චැනල්වල රේටින් උස්සගැනීමට, ජරාව නිවුස් කරන ම්ලේච්ඡත්වය පැරදවිය යුතුයි – මාධ්‍යවේදී සඳුන් ප්‍රියන්කර විතානගේ

 ” ලෝකයේම මිනිසුන් කොරෝනා වෛරසය හමුවේ අවධානමකට ලක්ව, රටින් රට මිනී කඳු ගොඩ ගැසෙද්දී, මීට අදාළව ලෝක මහා බලවතුන්ගේ බොහෝ ක්‍රියාකාරීත්වයන් වාර්තා නොවන සහ වාර්තාවීම වළක්වා ඇති වටපිටාවක අද (03) ලෝක ජනමාධ්‍ය දිනය සැමරීමට සිදුව ඇත. ලංකාවේද ජනමාධ්‍ය කාර්යය භාර්යය අනේකවිධ ලෙස ප්‍රශ්න කිරීමට ලක්ව ඇති වටපිටාවක භාෂණයේ නිදහස යන්න වචන මාත්‍රයකට සීමා වී ඇත. මෙකී ගැටළු හා භාෂණයේ නිදහස සම්බන්ධව කථිකාවකට මෙවර lankatarget.com සමග තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ උප ලේකම් මාධ්‍ය වේදි සඳුන් ප්‍රියංකර විතානගේ එක්විය. මේ ඔහු දැක්වූ අදහස්.. “

වසංගත තත්වයක් යටතේ සියලු අංශ දැඩි ක්‍රියාවලියක නියැළෙද්දී ඔබ සංගමය භාෂණයේ නිදහස ඉල්ලා විරෝධතාවක් දියත් කරනු ලැබුවා. එහි පදනම මොකක්ද?

කොරෝනා වසංගතය කියන්නෙ නූතන ලෝකයේ පෙර නොවූ විරූ තත්වයක්. සෞඛ්‍ය අංශ ප්‍රමුඛව වසංගත තත්වයකදි වඩා මැදිහත් විය යුතු අංශ සේ ම නිවසේ සිට අසීරුතා දරාගෙන සිටි සහ තවමත් සිටින අය දක්වා මේ තත්වය පාලනය කරගන්න කැප කිරීම් කරනවා. අපි ඔය කියන විරෝධතාවයෙදිත් කිව්වා, අදත් කියනවා, කොරෝනා පාලනය කර ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ආණ්ඩුව ගන්න සෑම ක්‍රියාමාර්ගයකටම අපි සහයෝගය දෙන බව.

නමුත් කොරෝනා මර්දනයට මුවා වෙලා මූලික මිනිස් අයිතිවාසිකම් මර්දනයට ආණ්ඩුව හෝ වෙනත් ආයතනයක් උත්සාහ දරනව නම් ඒකට විරුද්ධ වෙන්නත් අපි දෙපාරක් හිතන්නේ නැහැ. විරෝධතාවය පිළිබඳ අවශ්‍යතාවය මතු වෙන්නෙ අප්‍රේල් 01 වැනිදා ( නිවේදනයට අදාළව උත්ප්‍රාසාත්මක දවසක්) වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයක් ලෙසින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයත් එකී නිවේදනයට අනුකූලව පොලිසිය විසින් කරන ලද අත්අඩංගුවට ගැනීම් 17ක් සමඟ. ඔවුන්ගේ නිවේදනයෙ සඳහන් වෙලා තිබුණා රාජ්‍ය නිලධාරීන්ගේ සුළු අඩුපාඩු විවේචනය කරන අයවලුන් අත්අඩංගුව ගන්නා බව. මේ ප්‍රකාශය අනීතික සහ අවිද්‍යාත්මක එකක්. අවිද්‍යාත්මක වෙන්නෙ අඩුපාඩුවල සුළු සහ විශාල බව මනින නිර්ණායකය මොකක්ද කියන කාරණේදි. අනීතික වෙන්නෙ මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිඅරන් තිබෙන ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන නිසා. අප ක්‍රියාකාරී වන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මේ ගැන වහාම ලිපියකින් මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නා. ඒ අතර අත්අඩංගුවට ගැනීම් ගණනාවක් සිදු කෙරුණා. මානව, සමාජ, දේශපාලන, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් නිවෙස්වලට සීමා වුණ ලද අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව අදහස් මර්දනයට සූදානම් වෙන බවක් ඒකෙන් පෙන්නුම් කළේ. සමාජ මාධ්‍ය හරහා වීඩියෝ නිකුත් කරමින් විරෝධය පළ කරන්න ප්‍රකාශනයේ නිදහස උදෙසා එකමුතුව සංවිධානය තීරණය කළේ ඒ අනුව. ඒක සෑහෙන සාර්ථක විරෝධයක් බවට පත් වුණා.

බොහෝ දෙනෙකු පවසනවා ඒ අත්අඩංගුවට ගත්ත පිරිස් පදනමකින් තොරව මේ ප්‍රචාරණයන් සිදු කළ බවට හා අන්තගාමී උසිගැන්වීම් සඳහා ඒවා ක්‍රියාකළ බව..

කාලයක පටන් මේ රටේ විකල්ප මතයක් දැරුවම ඒක බිල්ලෙක් බවට පත් කිරීමේ ප්‍රවණතාවක් තියෙනවා. අත්අඩංගුවට ගැනීම් ගැන වැඩිදුර කීමට හැකියාවක් නෑ අධිකරණ කටයුතු නිසා. නමුත් මේ අත්අඩංගුවට ගැනීම් අතර සමහර ඒවා නම් අන්තවාදී ඉල්ලීම් වෙනුවෙන් කළ ඒවා බව පෙනෙන්නට තිබෙනවා. අනෙක් අතට ව්‍යාජ පුවත් වෙනුවට සැබෑ පුවත් ජනගත කිරීමේ හැකියාවක් වගකිවයුතු අංශවලට තිබෙන්නට ඕනෑ. වෙනත් චෝදනා පිටින් දමා විවේචනයේ අයිතිය පැහැර ගැනීමට කරන උත්සාහයන් එයින් සාධාරණීකරණය වෙන්නෑ. අන්තවාදයට එරෙහිව හඬ නැගූ මුස්ලිම් තරුණයෙක් අන්තවාදය පතුරුවන බව කියමින් අයිසීසීපීආර් පණත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පණතේ ස්වභාවය නිසා ඔහුට තවමත් ඇප ලබා ගැනීමට හැකි වෙලා නෑ. අවි වෙනුවට පෑන තෝරාගෙන සිටි මිනිසුන් අවි ගැනීමට පොළඹවන්නේ ආණ්ඩුවේ මෙවැනි අමනෝඥ තීරණ. එහෙත් කිසිදු විළිබියක් නැතිව විද්‍යුත් මාධ්‍යවලින් ජාතිවාදය පතුරුවන චතුර අල්විස් වැනි අයට කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නේ එකී නාලිකා ආණ්ඩුවේ කිළුටු සෝදන නිසයි.

මේ වන විට ගෙන ගිය සටනේ ප්‍රතිඵල ලැබී තිබෙනවා ද?

සමහර සටන් තිබෙනවා, ජයග්‍රහණ උදෙසා නෙවෙයි භයානක නිහැඬියාවන් බිඳීම වෙනුවෙන් කළ යුතු. කෙසේ වෙතත් පසුගිය 25 වැනිදා මානව හිමිකම් කොමිසම විසින් පොලිසියේ උක්ත නිවේදනය සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් සිය නිර්දේශ ඉදිරිපත් කරමින් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. කවර තත්වයක් යටතේ වුවත් නෛතිකව කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට ඉවහල් වන බව කොමිසම එම ලිපියෙන් අවධාරණය කරනවා.

භාෂණයේ නිදහස ඉල්ලා සටන් වදින පාර්ශ්වයන් මාධ්‍ය විසින් සිදු කරන මානව අයිතීන් උල්ලංඝනය කිරීම් ගැන මැදිහත්වීමක් නැති බවට චෝදනා තිබෙනවා?

මේ රටේ අධිපති මාධ්‍ය ගණනාවක් ප්‍රමුඛව බොහෝ මාධ්‍ය හැසිරීම් සම්බන්ධයෙන් අපටත් බරපතළ විවේචනයක් තිබෙනවා. නමුත් ඔබ මතුකරන කාරණය බොහෝ දෙනා නොදකින පැත්තකුත් තියනවා. මාධ්‍ය සඳහා යම් නීතිමය රාමුවක් සකස් කරන තැනකට ගියොත් එවැන්නක් පවත්නා රෙජීමයන් කෙසේ භාවිතා කරයි ද යන්න. අපිට එවැනි ඉතා නරක පූර්වාදර්ශ තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සිවිල් හා මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අදාළ පණත (ICCPR)අපේ රටේ භාවිතා කෙරෙන ආකාරය ඊට හොඳම උදාහරණයක්. අමු අමුවේ ජාතිවාදය පතුරවන ප්‍රධාන මාධ්‍යවලට (ආණ්ඩුවට කඩේ යන මාධ්‍යවලට) ක්‍රියාත්මක නොකෙරෙන ඒ පණත, භාෂණයේ නිදහසට එරෙහිව භාවිතා කරනවා. නීතිමය රාමුවක් ඉල්ලා සිටීම දෙපැත්ත කැපෙන ආයුධයක් වගෙයි. අප එතැනින් එහාට ගිහින් යෝජනා කරන්නේ ආචාරධාර්මික සාකච්ඡාව පෙරට ගැනීම. මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ අශිෂ්ටකම රටේ බහුතර මතය බවට පත් කිරීම ඔස්සේ ගැටලුවට පිළියම් සොයා ගැනීමයි වඩා සුදුසු.

 ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ දිනය යෙදී තිබෙන්නේ අප්‍රේල් 3 වැනිදා. ඒත් අපේ රටේ කොරෝනා ආසාදිතයින්ගේ නිවෙස්වලට පවා ගොස් රූගත කරන මාධ්‍යවේදීන් ගැන චෝදනා ඉහළට ඇවිත්..

මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන සමහරුන්ගේ මේ ආචාරධාර්මික නොවන හැසිරීම් සම්බන්ධයෙන් අපත් බරපතළ විවේචනයක් සහිතවයි කටයුතු කරන්නේ. කලිනුත් අප සඳහන් කළ පරිදි වෘත්තීය කරගෙන යෑමේදී ආචාරධාර්මික ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් වන කතිකාව ඉහළට එසැවිය යුතුයි.

ඒ අතරම මතක් කළ යුතු අනෙක් කරුණ තමයි කුණු නිව්ස් එකතු කරන්නන් එසේ කරන්නේ තමන්ගෙ පෞද්ගලික රුචිය හෝ අවශ්‍යතාවට අනුව නොවන බව. මේ පිටුපස සිටින්නේ තමන්ගෙ චැනල්වල, පුවත්පත්වල රේටින් උස්සගන්න ඕනැම ජරාවක් ඉඹලා ගෙට ගන්න මාධ්‍ය හිමිකාරිත්වය. ඔව් කැමරා උස්සගෙන ගෙවල් අස්සෙ රිංගන පිරිස වගේ ම එසේ ගෙනෙන වීඩියෝ සහ ප්‍රවෘත්ති ඉඹලා නිව්ස් රූම්වලට ගන්න මාධ්‍ය හිමිකාරිත්වයත් යන දෙපිරිසම විවෘතව ප්‍රශ්න කළ යුතුයි. චැනල්වල රේටින් උස්සගන්න, ජරාව නිවුස් කරන ම්ලේච්ඡත්වය පැරදවිය යුතුයි. ඒ සදහා වන ජනතා බලයක් හැදෙන දවසක සැබෑ ජනමාධ්‍ය භාවිතයකට රටේ ඉඩ හැදෙයි.

 මේ වසංගත සමයක්. මෙවැනි කාලයක බොහෝ සංවිධාන ජනතාව වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් කරනවා. මහජනතාව සඳහා අවශ්‍ය ආහාර සැපයීම වැනි, ඔබ නියෝජනය කරන සංවිධානයක් මගින් මෙවැනි කාර්යයක් සඳහා ගත් ක්‍රියාමාර්ග පවතිනවාද? නැතහොත් හුදු සටන්පාඨ ජයග්‍රහණය කිරීම උදෙසා පමණක් ඔබ පෙනී සිටිනවා ද?

සුබසාධන කටයුතු වෙනුවෙන් සහයෝගය දීම ගැන විවාදයක් නෑ. නමුත් අප නිවැරදිව වටහාගන්න ඕන අපගේ කාර්යභාරය. අප නියෝජනය කරන සංවිධාන සුබසාධක සංවිධාන නෙවෙයි. අප අපගේ වගකීම් සහ කාර්යභාරයන් කෙරෙහි නැමී කටයුතු කරනවා. ඔබ පැවසූ කටයුතු වෙනුවෙන් ඇරුණු සංවිධාන තිබෙනවා සහ ඒ කටයුත්තට අදාළව ජනතා බදු මුදලින් නඩත්තු වෙන ආණ්ඩුවක් තිබෙනවා. ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීම සහ වසංගතය ගැන කටයුතු කිරීම හැරෙන්නට භාරකාර ආණ්ඩුවට පැවරුණු වෙනත් වැඩ තියනවාද? රටේ ආදායම් සම්බන්ධ කටයුතු, සංවර්ධන කටයුතු, සාමාන්‍ය පරිපාලන කටයුතු, අධ්‍යාපන අපනයන ආනයන ආදී සෑම සියලු කටයුත්තකින්ම ආණ්ඩුව නිදහස් වෙලා තියෙද්දිත් මහජනතාව වෙනුවෙන් ආහාර සැපයීම, දඹුල්ලෙ තියන එළවළු ටික රටට බෙදා හැරීම බැරි වුණා නම් ඒක දුර්වල ආණ්ඩුකරණය මිසක් වෙන දෙයක් නෙවෙයි.

ලෝකයේ දියුණු යැ යි සම්මත රාජ්‍යයන් හා දේහයන් කොරෝනා වෛරසය හමුවේ තම ප්‍රතිරූපයන් කඩා බිඳ වැටී ඇති තත්වයක් තුළ නැවත ලෝකය නව කියවා ගැනීමක් සඳහා නිමිති පහළවෙමින් පවතිනවා, මාධ්‍ය පැත්තෙන් මෙම තත්වයන් නව මාවතක් සඳහා මං පෙත් විවර කර ගැනීමකට යා යුතු යැ යි හිතන්නෙ නැද්ද?

කොරෝනාට පසු ලෝකය කිසිසේත්ම තවදුරටත් පෙර පැවති ලෝකය නෙවෙයි. ලෝකයක් ලෙස අපගේ චින්තනය නාභිගත වී තිබෙන ගැටුම් ද සැබෑ ගැටුම් යන්න පිළිබඳ අවලෝකනයට යා යුතු ව තිබෙනවා. සැබැවින් ම ලෝකයේ ගැටෙන්නට අවශ්‍ය එකිනෙකා සමඟද මානව සංහතියේ විනාශය කැඳවන මෙවැනි තත්වයන් සමඟද යන සංවාදය ඇති කරන්නට මාධ්‍යවලට වගකීමක් තිබෙනවා.

ඔබ මාධ්‍ය මෙන්ම දේශපාලන නැඹුරුවක් සහිත අයෙක්. දේශපාලන සහ සමාජීය ලෙස ලෝකය නව පරිච්ඡේදයකට ගමන් කළ යුතු යැ යි හිතන්නේ ද?

කැමැති වුණත් නැති වුණත් පශ්චාත් කොරෝනා ලෝකය යනු මානව ශිෂ්ටාචාරයේ අලුත් පරිච්ඡේදයක් තමයි. ගැටලුව වෙන්නේ ඒ පරිච්ඡේදය ලියැවෙන්නේ මානව සංහතියේ ප්‍රගමනයට ද අවගමනයට ද යන කරුණයි. දී තිබෙන පණිවිඩය භාර ගන්නට ලෝකය සමත් ද? “ජනේලයෙන් එපිට ලෝකයේ සිදුවන්නේ කුමක්ද යන්න මට වැඩක් නැත” යනුවෙන් ක්‍රියාකිරීමට තවදුරටත් කිසිවෙකුටත් හැකිද? කෝටි ප්‍රකෝටි ගණන් යුද අවි කෙරෙහි වියදම් කරන ලෝකයක මානව සංහතිය සපුරා වඳවීමට ඇති හැකියාව වෙනුවෙන් කර තිබෙන දේ සම්බන්ධයෙන් අනිවාර්ය ඇගයීමකට යා යුතු යි. කියා ඇති පරිද්දෙන්ම සංකීර්ණතාවන්වලදී පදනම්වලට ගමන් කරන්නට අවශ්‍යයි.

කණ්ඩායමක් මැතිවරණයක් ඉල්ලා සිටිනවා. තවත් පිරිසක් පාර්ලිමේන්තුව කැඳවීම සඳහා බලකරනවා. අනෙක් පැත්තෙන් ජනතාව දැවැන්ත මාරාන්තික ව්‍යසනයකට මුහුණ දී සිටිනවා. ඔබගේ අදහස කුමක්ද මේ සම්බන්ධයෙන්?

මැතිවරණ පැවැත්වීම කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක සද්ලක්ෂණයක්. ඒත් පවත්නා මොහොත අප වටහාගත යුතු යි. අප වැනි දේශපාලන සංස්කෘතියක් පවතින රටක මැතිවරණයක් යනු වසංගත මොහොතක අධිඅවදානමක් කැඳවන්නක් බවට සැකයක් නෑ. කොරෝනා අවදානම සපුරා ඉවත් වීම කෙසේ වෙතත් අවදානම් තත්වය පහවෙනතුරුවත් ඡන්දයක් ගැන සිතීම නොකළ යුතු යි කියන එකයි මගෙ අදහස. ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව යමින් සහ සියලු දේශපාලන පක්ෂ සමඟ සම්මුතියකට ඒමෙන් වඩා සුදුස්ස තෝරාගන්න පුළුවන්. විශේෂයෙන් ම වසංගතය මර්දනය විෂයෙහි අනෙක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සම්බන්ධ කර නොගැනීමේ අඩුවක් තිබෙනවා. ලැබිය හැකි ජයග්‍රහණයක අයිතිය සම්බන්ධ කරුණක් ඊට යටින් තිබෙනවාදැයි දන්නේ නැහැ. ආණ්ඩුව තම ජනප්‍රිය බව අඩුවීමට පළමුවෙන් ඡන්දය තියාගැනීමට කැස කවනවා ද? කියන ප්‍රශ්නය අපි ඉස්සරහ තියනවා. රට තිබෙන්නේ තවමත් අවදානමක මුවවිට මිස ඡන්දයක් පැවැත්වීමට සුදුසු තැනක නොවෙයි.

සාකච්ඡා කළේ –  තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *