවද හරි ඒ දේට මූණ දෙන්න වෙනව. එකට ජීවත් වුනා කියල එකට මැරෙන්න පුළුවන් ද…. ” කියල එදා පිළිකා රෝහලේදි හමුවුන කෙනෙක් කිව්ව. එයාගෙ බිරිද පිළිකාවක් හැදිල රෝහලේ නතර කරල හිටියෙ. මැරෙන තුරාම සංසාරෙ එකට ඉන්නව කිව්වත් කාටම හරි කලින් වෙන්වෙන්න සිද්ධ වෙනව. අනිත් කෙනාට වියෝවීම් දරාගෙන ජීවත් වෙන්න සිද්ධ වෙනව.

දවසක අම්ම තාත්තගෙන් , සහෝදරයන්ගෙන් , පෙම්වතා පෙම්වතියගෙන්, සැමිය බිරිදගෙන්, දරුවන්ගෙන් විදිහට ජිවිතේ එක් එක් කාල පරිච්ඡේද වලදි අහිමීව් සිද්ධ වෙනව. හමුවීම් කියන්නෙම වෙන්වීමකට දින ගැනීමක් . මහගම සේකර ශූරීන් කියනව වගේ ජීවිතය කියන්නෙ දිගු ගමනක නවාතැන් පොළක්…

තිඹිරි ගෙය නොවේ ඇරඹුම
සුසානය නොවේ අවසන
ජීවිතය දිගු ගමනක
නවාතැන් පොළක් පමණය….

ඔය කොච්චර දේවල් කිව්වත් මේ ලෝකෙ අමරණීයි කියල හිතාගෙන ජීවිත් වෙන කොට්ඨාසයක් ඉන්නව . තමන්ට කොච්චර වැඩි උනත් මදීයි කියාගෙන එකතු කරන පිරිසක් ඉන්නව . මිනිස්සු පව් කරනව විතරක් නෙවෙයි තමන් හරිය කියල පෙන්වන්න තර්ක කරනවා. හැම තර්කයක්ම මරණය ඉස්සරහ බිඳ වැටෙනවා.

මරණය කියන්නෙ වේදනාවක් . ඒ වේදනාව කොතරම් ද කියල මවක් අහිමි වුණු දරුවෙක්ගෙන් හරි දරුවෙක් අහිමි වුණු මවකගෙන් හරි ඇසුවොත් දැනගන්න පුළුවන් . දරාගන්න අමාරුම වියෝවීම් තියෙන්නෙ ජීවිතේ හදාගන්න . අම්මගෙ ආදරේ නැති වෙච්ච දවසෙ ඉදන්ම දරුවෙක් කොච්චර උස් මහත් උනත් හැම ආදරයකින්ම බලාපොරොත්තු වෙන්නෙ ඒ අහිමි උනු ආදරේ … රැකවරණය …

” අම්ම මට කොච්චර ආදරේ ද ..? ” කියල මං පුංචි කාලෙ තාත්තගෙන් අහනව. එයා හැමදාම ගොඩක් කිව්ව මිසක් ඒ ගොඩ කොච්චරක් ද කියල පෙන්නල නෑ . ඒත් දවසක් එයා මාව මුහුදු වෙරළට අරන් යනව.
” ඔයාගෙ අම්ම ඔයාට මෙච්චරක් ආදරෙයි … ” කියල එයා මට මුහුද පෙන්වනව. මට එදා ඉදන් මුහුද දැක්කම අම්මව මතක් වෙනව. එදා මුහුදෙන් අහුලන් ආපු යක් බෙල්ලෙක්ගෙ බෙලි කටුවක් තාමත් මං ලග තියෙනව . තාත්ත හැමදාම කිව්වෙ අම්ම මාව දාල ගිහින් නෑ කියල .
” ඔයා ඇස් දෙක පියාගෙන අහන්න . ඔයාට අම්මගෙ හඩ ඇහෙයි… ”
මං අම්මගෙ හඩ අහන්න ඕන උනාම ඇස් දෙක පියාගන්නව. අර යක් බෙලිකටුව කන ලගට ලං කරනව. මට අම්ම කතා කරනව ඇහෙනව …. ඊට පස්සෙ…..,

ඊට පස්සෙ ඒ බෙලිකටුව අස්සෙන් මුහුදෙ හඩ ඇහෙනව . ඒ අස්සෙන් මිනිස්සුන්ගෙ වේදනාවල් වල හඩ ඇහෙනව . කවුරුහරි මැරෙද්දි හුස්ම ගන්න හඩ ඇහෙනව . මං බෙලිකටුව වීසි කරනව.. තාත්ත ආයෙමත් ඒක අහුලල මට ගෙනත් දෙනව…

” ජීවිතේ තේරුම් ගන්න … එදාට ඔයා බය වෙන්නෙ මැරෙන්න නෙවෙයි ජීවත් වෙන්න.. මරණය කියන්නෙ විදවීම් වලින් ඈත් වෙන්න මොහොතකට ලැබෙන සැනසීමක් . ජීවත් වෙනව කියන්නෙම වේදනාවක් … හරියට බෙල්ලෙක් මුහුද එක්ක ඔට්ටු වෙනව වගේ … දුක් විදල මැරිච්ච සතෙක්ගෙ කටුවකින් ඔයාට කවදාවත් සතුට අහන්න බැරි වෙයි. ඒත් එතකොට ඔයා සතුට හොයාගෙන අහන්න උත්සාහ කරයි….. “

මං තාමත් සතුට හොයනව. දකින , දැනෙන හැම තැනකම මං සතුට දකින්න , සතුට අහන්න උත්සාහ කරනව. මේ ලෝකෙ වැඩිපුරම හුදකලාව දැනෙන කෙනෙක් ඉන්නව නම් ඒ දෑස් අන්ධ කෙනෙක් . ඒත් මේ ලෝකෙ වඩාත්ම විදින්නෙත් ඒ අය. තමා විදි සැප, දුක, සොබාදහමේ හඩ තමන්ගේ ආත්මයම බව අඳ වාදකයා පොතේ අපූරුවට කියනව. සතුටින් ජීවත් වෙන්න ඕනෙ හදවත පමණයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *