රනිල් වික්‍රමසිංහ හැමදාම කලේ බළලුන් ලවා කොස් ඇට බෑවීම් – සමඟි ජන බලවේගයේ උප සභාපති ආචාර්ය සේනක ද සිල්වා

කොහොමද පක්ෂය ඡන්දයට සූදානම්ද ?

ඔව්, ඕනෑම මොහොතක අපි මැතිවරණයට මුහුණ දෙන්න සූදානම්. සන්ධානයක් විදියට සමඟි ජන බලවේගය රටේ බහුතර බලයක් සහිතව ජයග්‍රහණය වෙනුවෙන් ඉතා සුබවාදී ආකල්ප සමග වැඩ කටයුතු සිදු කරනවා. ලෝකයට වගේම ලංකාවටත් බලපා ඇති කොවිඩ් වසන්ගතය අතර තුර පැමිණි බාධා නොවන්නට මේ වන විට ඉතා සාර්ථක ක්‍රියාමාර්ග ගැනීමට අපට හැකියාව පැවතියා.. ඒ සදහා වන උගත් බුද්ධිමත්, ජනප්‍රිය හා තරුණ නායකත්වයක් අප සන්ධානයෙ සිටිනවා. ඔවුන් අනිවාර්යෙන්ම සුවිශාල බලයක් අත්පත් කරගන්නා බව විශ්වාසයි.

ඔබ එම පක්ෂයේ උප සභාපතිවරයා, එසේම සජිත් ප්‍රේමදාස මහතා සභාපති, ඉතිං මේ වනවිට අධිකරණය හමුවේ ගොනුවී ඇති නඩුවක් පවතිනවා.. මොකද්ද මේ ?

මේ සන්ධානය බිහි වන්නේ ජනතාවගේ ප්‍රාර්ථනාවක් ලෙස. මෙතෙක් එක්සත් ජාතික පක්ෂය මත දහඩිය මහන්සිය දුක කදුළ පමණක් නොවේ රුධිරය පවා වැගිරූ මිනිසුන් සුවිශාල ප්‍රමාණයක් ලංකාව පුරාම ජීවත් වෙනවා.. ඔවුන් නිරන්තරයෙක් හිතූ දෙයක් තමයි එක්සත් ජාතික පක්ෂය තුළ නව නායකත්වයක් බිහිවී එහි පවතින සාම්ප්‍රදායික ඇල් මැරුණු ස්වභාවය නතර වී ජවයක් සහිතව රටට නායකත්වයක් සපයන පක්ෂයක් ලෙස ගොඩ නැගේවි කියා. එහෙත් එහි සිටින නායකත්වය තමන්ගෙ පුටුව අත් හැරීමට නොහැකිව එය පරම උරුමයක් කරගෙන සිටිනවා.. මේ රටේ විශාල ජනතාවක් පසුගිය ජනාධිපතිවණයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙත ඡන්දය භාවිතා කළේ, එතෙක් පරාජිතව විනාශ වී ගිය එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක් ලබා ගැනීම සදහායි එහෙත් එය ඉටු කර ගැනීමට එම පක්ෂය තුළ සිටින නායකත්වය හා කණ්ඩායමක් ඉඩ දුන්නේ නෑ.. මේ නිසාම මහ මැතිවරණයේදී අප මේ සදහා පක්ෂයක් මම නායකත්ව උසුළන අපේ ජාතික පෙරමුණ සමගි ජන බලවේගය ලෙස මැතිවරණ කොමිසම හමුවේ නෛතික වෙනස් කිරීම් සමග පිරිනමනු ලැබූවා..
ඒ අනුව ගොඩ නැගුණු සමගි ජන බලවේගය පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාටත් එහි ලේකම් ධූරය රංජිත් මද්දුම බණ්ඩාර මහතාටත්  ව්‍යවස්ථාපිතව භාර දෙනු ලැබුවා.

එතෙක් සභාපතිධුරය දැරූ මා උප සභාපති ලෙසත්, මහ ලේකම්ධූරය දැරූ ඩයනා ගමගේ මහත්මිය උප ලේකම් ලෙසත් තනතුරු වෙනස් කරනු ලැබුවා. සියල්ල සිදු කරනු ලැබුවේ සභාපතිතුමා සතු බලතල සහ පක්‍ෂ ව්‍යවස්ථාවේ  සතු බලතල අනුවයි.

අනතුරුව දේශපාලන පක්‍ෂ, සන්ධාන සහ පුද්ගලයින් අප පක්‍ෂය වටා ඒකරාශී වුනා. එම සියලු දෙනාගේ එකඟත්වයෙන් මහ මැතිවරණ සදහා අපේ පක්ෂයේ  නාමයෝජනා භාර දෙනු ලැබූවා.. ඒ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයටම.

මේ සිදුවීමත් සම​ඟ එක්සත් ජාතික පක්ෂය දැඩි දෙදරීමකට ලක් වුනා.  තවමත් මෙම යෝජනාවට පක්ෂපාතීව අප සමග එක් නොවුනු පිරිස් දැඩි මැදිහත්වීමක් කරනු ලැබූවා අප මෙම සටනින් එලියට ඇදල දාන්න.

ඒ වෙනුවෙන් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් බළලුන් ලවා කොස් ඇට බෑවීමේ ක්‍රියා පිළිවෙතක නිරත වී සිටිනවා. ඒ අනුව තමයි පසුගියදා අපේ සන්ධානයේ නාම යෝජනා අවලංගු කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා භාර දුන් අපේක්‍ෂකයෙක් යොදවා ශ්‍රේෂ්ඨාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවේ.

සන්ධානය සදහා පක්ෂයක් තෝරා ගැනීමේදී ඔබේ පක්ෂය ඒ සදහා මුල් වුනා එම පක්ෂයේ නීතිමය තත්වයක් ඔවුන් විසින් අභියෝගයට ලක් කරනවා මේ සම්බන්ධයෙන් කුමක්ද පවසන්නේ ?

සමඟි ජන බලවේගය පක්ෂය, පක්ෂයක් ලෙස මැතිවරණ කොමිසම ඉදිරියේ පිළිගෙන අවසන්. ඒ සදහා වන වලංගු නෛතික ක්‍රියාදාමයන් සියල්ල සම්පූර්ණයි. මගේ නායකත්වය යටතේ තිබුනු අපේ ජාතික පෙරමුණ කිසිවෙකුට අයිති හෝ කිසිවෙකු යටතේ තිබුනු පක්ෂයක් නොවේ. එය මුළුමනින්ම මගේ නායකත්වය යටතේ මට සම්පූර්ණ හිමිකාරිත්වය සහිත පක්ෂයක්.

එහි නීතිමය පාර්ශවය විමසීමට අදාළව කිසිදු ගැටළුවක් නෑ. එය සමගි ජන බලවේගය බවට පත් කිරීමට අදාළව වන සියලු කටයුතු නීත්‍යාණුකූලව සිදුව තිබීයදී මෙවැනි විහිළු පැමිණිලි අප තක්සේරු කරන්නේ නෑ .. එය ඔවුන්ගේ කාර්යයක් එහි අපට වන බලපෑමක් නෑ..

පක්ෂය ප්‍රදානය කිරීමේදී ලොකු මුදලක් ලැබෙන්න ඇති නේද ?

ඔබ මේ ප්‍රශ්නය ඇසීම ගැන මම පුදුම වෙන්නේ නෑ . මොකද මේ සමාජය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරල තියෙන්නේ සියලු ගුණයන් මුදලට යට කරපු සමාජයක් ලෙස. ඒ සදහා පැවැති දේශපාලන පක්ෂ මෙන්ම සමාජය මේ දක්වා ගෙන ආ බලවේග වගකිව යුතුයි. මෙතනදී එකක් පැවසිය යුතුයි. මා රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සෙබළෙක් එහි ඉහල නිළයන්ට ගියේ රට වෙනුවෙන්. අපි ජීවිතය වුනත් පරිත්‍යාග කරන්න කියන තැනක ඉදල. එහෙම වුනු කෙනෙකු රට වෙනුවෙන් තවත් දේ කළ හැකි නම් කැප කිරීම් කිරීමට පුළුවන් නම් ඒවා ජීවිතාන්තය දක්වා කරනවා .. මේ පක්ෂය පරිත්‍යාගයක් ලෙස අනාගත පරපුර වෙනුවෙන් කළ දෙයක් මිස එහි කිසිදු මුල්‍ය වටිනාකමක් මා බලාපොරොත්තු වුනේ නෑ. ඒ වගේම එසේ කිරීමේ අවශ්‍යතාවයක්ද මට නෑ.. මේවා අර මුලින් සදහන් කළ පිරිස් විසින් හිතා මතා ගොතන බොරු අවලාද වගේම විහිළු සහගත අපවාද ගණයට වැටෙන දේවල් .. ඉතිං ඔවුන් මෙවැනි කතාවලින් ලැජ්ජා විය යුතුයි.

ඔබ නියෝජනය කරන පක්ෂය ඇතුලත්ව විශාල පිරිසක් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැදවන්න කියා මොකද්ද මේ සම්බන්ධයෙන් ඔබ ස්ථාවරය ?

ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව කැදවීමේ පූර්ණ බලතල තිබෙන්නේ ජනාධිපතිවරයාට. වෙන කිසිවෙකුට එය කරන්න බෑ. වාර අවසන් කළ පාර්ලිමේන්තුවක් ජනාධිපතිවරයාට වුනත් එය කැඳවිය හැක්කේ සුවිශේෂී අවස්ථාවකදී පමණයි. හදිසි අවස්ථාවක් නම් පමණයි. එය පැහැදිලිවම ව්‍යවස්ථාවේ සදහන් වෙලා තිබෙනවා. එසේ කැදෙව්වත් පරණ පාර්ලිමේන්තුවට යා හැකි දුර දෙකයි එකක් තමයි, මේ ව්‍යසනය පවතින කාලය තුළ අපි හිතමු කොරෝනා වසන්ගතය කියල එය අවසන් වන තුරු එය කළ හැකියි. දෙක තමයි පරණ පාර්ලිමේන්තුවේ වාර සභාව අවසන් වන තුරු, අපේ පාර්ලිමේන්තුවේ වාර සභාව අවසන් වෙනවා සැප්තැම්බර් 01 වන තුරු අපි හිතමු සැප්තැම්බර් 01 වනදා වන විටත් කොරෝනා වසන්ගත තත්වය තිබුනා කියල එවිට කුමක්ද වෙන්නේ ? එවිට නැවත අර පරණ ව්‍යස්ථාමය තැනට යනවා. ඉඹේම පාර්ලිමේන්තුව විසිරෙනවා. ඒ නිසා නැවත පාර්ලිමේන්තුව කැදවිය යුතුයි කියන එක පිළිතුරුක් නෙවෙයි මේ ඉන්න විදියට ඉන්න පුළුවන්. මේ ඉන්න විදිය හොදයි නැත්නම් වෙන්නේ සැප් 01 වෙන්නේ පාර්ලිමේන්තුවක් නැති ඒකාධිපති පාලනයක් විදියට ගෙනියන්න පුළුවන් එතකොට එය බන්දේසියක තියල දෙනවා වගේ වැඩක් වෙන්නේ. දැන් පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් කැදවා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්දය තමයි මූලිකම දේ. මිනිස් අයිතිවාසිකම් රැකෙන්නේ මැතිවරණය සමග ඒ නිසා මෙම තත්වය මේ ලෙස පවත්වාගෙන යා යුතුයි.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දින නියම කිරීම ව්‍යවස්ථාපිත ද ?

මෙහිදී මූලිකව බැලිය යුතුයි අපි වසර හතර හමාරක පසුව ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවේ 70 වන වගන්තියට අනුව එතුමන්ට හිමි බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එම විසුරුවා හැරීමත් සමග මාස තුනක් ඇතුලත නාම යෝජනා කැඳවා මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. මෙහිදී සලකා බැලිය යුතු දෙයක් තිබෙනවා. එනම් රටේ මූලික නීතියතමයි ව්‍යවස්ථාව. එය කඩ කිරීමට අප කිසිවෙකුටත් බෑ. මූලිකව එය ආරක්ෂා කිරීමට ප්‍රජාන්ත්‍රවාදය ආරක්ෂා වීමට මේ රටේ ඇමතිවරු මන්ත්‍රීවරු ශේෂ්ඨාධිකරණ විනිසුරුවන් විනිසුරුවන් හා නිතිඥයින් දිවුරුම් දෙන්නේ මේ ව්‍යවස්ථාවට අනුව. ඒ අනුව මේ වාතාවරණය යටතේ මෙම ක්‍රියාවලිය පවත්වාගෙන යාමට මැතිවරණ කොමිසම බැදී ඉන්නවා. එයට අනුව මැතිවරණ කොමිසම නාම යෝජනා කැඳවීම සිදු කොට නාමයෝජනා භාර ගැනීම සිදුකළා. මේ අතර තුර ලෝකයේ ව්‍යාප්තව පවතින දරුණු වසන්ගත තත්වය ලංකාව තුළත් දරුණු ලෙස ව්‍යාප්ත වුනා. ඇති වී ඇති වසන්ගත තත්වය සැලකිල්ලට ගෙන අදාල පාර්ශවයන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දැමීම සිදුකරනු ලැබූවා. පසුව මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස දන්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරනු ලබනවා. එහි අඩංගු වන්නේ ඔබ තුමා මේ දැනට පවතින තත්වය සම්බන්ධයෙන් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුයි යන්නයි එහි අඩංගු වූයේ ඇයි මෙහෙම ලිපියක් මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන්නේ ? මොකද මැතිවරණ කොමිසමට බෑ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න. එය කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. මේ නිසා මාස තුනට වඩා මැතිවරණය කල් දමනවා නම් මැතිවරණ කොමිස ම ව්‍යස්ථාව උල්ලංඝණය කළා වෙනවා. මෙහිදී සිදුවූ පුදුම සහගත දේ තමයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මෙය සෘජුව ජනාධිපතිවරයා වෙත රහස් ලිපියක් ලෙස යොමු කරනවා වෙනුවට එය සමාජ මාධ්‍ය ජාලාවන්හි හා මාධ්‍යයට විවෘත කිරීම කරනවා එය මැතිවරණ කොමිසම කළ මූලික වැරැද්දක්. මේ වැරැද්දම ජනාධිපති තුමාත් කරනවා අර කතාවක් තියෙනවා නේ ගුරා ඇවිද ඇවිද කරද්දී ගෝලයෝ දුව දුවා කරනවා වගේ ඒ වැරැද්දම ජනාධිපතිවරයා විසිනුත් කරනවා . ඒ සම්බන්ධයෙන්නෝක්කාඩුවකුත් කියමින් එතුමන් විසින් ලිපිය ජනමාධ්‍යයට නිකුත් කරනවා. එහි සදහන් වන්නේ මගේ වැඩේ මම කළා දැන් ඔබේ වැඩේ ඔබ කරන්න කියා. එතැන තමයි මේ අවස්ථාවේ මේ තත්වය ගොඩ නැගෙන්නේ .

මේ වන විට මැතිවරණය පැවැත්විය යුතු දිනය ලෙස ජුනි 20 මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. මෙය මූලික නීතිය ලෙස ව්‍යවස්ථාවට පටහැනියි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ ව්‍යවස්ථාවට අනුකූලව එසේ නම් මැතිවරණ කොමිසම මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුවක් කැදවිය යුතුයි. එසේ නම් ජුනි 20ට මැතිවරණය පැවැත්විය යුතුය යන නව දිනයක් ප්‍රකාශ කළ විට ව්‍යවස්ථාව උල්ලංඝණය කොට තිබෙනවා. මැතිවරණ කොමිසම. සමහරු කියනවා එය ව්‍යස්ථාව උල්ලංඝණය කිරීමක් පමණක් නොවේ ජනාධිපතිවරයාගේ විධානයත් පසෙකට දැමීමක් සිදු කොට මේ දෙකම ශුන්‍ය බවට පත් වී පරණ පාර්ලිමේන්තුව කැඳවීමත් විධායකයේ විධානය ශුන්‍ය කිරීමත් කොට තිබෙනවා . ඒ නිසා මැතිවරණ කොමිසම මේ දෙකටම උඩින් කිහින් තමයි මේ ප්‍රකාශකිරීම සිදු කොට තිබෙන්නේ.
මෙතනදී මැතිවරණ කොමිසම ගැන විවිධ විවේචන තිබෙන්න පුළුවන් පොදුවේ. මගේ පුද්ගලික අදහස නම් ප්‍රජාතන්ත්‍රවාදය අරක්ෂා වීමට මැතිවරණය පැවැත්වීමට කොමිසම බැදි සිටිනවා කියන ස්ථාවරය පදනම් කොට ගෙන ව්‍යවස්ථාව උල්ලංඝණය වුනත් මැතිවරණය පැවැත්වීමට දිනයක් දිය යුතුමයි. එම දිනය ව්‍යවස්ථානු කූලද කියන එක මැතිවරණ කොමිසමට අදාළ නෑ. මෙවැනි තත්වයක් පවතින වකවානුවක ඒ කියන්නේ පාලනය කළ නොහැකි තත්වයක් දෙවියන් වහන්සේ මවපු තත්වයක් . එවැනි තැනකදී ව්‍යස්ථා උල්ලංඝණය වීම දෙස බලා ඉදල බෑ. ඒවා පරයා තීරණ ගත යුතුයි. එතැනදී සිදුකරන ක්‍රියාවලියේ චේතනාව පිරිසිදු විය යුතුයි. මැතිවරණ කොමිසමේ චේතනාව තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, රට ප්‍රජාතන්ත්‍රවාදි මාවතට ගෙනයාම, මේ කියන තැනට ගමන් කිරිමේදී තමයි ව්‍යවස්ථාව උල්ලංඝණය වෙන්නේ. එම නිසා මෙතනැදී මැතිවරණ කොමිසම හෝ සභාපතිවරයා චේතනාන්විතව වරදක් කරන්නේ නෑ . මොකද ඕනෑම රටක නීතියේ තිබෙනවා මනුස්ස මරණයකදි වුනත් චේතනාව තමයි පදනම් වෙන්නේ එම නිසා මෙහි චේතනාව නිවැරදි නිසා මෙය සාධාරණ තීරණයක් බව .

මෙවැනි අර්බුදකාරී තත්වයක් යටතේ ඒ කියන්නේ රටේ ව්‍යසනයක් පවතිනවා අනෙක් පැත්තෙන් දේශපාලන අර්බුදයක් පවතිනවා .. ඉතිං සාර්ථකම පිළිතුරක් ලෙස ගත හැකි ක්‍රියාමාර්ග සදහන් කළොත්..

මා මුලින් සදහන් කළ පරිදිම මේ වන විට පැන නැගී ඇති තත්වයන් තුළ අනිවාර්යයි දේශපාලන පක්ෂවල සමගිය.. ඇත්තටම මේ උද්ගතවන ගැටළු සියල්ල රටක් ලෙස ගොඩ නැගිය යුතු යැයි සිතා කටයුතු කරන්නේ නම් සියලු පක්ෂ එකතුව අර්බුද විසදාගත හැකි ක්‍රියාමාර්ග ගන්නේ නම් මෙය මේ තරම් බරපතල වන්නේ නෑ .. නමුත් අවාසනාවට අපේ පක්ෂ හෝ මේ දේශපාලනික ගොඩ නැගීම් ඒ සදහා වන නැමියාවත් සහිතව කටයුතු කරන්නේද යන්න ගැටලුවක් පවතිනවා.. මගේ පුද්ගලික අදහස වන්නේ මේ තත්වයන් සමගිව විසදා ගත හැකි බවයි.. කිසිවෙකු හෝ බොර දියේ මාළු බෑමට සූදානම් වෙනවා නම් .. ඇත්තටම මේ වන විට ව්‍යවස්ථා විරෝධී වන කරුණු කාරණා ප්‍රමාණයක් පසුකරමින් තමයි මේ ගමන යමින් තිබෙන්නේ.. තවදුරටත් මෙසෙ යාමට දීමෙන් කිසියම් ඒකාධිකාරීත්වයක් සදහා පාලන තන්ත්‍රයන් පල්ලම් බැසිය හැකි බවයි මගේ විශ්වාසය. එසේ වුවහොත් අපේ රටේ දේශපාලනය දැඩි අර්බුදයකට ලක් විය හැකියි. එම නිසාම මේ ව්‍යසනයක් පවතින තත්වයන් ගැන කල්පනා කොට සියලු ගැටළු විසදා ගත හැකි ඉමක් වෙත අප රටක් ලෙස යා යුතු බවටයි මගෙ විශ්වාසය.

සාකච්ඡා කලේ – තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *