අධීක්ෂණය සහ දඬුවම් දීම ? ඔව්, කරුණා කරලා ! වසන්ගතය ! කොවිඩ් 19 ලොව සසල කරයි – ( 09 වන කොටස )

හැඳින්වීම

මෙම පරිච්ජේදයේදී ශිෂෙක් කොරෝනා වසංගතය ආශ්‍රිතව පැන නැගී ඇති ඇතැම් වාමාංශික සහ ලිබරල්වාදී බුද්ධිමය ප්‍රවේශයන්ට ප්‍රතිචාර දක්වයි. ඒ අතුරින් කැපී පෙනෙන්නේ ඔහු ජියෝජි අගම්බෙන් වෙත දක්වන ප්‍රතිචාරයයි. 2005 වසරේදී ඉංග්‍රීසියට පරිවර්තනය වූ අගම්බෙන්ගේ State of Exception කෘතියේදී ඔහු තර්ක කළේ ස්වාධිපති පාලකයාට හදිසි තත්ත්වයක් තුළදී නීතිය ඉක්මවා යාමට ඇති හැකියාව (මෙය කාල් ෂ්මිට් නමැති ජර්මානු දේශපාලන චින්තකයා විසින් ගොඩ නගන ලද අදහසකි) දැන් සාමාන්‍ය තත්ත්වය බවට පත්ව තිබෙන බවය. ඒ අනුව, එය තව දුරටත් ව්‍යතිරේඛීය තත්ත්වයක් නොවේ. කොරෝනා වසංගතය යුරෝපයට ව්‍යාප්ත වීමත් සමග අගම්බෙන් පැවසුවේ “ව්‍යතිරේඛීය තත්ත්වය සාමාන්‍යය බවට පරිවර්තනය වීම” දැන් අන් කවරදාටත් වඩා හොඳින් දෘෂ්‍යමාන වෙමින් පවතින බවය. අන් කිසිදු වසංගතයකදී මෙලෙස දීර්ඝ ඇඳිරි නීති පැණවීම් සිදු නොවීය; එසේම පුද්ගලයන්ගේ ජීව දත්ත පවා රාජ්‍යයේ සුපරීක්ෂාවට ලක් වීම කොරෝනා වසංගතය හමුවේ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. රාජ්‍යයේ එම ව්‍යතිරේඛීය මැදිහත්වීම්වලට අද වසංගතයේ නාමයෙන් නව සුජාතභාවයක්ද හිමිව තිබේ.

වසංගතය හමුවේ රාජ්‍යයේ බලහත්කාරී සහ මැදිහත්වීම්වාදී යාන්ත්‍රණයන් වර්ධනය කරනු ලැබීම සම්බන්ධයෙන් සෙසු වාමාංශික බුද්ධිමතුන් සේම ශිෂෙක්ද විවේචනාත්මකය. විශේෂයෙන්ම ඔහු මෙම කෘතියේ කලින් පරිච්ජේදවලදී චීනය සම්බන්ධයෙන් පළ කළ විවේචනාත්මක අදහස්වල හරය වූයේම ඔහු දේශපාලන අධිකාරීවාදය කෙරෙහි දක්වන විරෝධයයි. නමුත්, ශිෂෙක් මේ කාරණයේදී අගම්බෙන් සමග එකඟ වන්නේ යම් දුරකට පමණි. අගම්බෙන් කොරෝනා ආශ්‍රිත භීතිය රාජ්‍යයන් සහ අධිපති මාධ්‍ය විසින් ගොඩ නගන ලද්දක් ලෙස සලකන අතර වසංගතය අවතක්සේරු කරන තරම් දුරට යයි. නමුත්, ශිෂෙක් එම ස්ථාවරය බෙදා නොගනී. ඔහුගේ ප්‍රවේශය වන්නේ කොරෝනා වසංගතය බරපතලව භාර ගත යුතු බවත් එයින් ජනනය කෙරෙන බහු-විධ අර්බුදයට ප්‍රායෝගික විසඳුම් යෝජනා කිරීමට වාමාංශය සමත් විය යුතු බවත්ය.

එසේම පුද්ගලයන් අතර භෞතික දුරස්තභාවයක් පවත්වා ගැනීමේ රීතිය කඩ කරමින් මිනිසුන් වැළඳගැනීමේ සහ අතට අත දීමේ අන්ත වාමාංශික නැමියාවද ශිෂෙක්ගේ විවේචනයට ලක් වේ. ඔහු ඒ වෙනුවට පෙන්වා දෙන්නේ ඇතැම්විට දුරස්ව සිටීම සහ අවශ්‍ය නම් හුදෙකලාව සිටීම පවා අද දවසේ අවශ්‍ය සහයෝගීතා මාදිලිය විය හැකි බවයි.who | Coronavirus pandamic: Newspapers are safe to touch, WHO confirms

මෙම ප්‍රතිචාරවලින් ගම්‍ය වන්නේ බොහෝ විට ආන්තික වාමාංශික න්‍යායවේදියෙකු වශයෙන් පවා දකිනු ලබන ශිෂෙක් කොරෝනා වසංගතය හමුවේ පැන නැගී ඇති අවිනිශ්චිතතාවේ නිමේෂය තුළ අතිශය ප්‍රායෝගික ප්‍රතිචාරයක් දැක්වීමට ඉදිරිපත්ව ඇති බවකි. එසේම ඔහුගේ ස්වරය සාමාන්‍යයෙන් තමන් වාමාංශිකයෙකු යැයි හඳුනා නොගන්නා අයෙකු පවා ඒත්තු ගැන්විය හැකි ආකාරයේ එකකි. කොටින්ම මෙහිදී අප දකින්නේ හෙජමොනික ශිෂෙක් කෙනෙකි. ඇති තරම් ඔහුගේ විවේචනවලට ලක්ව ඇති ෂන්තාල් මූෆ් පවා ඇයගේ නවතම කෘතිය වන “For a Left Populism” (2018) තුළ යුරෝපීය වාමාංශයට යෝජනා කරන්නේ මීට සමාන්තර ප්‍රවේශයක් බව මගේ අදහසයි. එය ශිෂෙක්ගේ “Pandemic!” කෘතිය තුළ මා දකින ප්‍රධාන දේශපාලන වැදගත්කමකි.
අට වන පරිච්ජේදය

ජනතාව පාලනයට සහ නියාමනයට ලක් කිරීමේ විධි විධාන සාධාරණීකරණය කිරීම සඳහා කොරෝනා වසංගතය උපකාරී වන්නේ කෙසේදැයි බොහෝ ලිබරල් සහ වාමාංශික විචාරකයින් පෙන්වා දී තිබේ. එම විධි විධාන මේ තාක් කල් බටහිර ප්‍රජාතාන්ත්‍රික සමාජ තුළ සිතන්නට පවා නොහැකිව තිබූ ආකාරයේ ඒවාය. සමස්ත ඉතාලියම අගුළු දැමීම වනාහී නියත වශයෙන්ම ඒකාධිපතිවාදීන්ගේ වියරු අපේක්ෂාවන් ඉටු වීමකි. දැනට පවත්නා තත්ත්වයන් යටතේ ගත් කල, චීනය විනාශකාරී වසංගතයක් සමග ගණුදෙණු කිරීමට වඩාත් හොඳ සූදානමකින් සිටින බව ඔප්පු වී ඇත; ඒ ගැන කිසිදු සැකයක් නොමැත; එරට පුළුල්ව ව්‍යාප්ත වෙමින් පවතින සමාජය ඩිජිටල් පාලනයකට ලක් කිරීමද ඊට අයත්ය. මෙයින් අදහස් වන්නේ අඩු තරමින් ඇතැම් පැතිමාන අනුව චීනය අපගේ අනාගතය බවද?

ඉතාලියානු දාර්ශනික ජියෝජි අගම්බෙන් කොරෝනා වසංගතයට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ සෙසු මත පළ කරන්නන් බහුතරයකට වඩා රැඩිකල් ලෙසම වෙනස් ආකාරයකටය. අගම්බෙන් “හුදෙක් උණ රෝගයේ තවත් එක් ස්වරූපයක් වන කොරෝනා වසංගතය යැයි සැලකෙන දේ වෙනුවෙන් අනුගමනය කෙරෙන උමතු, අතාර්කික සහ මුළුමනින්ම නොගැලපෙන හදිසි ක්‍රියා මාර්ග” හෙළා දකියි. ඔහු මෙසේ විමසයි:

“මාධ්‍ය සහ බලධාරීන් භීතියේ පරිසරයක් නිර්මාණය කිරීමටත්, එනයින් සැබෑ ව්‍යතිරේඛීය තත්ත්වයක් පන ගැන්වීමටත් තමන්ට කළ හැකි සියල්ලම කරන්නේ මන්ද? මිනිසුන්ගේ සංචලතාව දැඩි ලෙස සීමා කිරීම සහ සමස්ත ප්‍රදේශ ආවරණය වන පරිදි දෛනික ජීවන කටයුතු නතර කොට දැමීමද ඊට අයත්ය.”

අගම්බෙන්ට අනුව මෙය ” සමානුපාතික නොවන ප්‍රතිචාරයකි.” එයට ප්‍රධාන හේතුව ලෙස ඔහු දකින්නේ “ව්‍යතිරේඛීය තත්ත්වය ආණ්ඩුකරණයේ සාමාන්‍ය ආකෘතිය ලෙස භාවිත කිරීම සඳහා ඇති වැඩෙන නැමියාවයි.”

“හදිසි තත්ත්වයක් තුළ ආණ්ඩුවේ විධායක නියෝග මගින් ක්‍රියාවට නගන විධි විධාන අපගේ නිදහස බරපතල ලෙස සීමා කිරීමට ඉඩ සලසයි. NRC ආයතනයට අනුව අප සෑම වසරකදීම මුහුණ දෙන ආකාරයේ සාමාන්‍ය උණ රෝගයකට වඩා එතරම් වෙනසක් නොමැති තර්ජනයක් වෙනුවෙන් කරන මේ පාලනය කිරීම් විසමානුපාතික බව ඉතාම පැහැදිලිය. වරෙක ව්‍යතිරේඛීය ක්‍රියා මාර්ග යුක්ති සහගත කිරීම සඳහා ත්‍රස්තවාදය යන්න අධික ලෙස භාවිත කරනු ලැබිණ; දැන් එවන් ක්‍රියා මාර්ග කිසිදු සීමාවකින් තොරව ව්‍යාප්ත කිරීම සඳහා වසංගතයක් සොයා ගැනීම කදිම ආවරණයක් වී ඇතැයි අපට කිව හැකිය.”

“දෙවන හේතුව වන්නේ මෑත වසරවලදී පුද්ගලික විඥානය තුළට කාවද්දන ලද සහ සාමූහික කලබලකාරීත්වයේ සැබෑ අවශ්‍යතාවක් බවට හරවන ලද භීතියේ තත්ත්වය සඳහාද කොරෝනා වසංගතය කදිම ආවරණයක් සැපයීමයි.”

අගම්බෙන් වත්මන් වසංගතය තුළ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක වන ආකාරයේ වැදගත් පැතිමානයක් විස්තර කරයි. නමුත්, තවමත් විවෘතව පවතින ප්‍රශ්න කිහිපයක් තිබේ. රාජ්‍ය බලය කෙරෙහිම අවිශ්වාසයක් ඇති කරලන ආකාරයේ (“එයාලටත් කර කියා ගන්න දෙයක් නැහැ”, “ඔවුන් කරන්න ඕන දේවල් කළේ නැහැ…”) සහ ප්‍රාග්ධනය ප්‍රතිනිෂ්පාදනය කිරීමේ මෘදු ක්‍රියාවලියට බාධා ඇති කරන ආකාරයේ භීතියක් වර්ධනය කිරීමට රාජ්‍යය කැමති වනු ඇත්ද? තම පාලනය ප්‍රතිස්ථාපනය කර ගැනීම සඳහා ගෝලීය ආර්ථික අර්බුදයක් පන ගැන්වීම සැබවින්ම ප්‍රාග්ධනයේ සහ රාජ්‍ය බලයේ වුවමනාවක් විය හැකිද? හුදු සාමාන්‍ය ජනයා පමණක් නොව රාජ්‍යයමත් පවත්නා තත්ත්වය පාලනය කර ගත නොහැකි බව දැක කලබලයට පත්ව සිටින බවට පැහැදිලි සංඥා නොමැතිද? මේ සංඥා හුදෙක් කූට උපක්‍රමද?

අගම්බෙන්ගේ ප්‍රතිචාරය වනාහී කොරෝනා වෛරසය විසින් නිර්මාණය කෙරුණු “අතිශයෝක්තියට නංවන ලද භීතිය” සමාජ පාලනය අභ්‍යාස කිරීමේත් සෘජු වර්ගවාදයේත් (එනම්, ට්‍රම්ප් “චීන වෛරසය” යැයි කියන විට හඟවන දෙය) මිශ්‍රණයක් ලෙස කියැවීමේ පුළුල් වාමාංශික ස්ථාවරයේ ආන්තික ප්‍රකාශනයකි.

කෙසේ වුවත්, එවන් සමාජ අර්ථකතන විසින් වසංගතයේ තර්ජනය දුරු වී යාම යථාර්තයක් කරනු ලබන්නේ නැත. පවත්නා යථාර්තය අපගේ නිදහස බරපතල ලෙසින් සීමා කරන්නට බල කරන්නේද? නිරෝධානය සහ ඊට සමාන ක්‍රියා මාර්ග සැබවින්ම අපගේ නිදහස සීමා කරයි. එසේම, එම ක්‍රියා මාර්ග අවභාවිත කරනු ලබන්නේ කෙසේදැයි හෙළිදරව් කිරීම සඳහා චෙල්සි මෑනින්, ජූලියන් අසාන්ජ් සහ එඩ්වර්ඩ් ස්නොර්ඩන්ගේ මාර්ගය අනුව යන නව ක්‍රියාකාරීන් අවශ්‍යය.Slavoj Žižek - Wikipedia

නමුත්, වෛරසයේ තර්ජනය නව ආකාරයේ ප්‍රාදේශීය සහ ගෝලීය සහයෝගිතාවන්හි සුවිසල් පිබිදීමක්ද නිර්මාණය කොට තිබේ. එසේම එය බලය පාලනයට ලක් කිරීමේ අවශ්‍යතාවද දැඩි ලෙස පැහැදිලි කොට තිබේ. රාජ්‍ය බලය වගකීම් සහගතව පවත්වා ගැනීමට ජනතාවට අයිතියක් ඇත. “නුඹලාට බලය තිබේ; දැන් නුඹලාට කළ හැක්කේ කුමක්දැයි අපට පෙන්වන්න!”යුරෝපය මුහුණ දෙන අභියෝගය වන්නේ චීනය කළ දෙයම වඩාත් විනිවිද පෙනෙන සුළු සහ වඩාත් ප්‍රජාතාන්ත්‍රික ආකාරයෙන් කළ හැකි බව ඔප්පු කොට පෙන්වීමයි. චීනය හඳුන්වා දුන් ක්‍රියාමාර්ග බටහිර යුරෝපය සහ එක්සත් ජනපදය ඉවසනු ඇතැයි සිතිය හැකි දේ නොවේ. ඇතැම්විට එය ඔවුනට අවාසියක් වීමටද හැකිය. රළු ලෙස පැවසුවහොත්, සෑම ආකාරයකම (රෝග ලක්ෂණ) මැනීම් සහ වගු ගත කිරීම් “සුපරීක්ෂාකරණයක්” ලෙසත් සක්‍රීය ආණ්ඩුකරණය “සමාජ පාලනය” ලෙසත් කාල්පනිකව අර්ථකථනය කිරීම අත් වැරදීමකි. අපට (රාජ්‍ය) මැදිහත්වීම පිළිබඳ වඩාත් සියුම් සහ වෙනස් වාග් කෝෂයක් අවශ්‍යය.

සියල්ල නිශ්චය වන්නේ මෙම “වඩාත් සියුම් වාග් කෝෂය” මගිනි. වසංගතය විසින් අවශ්‍ය කෙරෙන ක්‍රියා මාර්ග නිසඟයෙන්ම මිචෙල් ෆූකෝ වැනි චින්තකයින් විසින් ප්‍රචලිත කොට තිබෙන සුපරීක්ෂාව සහ පාලනය පිළිබඳ සුපුරුදු ආකෘතියට ඌණනය නොකළ යුතුය. මා අද චීනය සහ ඉතාලිය විසින් භාවිතයට නගන ලද ක්‍රියා මාර්ග වලටත් වඩා බිය වන්නේ ඔවුන් එම ක්‍රියා මාර්ග වසංගතය පාලනය කිරීමෙහිලා අසාර්ථක ලෙස යොදා ගනීවිය කියාය; එසේම, බලධාරීන් සත්‍ය තොරතුරු වසං කිරීම සහ වෙනස් කිරීම සිදු කරාවිය කියාය.

විකල්ප දක්ෂිණාංශය සේම ව්‍යාජ වාමාංශයද වසංගතයේ පූර්ණ යථාර්ථය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. ඔවුන් එය සමාජ-ගොඩ නැංවීම්වාදයකට ලඝු කොට අඩු තක්සේරු කරයි. නිදසුනක් ලෙස, එහි සමාජ අර්ථය සලකා බලා එය නිෂ්ප්‍රභ කිරීමට යොමු වේ. ට්‍රම්ප් සහ ඔහුගේ පාක්ෂිකයින් නිරන්තරයෙන්ම අවධාරණය කරන්නේ මේ වසංගතය වනාහී ඔහුව මැතිවරණයෙන් පරාජයට පත් කිරීම සඳහා ප්‍රජාතාන්ත්‍රික පක්ෂය සහ චීනය විසින් කරන ලද කුමන්ත්‍රණයක් බවයි. ඒ අතර වාමාංශයේ ඇතැමුන් රාජ්‍යය සහ සෞඛ්‍ය අංශ විසින් යෝජනා කරන ලද ක්‍රියා මාර්ග වාර්ගික භීතිකාවෙන් දූෂණය වී ඇතැයි පවසා ඒවා බැහැර කරයි; එබැවින්, සමාජ අන්තර්-ක්‍රියාවන් දිගටම පවත්වා ගත යුතු බව අවධාරණය කරයි. එය සංකේතවත් කෙරෙන්නේ අතට අත දීමේ චාරිත්‍රයේ දිගටම නිරත වීමෙනි. එවන් ස්ථාවරයකට මග හැරෙන පරස්පරතාව වන්නේ මෙයයි: අතට අත නොදීම සහ අවශ්‍ය වූ විට හුදෙකලා වීම යනු අද දවසේ සහයෝගිතාවයේ ආකාරයයි.

සැබවින්ම ඉදිරියට ගොස් දිගටම අතට අත දීමෙහි සහ වැළඳගැනීමෙහි නිරත විය හැක්කේ කා හටද? වරප්‍රසාදලාභී සුළුතරයටය. බොකැචියෝ ගේ “ඩිකැමෙරොන්” කෘතිය සමන්විත වන්නේ තරුණියන් සත් දෙනෙකු සහ තරුණයින් තිදෙනෙකු වසංගතයක් පැතිර ගිය ෆ්ලොරන්ස් නගරයෙන් පලා ගොස් නගරයෙන් පිටත ඇති හුදෙකලා නිවාඩු නිකේතනයක වාසය කරමින් එකිනෙකාට පවසන කතන්දරවලිනි. (ශිෂෙක් මෙහිලා සඳහන් කරන කෘතිය ජියොවන්නි බොකැචියෝ නමැති මධ්‍යතන යුගයේ විසූ ඉතාලියානු ජාතික කතුවරයා විසින් රචනා කොට ඇත්තේ යුරෝපයේ “කළු මරණ වසංගතය” පැතිර ගිය 1348-1353 අතර කාල පරිච්ජේදය තුළදීය -පරිවර්තක). දැන් මූල්‍ය ධනපති ප්‍රභූන්ද ඒ ආකාරයෙන්ම ඩිකැමෙරොන් කෘතියේ මෙන් කතන්දර කියමින් එකිනෙකාව සතුටු කර ගත හැකි හුදෙකලා කලාප වෙත ගමන් කරනු ඇත; ඒ අතර සාමාන්‍ය ජනතාව වන අපට වෛරස් සමග ජීවත් වන්නට සිදු වනු ඇත.How the Black Plague arrived in Europe — The birth of biological ...

මට විශේෂයෙන්ම නුරුස්සන සුළු දේ වන්නේ අපගේ මාධ්‍ය හෝ වෙනත් බලවත් ආයතන යම් වසා දැමීමක් හෝ අවලංගු කර දැමීමක් නිවේදනය කරන විට ඔවුන් රීතියක් ලෙසම ඒ සඳහා යම්කිසි කාල සීමාවක් පැණවීමයි; නිදසුනක් ලෙස, ඔවුන් “පාසැල් අප්‍රේල් 4 වනදා දක්වා වසා තබනු ඇතැයි” අපට දැනුම් දෙයි. මෙහිදී විශාලතම අපේක්ෂාව වන්නේ වසංගතය ඉහළම අදියරට ළඟා වූ පසුව (එය ඉක්මනින් පැමිණෙනු ඇත) දේවල් යළි යථා තත්ත්වයට පත් වනු ඇතිය යන්නයි. මා හට දැනටමත් දැනුම් දී තිබෙන කාරණයක් නම් මා සහභාගී වන විශ්ව විද්‍යාල සම්මන්ත්‍රණයක් සැප්තැම්බර් මාසය දක්වා කල් තබා ඇති බවයි.

මෙතැන අප අල්ලා ගත යුතු කාරණය වන්නේ කාලය ගත වීමත් සමග ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වුවද, එය අප කොරෝනා වසංගතයට පෙර අත් විඳින ලද සාමාන්‍ය තත්ත්වයම නොවනු ඇති බවයි. අපගේ දෛනික ජීවිතයේ කොටස් ලෙස දකින්නට අප හුරු වූ දේ තවදුරටත් දෙන ලද දේ ලෙස පිළි නොගැනෙනු ඇත. නිරන්තර තර්ජනයන් සහිත වඩාත් අබල දුබල ජීවිතයක් ගත කරන්නට අප උගත යුතුය. අපට ජීවිතය පිළිබඳ, පැවැත්ම පිළිබඳ අපගේ සමස්ත ස්ථාවරයම වෙනස් කර ගන්නට සිදු වනු ඇත. ඒ අප සෙසු ආකාරයේ ජීවීන් අතර වෙසෙන තවත් සජීවී සත්ව කොටසක් වන්නේය යන ස්ථාවරයයි. වෙනත් වචනවලින් කිව හොත්, අප දර්ශනය යන්න හඳුනා ගන්නේ අපගේ ප්‍රධාන ජීවන නැමියාවට කියන නමක් ලෙස නම්, අපට දැන් සත්‍ය දාර්ශනික විප්ලවයක් අත් විඳින්නට සිදු වනු ඇත.

මේ කාරණය තවත් පැහැදිලි කිරීම සඳහා මට ජනප්‍රිය නිර්වචනයක් උපුටා දැක්වීමට ඉඩ දෙන්න: “වෛරස් යනු ඕනෑම ආසාදක කාරකයෙකි; ඒවා සාමාන්‍යයෙන් අති-අණ්වීක්ෂීය වේ; ඒවායෙහි ප්‍රෝටීන් ආවරණයක් තුළ නියුක්ලෙයික් අම්ලය (RNA හෝ DNA) අන්තර්ගත වේ: ඒවා සතුන්ට, ගස් වැල් වලට බෝවී ජීවී සෛල තුළ පමණක් ප්‍රතිනිෂ්පාදනය වේ: වෛරස් සලකනු ලබන්නේ ජීවමාන නොවන රසායනික ඒකක ලෙසය; නැතහොත්, ඇතැම්විට ජීවමාන ප්‍රාණ වස්තූන් ලෙසද ඒවා සැලකේ.”I Need Insights Into RNA Vs DNA - Comparison, Functions, Structure ...

ජීවිතය සහ මරණය අතර වන මෙම දෝලනය වීම තීරණාත්මකය: වෛරස් සාමාන්‍ය අරුතින් ගත් කල සජීවී නොවන අතර අජීවීද නොවේ. ඒවා කිසියම් ආකාරයක ජීවමාන අප්‍රාණයන්ය. වෛරස් තමන්ව පිටපත් කිරීමට දක්වන ප්‍රේරණය අනුව ගත් කල ජීවමානය; නමුත්, එය කිසියම් ආකාරයක ශුන්‍ය තලයේ පවතින ජීවිතයකි. ඒවා පුනරාවර්තනයට ලක් වීමේ සහ බහු ගුණනය වීමේ අතිශය මුග්ධ තලයේදී මරණාශය ජීවිතය ලෙස නොගත් හුදු ජීව විද්‍යාත්මක විකට රූප වේ. කෙසේ වුවත්, වෛරස් යනු වඩාත් සංකීර්ණ ජීව ස්වරූප කරා වර්ධනය විය හැකි ප්‍රාථමික ජීව ස්වරූප නොවේ; ඒවා මුළුමනින්ම පරපෝෂිතයන් වේ; ඒවා තමන්ව පිටපත් කරනු ලබන්නේ වඩාත් දියුණු ජීවී ඉන්ද්‍රියන්වලට ආසාදනය වීම ඔස්සේය (මානවයන් වන අපට වෛරසයක් බෝ වුන විට අප හුදෙක් එය පිටපත් කරන යන්ත්‍ර ලෙස සේවය කරයි).

වෛරසයන්ගේ අබිරහස රඳා පවතින්නේ මෙසේ (ප්‍රාථමික සහ පරපෝෂිත යන) ප්‍රතිපක්ෂයන් එක විට පැවතීම තුළය. එය ශෙලින් “කිසිදාක අවලංගු කළ නොහැකි අවශේෂය” ලෙසින් හැඳින්වූ දේට නිදසුනකි: ජීවයේ පහත්ම තලයක ශේෂයකි; බහු ගුණනය වීමේ උසස් යාන්ත්‍රණයක අක්‍රමවත් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිපලයක් ලෙස පැන නගින්නකි. අඛණ්ඩවම ඒවා සමග ගැවසෙන්නකි; ඒවාට ආසාදනය වන්නකි. කිසිදාක ජීවයේ ඉහළ තලයකට යටත් ස්ථානයක් තුළට යළිත් අන්තර්-ග්‍රහණය කළ නොහැකි ශේෂයකි.

මෙතැනදී අපට මුණ ගැසෙන්නේ හේගල් සමපේක්ෂාත්මක විනිශ්චය යනුවෙන් හැඳින්වූ දෙයයි; ,එනම්, ඉහළම දෙයෙහි සහ පහත්ම දෙයෙහි අනන්‍යතාව සහතික කිරීමයි. මේ සඳහා හේගල්ගේ හොඳම නිදසුන වන්නේ ඔහුගේ Phenomenology of Spirit කෘතියේ ඇති කපාල ලක්ෂණ විද්‍යාව පිළිබඳ විශ්ලේෂණයේදී සඳහන් “ආත්මය යනු අස්ථියකි” යන ප්‍රකාශයයි. අපගේ නිදසුන විය යුත්තේ “ආත්මය යනු වෛරසයකි” යන්නයි. මානව ආත්මය යනු මානව සත්වයන් මත පරපෝෂිතව සිටින කිසියම් ආකාරයක වෛරසයකි. එය තමන්වම ප්‍රතිනිෂ්පාදනය කර ගැනීම සඳහා මානව සත්වයන් සූරා කයි. එසේම ඇතැම්විට ඔවුන්ව විනාශ කර දමන බවට තර්ජනය කරයි. තවද, ආත්මයේ මාධ්‍ය භාෂාව වන තාක් දුරට අප අමතක නොකළ යුත්තක් නම් භාෂාවද එහි ඉතාම මූලධාර්මික තලයෙහිදී යාන්ත්‍රික වූවක් බවයි; අප උගත යුතු සහ අනුගමනය කළ යුතු රීතින් පිළිබඳ කාරණයක් බවයි. කවට අනුකෘතීන් යනු මනසේ වෛරසයන් යැයි රිචර්ඩ් ඩෝකින්ස් පවසා තිබේ. ඒවා මානව මනස “යටත් විජිතකරණයට” ලක් කරන පරපෝෂිත අංගයන්ය; තමන්වම බහු ගුණනය කර ගැනීම සඳහා මනස උපකරණයක් බවට පත් කරගන්නා දේය.

මේ අදහසේ සමාරම්භකයා අන් කිසිවෙකු නොව ලියෝ ටෝස්ල්ටෝයිය. සාමාන්‍යයෙන් ටෝල්ස්ටෝයිව සලකනු ලබන්නේ ඩොස්ටොව්ස්කිට වඩා ඉතාම අඩුවෙන් සිත් ගන්නා කතුවරයෙකු ලෙසිනි; ඩොස්ටොව්ස්කිගේ සාංදෘෂ්ටිකවාදී සංතාපය සමග සැසඳූ කල නූතනත්වය තුළ කිසිදු තැනක් හිමි නොවන කණගාටුදායක ලෙස යල් පැන ගිය යථාර්ථවාදියෙකු ලෙසිනි.
කෙසේ වුවත්, ඇතැම්විට දැන් ටෝල්ස්ටෝයිව පූර්ණ වශයෙන් පුනරුත්ථාපනය කරන්නට කාලය එළැඹ ඇත. පොදුවේ ගත් කල, කලාව සහ මිනිසා පිළිබඳ ඔහුගේ අද්විතීය න්‍යාය තුළ අපට කවට අනුකෘතීන් පිළිබඳ ඩෝකින්ස්ගේ සංකල්පයේ ප්‍රතිරාවයක් ඇසිය හැකිය.Leo Tolstoy | Russian writer | Britannica

“පුද්ගලයෙකු යනු ආසාදිත මනසක් සහිත මනුජයෙකි; මිලියන් ගණනක සංස්කෘතික සහජීවින්ගේ සත්කාරකයෙකි. එසේ විය හැකි වන්නේ භාෂාවන් ලෙසින් හඳුන්වනු ලබන සහජීවී පද්ධතීන් නිසාය.”

ඩෙනට්ගේ ඉහත ප්‍රකාශය තනිකරම ටෝල්ස්ටෝයිගේ නොවේද? ටෝල්ස්ටෝයිගේ මානව විද්‍යාවේ මූලික සංඝටකය වන්නේ ආසාදනය වීමයි. මානව විෂයක් යනු ආවේදනාත්මකව මෙහෙයවුණු සංස්කෘතික අංගයන්ගේ ආසාදනයට ලක් වූ නිෂ්ක්‍රීය හිස් මාධ්‍යයකි. එම සංස්කෘතිකාංග හරියට බෝ වන රෝග බීජ මෙන් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ව්‍යාප්ත වේ. ටෝල්ස්ටෝයි මෙතැන් සිට අවසානය දක්වා ගමන් කරයි. ඔහු මෙම ආවේදනාත්මක ආසාදනයන්ගේ ව්‍යාප්තියට ප්‍රතිපාක්ෂිකව සත්‍ය ආධ්‍යාත්මික ස්වායත්තතාවක් පිහිටුවන්නේ නැත. ඔහු මෙම බෝ වන රෝග බීජවලින් ගැලවීම සඳහා තමාව පරිණත වූත්, ස්වායත්ත වූත්, ආචාර ධාර්මික විෂයක් බවට පත් කර ගත හැකි ආකාරයේ අධ්‍යාපනයක් ලබා ගැනීමේ වීර මෙහෙයුමක් යෝජනා කරන්නේ නැත. පවත්නා එකම අරගලය වන්නේ හොඳ සහ නරක ආසාදනයන් අතර අරගලයයි. ක්‍රිස්තියානිය යනුද ආසාදනයකි; නමුත් ටෝල්ස්ටෝයිට අනුව එය හොඳ ආසාදනයකි.

ඇතැම්විට, අපට වත්මන් වෛරසමය වසංගතයෙන් උගත හැකි වඩාත්ම කැළඹිලිකාරී දෙය වන්නේ මෙයයි: සොබා දහම අපට වෛරසවලින් පහර දෙන විට එය එක්තරා ආකාරයකින් අපගේම පණිවිඩය අප වෙත හරවා එවීමකි. එම පණිවිඩය වන්නේ මෙයයි: “නුඹලා මට කළ දෙය මම දැන් නුඹලාට කරමි”

පරිවර්තනය: සුමිත් චාමින්ද

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *