අර්බුද කාලයක් නාස්ති කරගන්නව කියන්නෙ අර්බුදයට වඩා භයානක දෙයක්. – විදර්ශන කන්නන්ගර

ලෝක පරිමාණ ව්‍යසනයක් ඉදිරිපිට මේ සිදුවෙමින් තිබෙන්නේ ෆැන්ටසි පුපුරායාමක් ද ?..

කොරෝනා වසංගතය නිසා අපේ ජීවිත නාටකාකාරී විදියට ආපසු සකස් කරමින් තිබෙනව. අපගේ සමාජ ජීවිතයට අගුලු දැමීම්,සීමා පැනවීම් කොපමණ කාලයක් පවතීද කියන එකම අවිනිශ්චිතයි. ඊටත් වඩා කොවිඩ් ව්‍යාප්තිය නිසා අපගේ සමාජය හා සංස්කෘතියට වෙන දිගුකාලීන බලපෑම තවමත් හරියටම ගණනය කරන්න අමාරු තරම්. මේ වෛරසය දැන් අපගේ දෛනික ජීවිතයේම කොටසක් වෙලා .සමහර විට ඵලදායී ප්‍රතිකාරයක්,එන්නතක් යම් කාලයකින් සොයා ගනීවි. එහෙත් මෙයින් අපගේ ගෝලීය ශිෂ්ටාචාරයට වන බලපෑම ඉතාම තීරණාත්මකයි. යථා තත්වයට පත් වීමේ බලාපොරොත්තු තිබුණත් අපට මුණගැහෙන්නට නියමිත කලින් ජීවත් වූ ලෝකය නෙවෙයි. දශක ගණනාවක් තිස්සෙ නරක අතට හැරුණු ලෝක ක්‍රමයක ව්‍යුහාත්මක අර්බුදය තමයි මේ වසංගතය විසින් අපට වේගයෙන් මුණගස්වමින් තියෙන්නෙ. ආර්ථික අසමානතාවය, බරපතල පාරිසරික විනාශය හා ප්‍රාග්ධන දේශපාලනයේ දූෂණය කියන ධනවාදී ශිෂ්ටාචාරයේ මාරාන්තික වසංගත තමයි කොරෝනා වේශයෙන් අපි මත මේ කඩා වැටිල තියෙන්නෙ. ධනවාදී ලෝක ආර්ථිකය තුළ වන විශාල කඩාවැටීම විසින් පසුගිය සියවසේ දෙවන දශකය අග ඇරඹුණු මහා අවපාතයටත් වඩා තත්වය බරපතල වෙන්න නියමිතයි. ධනවාදී උතුරු ගෝලයට වඩා වසංගතයේ බලපෑම දකුණු අර්ධ ගෝලය කරා සීඝ්‍රයෙන් කඩාවැදුනොත් විනාශයේ තරම උපකල්පනය කරන්නත් බැරි තරම්.

ඇත්තටම ලෝක ධනේෂ්වර ක්‍රමයට මේ වසංගතය ජයගන්න පුළුවන් වෙයිද ?

පැහැදිලිවම නව ලිබරල්වාදයේ විජයග්‍රාහී නිවේදනය මතු කෙරුණු 90 දශකය වෙනුවට අද පෙනෙමින් ඇසෙමින් තියෙන්නෙ එම ව්‍යාපෘතියේ පරාජිත කෙදිරිය. 1970 දශකය වෙනතුරු පශ්චාත්-යුධ ලෝකය තුළ රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායයන් අතර පැවතුනේ නොසන්සුන් සමතුලනයක්. කලක් තිස්සේ ආර්ථික දේශපාලනය මුහුණ දුන් එකතැන පල්වීමත් ආසන්න තෙල් අර්බුදයේ කම්පනයන් ආදියෙනුත් තමයි 70 දශකය තුළ ‘නව ලිබරල්වාදය’ කරළියට එන්නෙ. එතැන් පටන් ගෝලීය ප්‍රධාන ධාරාව ක්‍රමයෙන් සිය අණසකට ගන්න එහි දේශපාලන-ආර්ථික වැඩසටහනට හා එහි දෘෂ්ටිවාදී ව්‍යාපෘතියට හැකිවෙනව. සීමාරහිත නිදහස් වෙළදපොළ, ගෝලීය වෙළදපොළ ක්‍රමයක් වෙනුවෙන් රාජ්‍යය අතාර්කික කිරීම,සමාජ සුබසාධනය කප්පාදු කිරීම,සමාජ ආරක්ෂණ ජාලයන් දුර්වල කිරීම,සංවිධානාත්මක ශ්‍රමයේ බලය කඩා බිද දැමීම තමයි මේ නව ලිබරල්වාදය අනුදත් වැඩ කිඩ ටික.. අන්ත පුද්ගලවාදය, ආත්මාර්ථය, භාණ්ඩකරණය තුළ ගිලීයාම, ගිජු පරිභෝජනවාදය,පරිසරය හා ජෛව ගෝලය පවා ලාභ තර්කණයක් බවට පත් කිරීම තමයි මෙම නව ලිබරල්වාදයේ වටිනාකම් වුනේ.’ නව ලිබරල්වාදයට විකල්පයක් නැත’ ,’පුද්ගලයා මිස සමාජයක් නැත’ වැනි අහංකාර වාගාලංකාරයන් තමයි මෙම ව්‍යාපෘතියේ පුරෝගාමීන් දෙසා බෑවෙ..  90 දශකයේ මුල කොමියුනිස්ට් රාජ්‍ය පද්ධතිය ඇතුළු ලෝක සමාජවාදී කදවුර බිදවැටුනට පස්සෙ මේ නව ලිබරල්වාදයේ විරුවන් ප්‍රීති ඝෝෂා කරල ජය කෙහෙළි නැංවුව. දැන් තමන්ගේ ඉතිහාසය විතරයි ඉදිරියට තියෙන්නෙ කියල..

 

ඇත්තටම නව ලිබරල්වාදයේ ඊනියා විජයග්‍රහණය විසින් මොකක්ද අන්තිමට ලෝකයට දායාද කරල තියෙන්නෙ ?.. විශාලතම අසමානතාවයක්.. ලෝකයේ ධනවත්ම පුද්ගලයන් විසි හය දෙනෙකු මුළු ලෝක ජනගහණයෙන් අඩකට වඩා ධනය තමන් සතු කරගෙන තියෙනව. ලාභය හා ආර්ථික වර්ධනය නොනවත්වා ලුහුබැදීම නිසා මානව ශිෂ්ටාචාරයම භයානක මාවතකට ඇදල දාල තියෙනව.පාලනය කළ නොහැකි දේශගුණික අර්බුදය තමයි වඩාත්ම පැහැදිළිව පෙනෙන අන්තරාය. පෘථිවියේ වනාන්තර, සතුන්, කෘමීන්, මාළු, මිරිදිය, බෝග වගාවට අවශ්‍ය මතුපිට පස් ඇතුළු ස්වාභාව ධර්මයේ සම්පත් ධාරිතාවය වේගයෙන් ක්ෂය කරල දමමින් තියෙනව.2017 දී රටවල් 184 ක විද්‍යාඥයන් පහලොස් දහසකට ආසන්න පිරිසක් මානව වර්ගයාට අනතුරු ඇගවීමක් කළා.’අපගේ අසාර්ථක ගමන් මගෙන් ප්‍රමාද නොවී ඉවත් විය යුතු’ බව තමයි ඔවුනගේ මූලික පණිවිඩය වුනේ.’මෙම බරපතල ගෝලීය ආපදාව වළක්වා ගැනීම සදහා සමාජයේ සෑම අංශයකම වේගවත්,දූරදර්ශී හා පෙර නොවූ විරූ වෙනස් කම් අවශ්‍ය කර ඇති බව’ එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් යුත් අයිපීසීසී ය විසින්ද නිවේදනය කරමින් තිබුණා.. නව ලිබරල්වාදය විසින් උරුම කෙරුණු මේ ආපසු හැරවිය නොහැකි වූ ප්‍රතිවිපාකයන්ගේ යුගයක් මැදට තමයි මේ කොරෝනා වසංගතය දැන් කඩා වැටිල තියෙන්නෙ..

ලෝකයේ පාලන ක්‍රමයන්මේ ආපදාව සම්බන්දයෙන් මොන ක්‍රියාමාර්ගද ගනිමින් තියෙන්නෙ.? අලුත් ප්‍රතිචාර හා වෙනස් කම් මොනවාද ?

දැනටමත් ලෝකයේ පාලන තන්ත්‍රයන් බොහොමයක් මෙම අර්බුදය ගසාකමින් අධිකාරීවාදයක් කරා වේගයෙන් ඇදී යන්නට සැරසෙන බවක් පේනව. හංගේරියාවේ පාලක වික්ටර් ඕර්බන් මේ වනවිටත් හදිසි නියෝගයකින් රට පාලනය කිරීමට ඔහුට ඉඩ සලසන පනතක් සම්මත කරගෙන තියෙනව. ව්‍යාජ තොරතුරු පතුරුවා හැරියාය කියන චෝදනාව මත ඔහුගේ ඉලක්කය වූ අයව වසර පහකට සිරගත කරමින් තිබෙනව. ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු දූෂණය සම්බන්ද තමාගේම නඩු විභාගයකින් වැලකෙන්න රටේ අධිකරණ වසා දැමීමක් කළා.ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව හදිසි අවස්ථාවලදී අධිකරණ කටයුතු අත් හිටුවීමට අවසර දෙන ඉල්ලීමක් ඉදිරිපත් කරල තියෙනව. යුධ නීතිය ස්ථාපනය කිරීම හා නොවැම්බරයේ පැවතීමට නියමිත මැතිවරණයට ගේමක් ගහන්න ට්‍රම්ප් උත්සාහ කරනවාදෝ වැනි බියක් මේ වන විට ඇමරිකාව තුළ හොල්මන් කරනව. ඉන්දියාවේ මෝඩිගේ පාලනය මේ හදිසි තත්වයට මුවා වී කාෂ්මීර ජනයා කෙරෙහි සිය යුධ මර්දනය දියත් කරන්න කැසකවන බවක් පේනව. ඒ විතරක් නෙවෙයි ඉන්දීය මුස්ලිම් ඇතුළු සෙසු ජනවර්ග මත සිය හින්දු රාෂ්ඨීය ව්‍යාපෘතියේ මර්දන හස්තය තව දුරටත් දිගු කරන්න මෝඩිගේ පාලනය විසින් මේක අවස්ථාවක් කරගනිමින් තියෙනව.. ලංකාවේ ගෝඨාභය පාලනයත් මේ වනවිට ගණන් බලමින් තිබෙන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනික සම්ප්‍රදාය අපහරණය කරමින් වත්මන් මැතිවරණ අර්බුදය තමන්ට වාසිදායක ලෙස කළමණාකරණය කරමින් ඉදිරියේදී අධිකාරිවාදී පාලන තන්ත්‍රයක් සහතික කරගැනීම ගැනයි. ඒ සම්බන්දව සිය ප්‍රචාරක මෙහෙයුම් ගෝඨා පාලනය විසින් සක්‍රීය කරමින් තිබෙනව.

ඒ එක්කම ලොව පුරා අධි තාක්ෂණික සුපරීක්ෂණයන් වල වර්ධනයක් මෙම කොරෝනා පසුබිම තුළ නිර්මාණය වෙමින් තියෙනව. කොරෝනා වෛරසය ආසාධනය වූ අයගේ සම්බන්ධතා සොයා ගැනීමට ස්මාර්ට් තාක්ෂණික මෙහයවීම් පද්ධතීන් නිර්මාණය කිරීමේ දිහාවට රටවල් ගමන් කරමින් ඉන්නව.. යුරෝපීය ජංගම දුරකථන ක්‍රියාකරුවන් තමන් මෙතෙක් නිර්මාණය කරල තියෙන පරිශීලක දත්ත අදාළ රජයන් සමග සම්බන්ධීකරණය කරමින් තියෙනව. යුවල් හරාරි කියන විදියට මේ කෙටිකාලීන හදිසි පියවරයන් පශ්චාත් කොවිඩ් ලෝකය තුළත් ජීවිතයේ සාමාන්‍ය අංගයයක් විදියටම පත්කෙරෙයි.

නව ලිබරල් යුගයේ එක් නිශ්චිත ලක්ෂණයක් තමයි නිදහස් වෙළදපොළ සම්මතයන් නිසා විඛාදනය වූ ගෝලීයකරණයක් පැවතීම.ජාත්‍යාන්තර මූල්‍ය තාක්ෂණික සංස්ථාවන් විසින් රටවල් වලට විවිධ නියමයන් පනවනව..  ගෝලීය ආර්ථික තරගය වෙනුවෙන් ලාභ ශ්‍රමය හා වැඩකරන ජනතා අයිතීන් කප්පාදුවට ලක් කෙරෙනව. ජාතික රාජ්‍යයන්ගේ ආණ්ඩුකරණය සිදුකරන ප්‍රභූ ආර්ථික බලාධිකාරයන් විසින් තමයි එවැනි ආර්ථික මර්දනයක් වැඩකරන පොදු ජනතාව මත දියත් කරන්නෙ.අනෙක් අතට දැවැන්ත පරිභෝජනයක් නාමයෙන් අතිරික්ත භාණ්ඩකරනයක් නව ලිබරල් ගෝලීයකරණය විසින් මේ රටවල පොදු ජනයා මතට කඩා වද්දනව. විශේෂයෙන්ම ගෝලීය දකුණට. ඉන් පැනනගින දැවැන්ත ක්‍රය ශක්ති අර්බුදයත් එක්ක වංකගිරියක් වැනි ණය-මූල්‍ය ව්‍යසනයකට මේ ජනතාව ඇද දැමෙනව.නොනිමි අසමානතා ගින්නක මේ පොදු ජනයා පැසවනව. බරපතල ආන්තිකකරණයකට ලක් කෙරුණු මේ ජනතාවගේ කළකිරීම් හා දුක්ගැනවිලි නැවත සිය බලය සදහා දක්ෂිණාංශික ජනතා-ජනප්‍රියවාදීන් විසින් ආයෝජනය කෙරෙනව. අධිපති වාර්ගික-ආගමික ජාතිවාදී උත්සන්නීන් තමයි මෙහි ක්ෂණික ප්‍රතිඵලය. සුළුතර වාර්ගික-ආගමික කණ්ඩායම් හා සංක්‍රමණියන් ඉලක්ක කර දියත්වෙන ප්‍රචණ්ඩත්වයේ සැබෑ මූලය තියෙන්නෙ ඔන්න ඔතනයි.

මේ නිශේධනීය අත්දැකීම් විතරද තියෙන්නෙ ? නව චින්තනමය පරිවර්තනයකට මාවතක්, වෙනත් පෙළගැසීමකට ඉඩක් නැද්ද ?

පැහැදිලිවම තියෙනව. මෙම වෛරසය නිසා ගෝලීය නව ලිබරල් සම්මතයන් අභියෝගයට ලක් වෙලා තියෙනව.එමගින් ගෝලීය ශිෂ්ටාචාරයේ මූලික ව්‍යුහයන් යළි සකස්කිරීමක් ඉල්ලා සිටිනව. අධිකාරිවාදී පාලනයන් හා සෝදිසි කිරීම් වලට ලෝකය විවර වීමට තියෙන ඉඩ වගේම ඒ සීමාවන් ඉක්මවා යා හැකි මහජන සාමූහික ප්‍රතිචාරයක් මතු වීමට ඉඩක් නැද්ද ?. නව මානුෂීය ලෝකයක් කරා වන පුනරුදයකට මේ අවස්ථාව ඉඩ හසර විවර කරන්නෙ නැති වෙයිද ?..එවැනි වියහැකියාවක් ගැන ඉගි කෙරෙන චායාමාත්‍රයන් නැතුව නෙවෙයි. එයින් සමහරක් ලකුණු කරන්නත් පුළුවන්..

රැකියාවන්ගෙන් දොට්ට දැමීම් හා විරැකියාව පිළිබද බිය යම් දුරකට සමනය කිරීමට රාජ්‍ය මැදිහත් වීම් මේ වනවිට දක්නට ලැබෙනව.පෞද්ගලික සමාගම් වල සේවකයන්ගේ වැටුපෙන් 75%ක් ගෙවන්න ඩෙන්මාර්කය සැලසුම් කරනව. බ්‍රිතාන්‍යය 80% ක වැටුප් ආවරණය කිරීමට සමාන සැලැස්මක් ප්‍රකාශයට පත් කරල තියෙනව. කැලිෆෝනියාවේ වීථිවල රැදී සිටින නිවාස නැති අයට නවාතැන් දීම සදහා හෝටල් බදු දීම් හා නිවාස හිමියන් විසින් කුලී නිවැසියන් ඉවත් කිරීම් වැලැක්වීමට පලාත් පාලන ආයතන වලට බලය දීල තියෙනව. ස්පාඤ්ඤය තමන්ගෙ පෞද්ගලික රෝහල් ජනසතු කරමින් ඉන්නව. ඇමරිකාවේ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයන් විසින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ වැඩසටහනක ප්‍රධානතම අංගයක් බවට ‘හරිත නව ගණුදෙනුව’ පිළිබදව අවධාරණය කරනව. මෙවැනි උදාහරණ ගොඩක් ලෝකය පුරාම දක්නට ලැබෙනව.

ඊටත් වඩා මේ ආපාදාව විසින් නව සාමූහික ප්‍රතිචාරයන් නිර්මාණය කෙරුණ. දයානුකම්පිත ප්‍රජාවක ලක්ෂණ අඩුවැඩි වශයෙන් ප්‍රකට කෙරුණ. පෘථිවිය පුරාම විහිදුණු මානව සේවා සම්බන්ධීකරණයක් මේ වසංගතය හරහා ඉගි කරනවා විය හැකියි. ප්‍රාදේශීයව සැපයුම් මාර්ග බිදවැටුණු මිනිස්සු තමන්ගේ දෛනික අවශ්‍යතා සදහා ප්‍රාදේශීය නිෂ්පාදකයන් හා බෙදාහරින්නන් වෙත යොමු වීමක් දක්නට ලැබුණා. අන්තර්ජාලය හරහා වීඩියෝ රැස්වීම් වලින් මිනිස්සු වැඩි වැඩියෙන් අන් අය සමග සම්බන්ද වෙන්න පුරුදු වුනා. ලෝකයේ අනෙක් පැත්තේ සිටින කෙනෙකු තමන්ගේ ගමේ නගරයේ ඉන්න කෙනෙකුට වඩා සමීපව දකින්න මේ තාක්ෂණික මුණගැසීම් වලින් හැකිවෙනව. නව අදහස් හා චින්තන ක්‍රමයන් පිළිබද ගෝලීය උනන්දුවක් ජනතාව තුළ ඇතිකරන්න මේ ආපාදා තත්වය අනියම් වැඩ කොටසක් කරනව වෙන්න පුළුවන්.. විශේෂයෙන්ම මහජන සෞඛ්‍යය හා ගෝලීය මිනිසාගේ ජීවිත ආරක්ෂාව කෙරෙහි විද්‍යාත්මක පර්‍යේෂණ මොනවද ?..නව සොයාගැනීම් මොනවද ? කියන අවධානයක් ඇති වෙලා තියෙනව.අපි ජීවත් වෙන්නෙ නිරෝධායන මානසිකත්වයක, ශාරීරික දුරස්ථකරණයක හා ජාතික රාජ්‍යයන්ගේ ප්‍රාදේශීය සීමාවක තමයි.ඒත් අර කලින් කියපු ජීවිත ආරක්ෂාව පිළිබද උනන්දුව හා සහතිකය වෙනුවෙන් ගෝලීය සමාජයක් දෙස බලා ඉදීමේ යම් නැඹුරුවක් මේ වසංගතය නිසා මිනිස්සු තුළ නිර්මාණය වෙලා තියෙනව. ප්‍රතිකාරයක් සොයා ගන්න තියෙන සෞඛ්‍ය විද්‍යාත්මක මැදිහත්වීම් වල යම් සාමූහික ප්‍රයත්නයක් හදුනාගන්න පුළුවන්. මහජන සෞඛ්‍යය පැත්තෙන් යම් විදියක ගෝලීය සහයෝගීතාවයක අපේක්ෂාවක් කියලත් මේක හදුන්වන්න පුළුවන්. .ස්ලේවොයි ශිශෙක් මේ අදහස දක්වල තියෙනව.

ආපදා කලාපවල යම් මහජන සහනුකම්පනයක් පෘථිවිය පුරා ව්‍යාප්ත වෙමින් තියෙනව නිරීක්ෂණය කරන්න පුළුවන්. අවශ්‍යතා ඇති අයට උපකාර කරන්න ප්‍රජාවන් ඇතුළෙ යම් ආකාරයක අන්‍යෝන්‍ය උපකාර ක්‍රම පිහිටුවා ගෙන තියෙනව. අපි හුදෙකලා වෙලා හිටියට එක මිනිස් ප්‍රජාවක් කියන හැගීම අපිව අවදි කරනව වෙන්න පුළුවන්..’ සමාජ දුරස්ථභාවයක්’ කියනවාට වඩා ‘භෞතික දුරස්ථභාවයක්’ කියල මේ තත්වය නම් කරන්න පුළුවන්.

මනුෂ්‍ය ප්‍රජාවක තියෙන වටිනාකම් නැවත සොයාගැනීමේ දිශාවකට ඊළග යුගය ගමන් කරයිද කියන විවෘත ප්‍රශ්නය තමයි කොරෝනා විසින් අප ඉදිරියට ගෙනත් තියෙන්නෙ.’සමාජය වැනි දෙයක් නොමැත. ඇත්තේ තනි පුරුෂයන්, ස්ත්‍රීන් හා පවුල් පමණකි’ කියල කියපු මාග්‍රට් තැචර්ලාගේ නව ලිබරල් ශික්ෂා පදයන් අභියෝගයට ලක් වෙලයි දැන් තියෙන්නෙ. සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය හා මනුෂ්‍ය නිදහස ගැන අලුත් කතාවක් ලියන්න කොරෝනා විසින් අපට නතර වූ කාලයක් දීල තියෙනව. ගෝලීය ශිෂ්ටාචාරයේ පදනම ධනය තහවුරු කිරීමද ?.. නැතිනම් මනුෂ්‍යයා ඇතුළු ජෛව ගෝලයේ ජීවමාන රැකවරණයද? කියන ප්‍රශ්නය තමයි තීරණාත්මක විදියට මේ වසංගතය විසින් අපෙන් අසමින් තියෙන්නෙ. ඒ ප්‍රශ්නයට ලැබෙන පිළිතුර මතින් පෘථිවියේ හා මානව වර්ගයාගේ අනාගතය තීන්දු වේවි. මේ ව්‍යසනය සෑම මිනිසෙකුටම අවස්ථාවක් දීල තියෙනව ලෝකය වෙනුවෙන් අර්ථවත් කාර්‍යභාරයක් ඉටු කරන්න. අර්බුද කාලයක් නාස්ති කරගන්නව කියන්නෙ අර්බුදයට වඩා භයානක දෙයක්..

මේ සියල්ල මැද්දෙ වාමාංශය අනාථ වෙලාද ?..හරි තැනින් වම වැඩේ අල්ල ගෙන තියෙනවද ?.. විශේෂයෙන්ම ප්‍රායෝගිකව

අද දවසේ වාමාංශයට අවශ්‍ය මේ සියවසට ගැලපෙන නව විකල්පයක්. පැරණි කොමියුනිස්ට්වාදයේ අභාවවාචී අත්දැකීම් හා ඒ කාලයේ ගතානුගතික න්‍යායන් යළි පුනරුච්චාරණය කිරීමේ තේරුමක් නැහැ. සමාජවාදය සදහා වන අලුත් ලෝක දැක්මකට කොරෝනා ආපදාව යානයක් කරගන්නෙ කොහොමද කියන එකට වාමාංශය තීක්ෂණව අවධානය යොමු කරන්න අවශ්‍යයි.ගෝලීය විකල්පයක් කියන්නෙ මොන වගේ දෙයක්ද කියල සිතා බලන්න මේක අවස්ථාවක්.කලින් කිව්ව වගේම මේ හදිසි අවස්ථාව මැද්දෙ මිනිස්සු මූලික ආහාර දුප්පත් අසල්වැසියන් හා කණ්ඩායම් වෙත සපයනව.බෙදාගන්නව.. නිදහස් සෞඛ්‍ය සේවයට විශාල සුජාතබවක් ලැබිල තියෙනව.සමාජ අධාර ක්‍රම වලට අන්තර්ජාලය හරහාම විකල්ප ක්‍රම අත්හදා බැලෙනව. අහාර සැපයුම් සමාජගත කිරීමේ නව සාමුහික මාදිලීන් අත්හදා බලමින් ඉන්නව. රැකියා අහිමි වූ, සංචලනය සීමා වූ ජනතාව සුරක්ෂිත කරගැනීම ගැන ජනතාව අතරම කතාබහක් මතුවෙලා තියෙනව. ධනේෂ්වර ප්‍රභූ පාලන තන්ත්‍රයන්ට පවා මේ පොදු මහජන ඉල්ලීම් වලට අහක බලන්න බැරි හදිසි තත්වයක් තමයි පැන නැගිල තියෙන්නෙ. දක්ෂිණාංශය විසින් ධනවාදී පංති බලය යළි පිහිටුවන්න තරග වදින්නෙ නැහැ කියල නෙවෙයි මින් කියැවෙන්නෙ. ඒත් ධනේෂ්වරයේ එම තරගය පවා අවසග වෙච්ච අතුරු කාලයක තමයි සාමාන්‍ය ජනතාව අතර සාමුහික සිතීමකට බල කෙරිල තියෙන්නෙ. ධනවාදී ගෝලීයකරණයට එරෙහිව ගෝලීය සාධාරණ සමාජයක් සදහා ‍යම් අයැදුමක් මතු කෙරෙමින් තිබෙන මේ අවස්ථාව නව සමාජවාදී පරිකල්පනයක් දිහාවට ඔසවා තැබීම තමයි මේ මොහොතේ ලෝකය පුරා විහිදුණු වාමාංශික අක්ෂයන් විසින් කළ යුතු දේ. ඒ සදහා පෘථිවියේ විවිධ වාමාංශික සංවිධාන හා ප්‍රවනතා අතර අන්තර් සහයෝගයක් පවත්වා ගැනීම ඉක්මන් අවශ්‍යතාවයක් වෙනව. ඒ සමගම ගෝලීය මිනිස් වර්ගයා හා ජෛව පරිසර ගෝලයේ තිර පැවැත්ම අතර නව සම්මුතියක් ගැන අලුත් කතිකාවක් වමට අවශ්‍යයි. ගෝලීය පොදු මනුෂ්‍යන් අතර වන අන්තර් සහයෝගයක් ගැන ලොව පුරා මතු වෙමින් ඇති අවධානයට පුළුල් විශ්වීය ආමන්ත්‍රණයක් කිරීමයි මේ මොහොතේ වාමාංශය විසින් කළ යුත්තේ. වාමාංශය කියන්නෙම ආර්ථික අයුක්තියට, සමාජ අසාධාරණයට,විගලිත බාවයට හා ආන්තික පීඩිතභාවයට පත් වුණු ගෝලීය ජනතාව වෙනුවෙන් පක්ෂපාතී වීම තමයි. ඒ ජන බහුත්වයේ විමුක්තිය තමයි වාමාංශයේ සුවිශේෂී අරගලය. ඒ එක්කම ගෝලීය සකල මනුෂ්‍යයාගේම පැවැත්ම පිළිබද දැවැන්ත අර්බුදයක් මේ ආපදාව විසින් මුණගස්වා ඇති බවත් වාමාංශය කිසිසේත්ම අමතක නොකළ යුතුයි. ගෝලීය ධනවාදී යථාර්තය ජීවමානව තියෙන්නෙ ගෝලීය මිනිස් වර්ගයා පිළිබද ෆැන්ටසියක් අපයෝජනය කරමින්. දැන් ඇවිල්ල තියෙන්නෙ ඒ ෆැන්ටසික යථාර්තයේ දැවැන්ත පැල්මක්.. ඒ නිසා පොදු මනුෂ්‍ය වර්ගයාගේ හා පෘථිවි ගෝලයේ විමුක්තිය පිළිබද නව සාර දර්ශනයක් හරහා තමයි ධනවාදී ගෝලීයකරණය පිළිබද ෆැන්ටසිය තරණය කරන්න පුළුවන් වෙන්නෙ. ගෝලීය නිර්ධන පංතියේ සුවිශේෂී විමුක්තිය හා සකල ගෝලීය මිනිස් සමාජයේ විශ්වීය විමුක්තිය අතර සන්ධිකරණයක් පරිකල්පනය කරන්නෙ කොහොමද ?. ඒක තමයි නව වාමාංශය ඉදිරිපිට ඇති දිදුලන මාවත. මේ අනිශ්චිත මොහොත තමයි ඒකට වෙලාව.

සාකච්ඡා කළේ  – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *