චීන පරීක්ෂණ කට්ටල ඉන්දියාවට සැකයිලු

චීනයෙන් ආනයනය කළ කොවිඩ් – 19 කඩිනම් පරීක්ෂණ කට්ටල භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවන්නැයි ඉන්දියාවේ ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා ඇත.
කොවිඩ් – 19 වයිරස පරීක්ෂණ වේගවත් කිරීම සඳහා පසුගියදා ඉන්දියාව චීනයෙන් කට්ටල මිලියනයක් පමණ ආනයනය කර ඇති අතර එම කට්ටල යොදා සිදුකළ පරීක්ෂණ වලින් ලැබුණු ප්‍රථිපල දෝෂ සහිත වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම කවුන්සිලය පවසයි.
රුධිරයේ කොවිඩ් – 19 වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිෂ්පාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම මගින් කොරෝනා ආසාදිතයින් තහවුරු කරගන්නා මෙම පරීක්ෂණ කට්ටල මගින් සාම්ප්‍රදායික විද්‍යාගාර පරීක්ෂණයන්ට වඩා ඉක්මනින් ප්‍රතිඵල ලබාගත හැකි බවට අපේක්ෂා කර තිබිණි.
බීබීසී පුවත් සේවය අනාවරණය කරන පරිදි මෙම කට්ටල අක්‍රීය බවට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම පැමිණිලි ලැබී ඇත.
මෙම පරීක්ෂණ කට්ටලවල නිරවද්‍යතාවය 5%ක පමණ අඩු අගයක් ගන්නා බව පවසන උතුරු රාජස්ථාන ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු ඒවා භාවිතය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.
කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වූ පුද්ගයෙකු සඳහා එම කට්ටල වලින් පරීක්ෂා කළ විට ප්‍රථිපලය වූයේ වයිරසය ආසාදනය වී නොමැති බව යැයි ද ඔවුහු පවසති.
එබැවින් නිසි ලෙස පරීක්ෂා කරන තෙක් ඉදිරි දින දෙක තුළ මෙම පරීක්ෂණ කට්ටල භාවිතයට නොගන්නා ලෙස ඉන්දියානු වෛද්‍ය පරීක්ෂණ කවුන්සිලය දැනුම් දී ඇත.
ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් විසින්ද මෙලෙස චීනයේ නිෂ්පාදිත මෙම පරීක්ෂණ කට්ටල සම්බන්ධයෙන් ගැටළු මතුකර තිබිණි.
එහෙත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් චීනය පසුගියදා කියා සිටියේ තමන් වෛද්‍ය නිෂ්පාදන අපනයනය දැඩි වගකීමකින් යුක්තව සිදුකරන බවයි.

පසුගියදා ශ්‍රී ලංකාවටද චීනයෙන් කොවිඩ් – 19 පරීක්ෂණ කට්ටල තොගයක් පරිත්‍යාගයක් ලෙස ලැබී තිබිණි.

 

(ඡායාරූපය අන්තර්ජාලය ඇසුරෙනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *