ඉන්දියාවේ විෂ වායු කාන්දුවකින් 13ක් මරුට

ඉන්දියාවේ රසායනික කම්හලක සිදු වූ විෂ වායු කාන්දුවක් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 800 දෙනෙකු රෝහල් ගත කර තිබේ.  දකුණු ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකාපට්ටම් නගරයේ පිහිටි එල්.ජී. පොලිමර්ස් නැමැති කම්හල ආශ්‍රිතව මෙම වායු කාන්දුව සිදුවී තිබේ.

ශීතකරණ කටයුතු සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන ස්ටයිරීන් (Styrene) නැමැති වායුව මෙලෙස කාන්දුවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පසුගිය මාර්තු 24 දින ඉන්දියාව ලොක් ඩවුන් ක්‍රියාවලියට අවතීර්ණ වීමත් සමඟ වසා දැමුණු මෙම කර්මාන්තශාලාව නැවත විවෘත කිරීමේදී මෙම වායු කාන්දුව සිදුවන්නට ඇතැයි සැක කෙරේ.

අද (මැයි 07) එරට වේලාවෙන් පෙ.ව. 3.00ට පමණ මෙම වායු කාන්දුවීම ඇරඹී ඇති අතර ඒ වනවිට ප්‍රදේශවාසීන් නින්දේ පසුවූ බවද මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. ගෑස් පැතිරීමත් සමඟ ප්‍රදේශවාසීන් බියපත්ව තම නිවෙස්වලින් ඉවත්ව මං මාවත්වලට පිවිසුනු ඔවුන්ගෙන් ඇතමෙක් සිහිසුන්ව ඇදවැටී ඇති අයුරු දැක්වෙන සංවේදී ඡායාරූප මේ වනවිටද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වේ. කර්මාන්ත ශාලාව පිහිටි ස්ථානයේ සිට සැතපුම් දෙකක පමණ අරයකින් යුත් ප්‍රදේශයක් පුරා මෙම විෂ වායුව පැතිරී ඇත.

මේ වනවිට වායු කාන්දුව පාලනය කිරීමට හැකි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද දිනයේ හදිසි ආපදා රැස්වීමක්ද කැඳවා තිබිණි.

මෙයට වසර 36කට පෙර, 1984 දී ද ඉන්දියාවේ බෝපාල් නගරයේ පළිබෝධ නාශක නිපදවූ කම්හලක විෂ රසායන කාන්දුවක් හේතුවෙන් දහස් ගණනක් මියගිය අතර එය මෙතෙක් ලෝකයේ සිදුවූ දරුණුම කාර්මික ව්‍යසනය ලෙස සැළකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *