මත් වෙමු, ආදරෙන්, මනුෂ්‍යත්වයෙන් – අසේල ජයකොඩි

සාමාන්‍ය මිනිස්සු කොහොමත් නීතියට බයයි. හැබැයි මේ ආර්ථික ප්‍රවාහය ඇතුලෙ ජීවත්වෙන එක හෙන පට්ට අමාරුයි. අන්න ඒ නිසාම මිනිස්සු පුරුදු වෙලා තියනව නීතිය නමන බලවතුන්ගෙ ගෝලබාලයො වෙන්න එහෙම නැත්තම් අතකොලු වෙන්න. මොකද එහෙම වුනහම ඒ මිනිස්සු හිතනව එතනින් තමන්ට ගොඩ යන්න පුළුවන් කියල. නීති විරෝධී වැඩක් කරල බේරෙන්න පුළුවන් කියල. ඔව් ඒක හරි බොහෝ වෙලාවට එහෙම දේවල් වෙනව.

ඔය කියන වටපිටාව නිසා ඇති වෙච්ච එක දෙයක් තමයි විෂ මත්ද්‍රව්‍ය රට පුරා මේ තරම් ව්‍යාප්ත වෙන්න හේතුව. ගණිකා මධ්‍යස්ථාන වුනත් යම්කිසි බලවතුන්ගෙ හෙවන යටතේ සිදුවෙනව කියන එක නොරහසක්. ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් වලදි පවා නීතිය නවන්න පසුබට නොවන ජරාජීර්ණ වැරහැලි පොරවගත්ත පෙර කියපු පිරිස සූදානම් බවද එවැනි අවස්ථා සිදුව ඇති බවත් අප පිළිගත යුතු කරුණක්.

සාධාරණය බලාපොරොත්තු වෙන අතලොස්සක් දෙනාට මේ අසාධාරණ පිළිවෙත තුළ කිනම් නම් සරණක්ද ? තවද පෙර කී විෂ මත්ද්‍රව්‍ය වේගයෙන් ව්‍යාප්ත වෙන සමාජය තුළ තරුණ තරුණියන්ට අනාගත පරපුරට කුමකින් කුමක් සිදු වෙයිද ?

වර්ථමානයේ උද්ගතව ඇති වසංගත තත්ත්වය තුළ රටේ අධ්‍යාපන ආයතන මුලුමනින්ම වහලා තියන වෙලාවේ සාමාන්‍ය ජන ජීවිතය කඩා වැටිල තියෙන මේ අවස්ථාවවෙ සුරාසැල් විවෘත කිරීම මොනතරම් දුරට ගැලපෙන්නේද යන්න පවා නොදන්නා සමාජයක ඔබයි මමයි ජීවත් වෙන්නෙ.

ඒ විතරක් ද අද වන විට ප්‍රකාශනයේ නිදහස පවා අඳුරු සෙවනැලි වලින් හිර කරල. මහලොකුවට සමරණ නිදහස ඇත්තටම තියනවද? මේ අවංක නිරවුල් නිදහස වෙනුවෙන් සටන් කරන හැම නියෝජනයක් ම හිර කරන්න උත්සුක වෙලා. හෙට මට ඒක වෙන්න පුළුවන්. මතක තියාගන්න අනිද්දට ඔබට, ඔබේ දරුවට වෙන්න පුළුවන්. එහෙම කලා කියල සටන නවත්වනවද ?

නෑ සහෝදරවරුනි….. නෑ…. මිනිස්සු මත් වෙන්න ඕන ඔව් ආදරයෙන් මනුෂ්‍යත්වයෙන් මත් වෙන්න ඕන…… අන්න එදාට ඔය නීතිය නවන අසමත්ජාතීන් අකුල ගන්නවා. හෘදෂාක්ෂියට එකඟව අවංක මිනිස්සු බිහිවෙලා නිදහස ලබන දාට ලෝකය ආදරයෙන් උතුරා යාවී…. මම ඔබව වැළඳගනීවි. ඔබ මට ප්‍රේම කරාවි….. ලෝකයම සුවපත් වේවි

සටහන :- අසේල ජයකොඩි කිතුල්ගල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *