අපි අසරණ වෙලා.. වතුරයි පානුයි සීමිතයි, මැද පෙරදිග අතරමං වූ ශ්‍රී ලාංකිකයෝ කියති.

මැදපෙරදිග රටවල සිටින ශී‍්‍ර ලංකිකයින් විශාල පිරිසක් කොරෝනා වෛරසය පැතිරයාමත් සමග දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

ඒ අනුව එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ සිරවී සිටින එක් ශී‍්‍ර ලංකිකයෙකු තමන්ට ඉදිරි සතිය සදහා ඇත්තේ පානීය ජල බොතල් හයක් සහ පාන් ගෙඩියක් පමණක් පවතින බව අප වෙත සදහන් කළේය.

විදේශ සබදතා අමාත්‍යංශය සදහන් කරන පරිදි එක්සත් ආරබි එමීර් රාජයේ ශී‍්‍ර ලංකිකයින් 5000 මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අතර කාටර් රාජ්‍යයේ 4000ක්ද සෞදි අරාබියේ 2000ක්ද මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියි.

එසේම මේ වන විට රටවල් 143 ශී‍්‍ර ලංකිකයින් 38,983 යලි දිවයිනට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවද එම අමාත්‍යංශය සදහන් කරයි.

එමෙන්ම එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සදහන් කර සිටියේ මෙරටට පැමිණීමට නොහැකිව සිරවී සිටින ශී‍්‍ර ලංකිකයින්ට අවශ්‍ය නවතාතැන් පහසුකම්, ආහාර, සහ සෞඛ්‍ය පහසුකම්ද ලබාදීමට සියලුම පියරව ගෙන තිබෙන බවයි.

කෙසේ වෙතත් අප වෙත අදහස් දක්වූ ශී‍්‍ර ලංකිකයින් සදහන් කර සිටියේ අබුඩාබි හී පිහිටි එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය තමන්ට එවැනි පහසුකමක් මේ වන තෙක් ලබා නොදුන් බවයි.
එසේම තමන්ට නවාතැන් පිළිබද ගැටලූ තිබෙන බවට තානාපති කාර්යාල නිලධාරීන් හමුවී දැණුම් දුන්නද ඊට නිසි පිළිතුරක් ලබා දීමටද තානාපති නිලධාරීන් අපහොසත් වුන බවට එම ශී‍්‍ර ලංකිකයින් සදහන් කළහ.

මෙම ඡායාරුපෙයන් දැක්වෙන්නෙ 9 දෙනෙකු මේ වන විට නැවතී සිටින කාමරයක් වන අතර අනෙක් ඡායාරූපෙයන් දිස් වන්නේ එක් අයෙකුට සතියකට ඇති පාන් සහ පානිය ජලයයි.

” අපි දැන් දවස් ගාණක ඉදන් පානුයි ජෑමුයි තුන් වෙල්ටම කන්නේ. ඒ වගේම ඉන්න තැනින් යන්න කියලා අයිතිකාරයා නිතරම අපිට බණිනවා. අපි මේ වෙලාවේ ගොඩක් අසරණ වෙලයි ඉන්නේ අපිව කොහොම හරි ලංකාවට ගෙන්වගන්න එච්චරයි අපිට අවශ්‍ය කරන්නේ,” යනුවෙන් ඔවුහූ අප වෙත සදහන් කළහ…..

සටහන – මාධ්‍යවේදී නුවන් සේනාරත්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *