අවිශ්වාසය හා සැකය වෙනුවට මනුෂ්‍යත්වය හා ආදරය බෙදලා දෙන්න. – පී. සව්න්දර් රාජ්

” මගේ ගම හපුතලේ. අවුරුදු පහක් තිස්සේ මම මේ දේවස්ථානයේ සේවකයෙක් විදියට වැඩ කරනවා. එක වැඩක් කියලා නැහැ. මම හැම වැඩක්ම කරනවා. ඒ වගේමයි සිංහල , දෙමල, මුස්ලිම්, කතෝලික, ඉස්ලාම්, හින්දු, බෞද්ධ හැමෝම ඇසුරුකරනවා. ඒ අවස්ථාව මට ලැබුනේ හපුතලෙන් කොළඹ කොච්චිකඩේට ආවට පස්සෙ. “

පූජාසනය අසල ඇවිලෙන ගිනිදළු සහිත ඉටිපහන් වතුරේ ගිල්වා නිවා දමමින් සවුන්දර් රාජ් මෙසේ තමා හදුන්වා දුන්නේය. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයයේ විනාශයෙන් පසුව යලිත් සුපුරුදු පරිදි බැතිමතුන් සමග කටයුතු කරන්නට ලැබීමේ සතුටක් ඔහුට තිබේ. එහෙත් ඒ කහට පැල්ලම අමතක කරදමා ඔහු ආමන්ත්‍රණය කරන්නේ කවර නම් අනාගතයකටද…? මේ පී.සව්න්දර් රාජ් කී කතාවයි .


 මේ සිදුවීමෙන් පස්සෙ ඔබ ඇසුරු කළ මිතුරන් විශේෂයෙන් මුස්ලිම් මිතුරන් කෙරෙහි ඔබට ඇතිවුනේ මොනවගේ අදහසක් ද..?

මම එහෙම විශේෂයෙන් කල්පනා කලේ නැහැ. ඒ වගේම ඒ අයත් මාත් මුණගැසීම, කතා බහ කිරීම අත් හැරියෙත් නැහැ. පාස්කු ඉරිදා අපරාධය ඔවුන් දැඩිසේ පිළිකුල් කළේ. අන්තවාදයට, ත්‍රස්තවාදයට එරෙහිව ඔවුන්ගෙ ඇති අවංකභාවයත් මනුෂ්‍යත්වය විස්වාසය කෙරෙහි අපි දක්වන උනන්දුවත් අපි පලුදු කරගත්තේ නෑ. අවාසනාවන්ත සිදුවීම සිදුවෙන්නත් කලින් ඉදලා ඔවුන් අපි එකට කටයුතු කළ නිසා තමයි මේ කොච්චිකඩේ ප්‍රදේශයේ කිසිම ගැටුමක් ඇති නොවුනේ. ඒ අපි අතර ඊට පෙර සිටම තිබුනු අවබෝධය නිසා.

 ඔබේ පවුලේ සාමාජිකයන් මේ සිදුවීම තේරුම් අරගෙන තිබුනේ කොහොමද , මොන වගේ ප්‍රතිචාරයක් ද ඔබට ලැබුනේ ?

මේ සිද්ධිය වෙනකොට දේවස්ථායේ ඉටි පහන් වැට ලග මම හිටියේ . සිද්ධිය දැනගත්ත ගමන්ම ගෙදර අය කළබල වෙලා. මට කතා කරලා කිව්වේ ඉක්මනට ගෙදර එන්න කියලා මම කිවුවා එහෙම එන්න බෑ. කළබල නොවී ඉන්න. තව ටික දවසකින් මම එන්නම් කියලා. අපි මුලින්ම කළේ තුවාල සිදුවුනු අය ඉක්මනට ඉස්පිරිතාලේට යවන එක. ඒ වෙලාවේ මේ අවට සිංහල මුස්ලිම් දෙමල හැමෝම ඒ හදිස්සි කටයුත්ත කළා. ආරක්ෂක අංශ ආවම ඒ කටයුතුවලට සහාය දක්වන්න අපි පූජා භූමියෙන් ඉවත් උනා.

පූජා භූමියෙන් එලියට ගියාට පස්සෙ එලියේ අපේ යාලුවොත් එක්ක මිය ගියපු අය වෙනුවෙන් කරන්නේ මොනවාද කියලා සාකච්ඡා කරලා ඒ කටයුතු කළා. ඒ, සිංහල, දෙමල, මුස්ලිම් කියලා වෙනසක් නැතුව ඒ දවස්ටිකේ අපි කෑම බීම සපයා ගත්තෙත් එහෙමයි. කට කතා නිසා බියෙන් හිටපු ගෙදර අය මුස්ලිම් කඩවලින් කෑම කන්න එපා කියලත් මට කිවුවා. ඒ අය මේක තේරුම් අරගෙන තිබුනේ වැරදියට. එක කුඩා කණ්ඩායමක් කරපු අපරාධයකට මුලු මුස්ලිම් සමාජයම වගකියන්න ඕනේ නැහැ. අපරාධකරුවන් පිළිකුල් කළාට අසල්වැසියා ප්‍රතික්ෂේප කරන්න අපිට බැහැ. මම ගෙදර අයට තේරුම් කරලා දුන්නා. මේක කළේ ත්‍රස්තවාදී කණ්ඩායමක් මිසක් මුලු මුස්ලිම් සමාජයම නෙවෙයි කියලා. ඒ වගේම කටකතාවලට රැවටෙන්න එපා කිවුවා. ඒ වගේම හපුතලේ අපේ ගෙවල් අවට මුස්ලිම් අසල්වැසියන් එක්ක තියෙන හොද හිත නැති කරගන්න එපා කියලත් කිවුවා . මම මේ දේවල් කියද්දි ගෙදර අය මොනවා හිතුවත් මම කියපු දේ ඇත්ත කියල ඒ අයට හෙමින් හෙමින් තේරුම්ගත්තා.

නමුත් ඒ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල ගැටුම් ඇති උනා. සමහර ප්‍රදේශවලට ඇදිරිනීතිය පවා දැම්මා ඇයි එහෙම උනේ..මොනවාද ඒ ගැන ඔබට කියන්න තියෙන්නේ

කොච්චිකඩේ දේවස්ථානය වටේම ඉන්නේ මුස්ලිම්, දෙමල, සිංහල මිනිස්සු , ඒ වගේම මේ ප්‍රදේශයේ, පල්ලි, පංසල්, කෝවිල් තියෙනව. පාරට බැස්සම ඒ හැමෝම මට මුණගැහෙනවා. දැකලා පුරුදු මිනිස්සු. අපිට පුලුවන් ද? අපිට අයිතියක් තියෙනව ද අපේ හිතේ තියෙන සැකය ,කෝපය, වෛරය බවට පත්කරලා මේ මිනිස්සුන්ට හිරිහැර කරන්න. මේ අවට මිනිස්සු ඇසුරු කළ නිසා අපි දන්නවා ඔවුන් මේ අපරාධයට සම්බන්ධ නෑ කියලා ඒ නිසා අපි ඔවුන් ඇසුරුකිරීම අත් හැරියේ නෑ. කතා බස් නොකර හිටියේ නෑ. අපි කවුරුත් එකතුවෙලා මේ ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළා. ඒ නිසා මේ ප්‍රදේශයේ නම් කිසිම ගැටුමක් ඇති උනේ නෑ. ගැටුම් හටගත් ප්‍රදේශවල එහෙම උනේ ඇයි කියන්න මම දන්නෑ. එත් කොච්චිකඩේ මිනිස්සු හැසිරුණු විදිය දන්නවා නම් ඒ අය ලැජ්ජා වේවි. අපි කල්පනා කළේ මේ වගේ සිදුවීම් නැවතත් සිදු නොවෙන්න කටයුතු කරන විදිය ගැන, වෙළෙඳ සංගමය , ප්‍රජාදායකත්ව කණ්ඩායම් , පල්ලිය, කෝවිල, පංසල, දේවස්ථාන ය, මේ හැමෝම එකට එකතු උනා. ඒ නිසා මියගිය සහෝදර මිනිස්සු වෙනුවෙන් ශෝක උනා. ඔවුන් ගේ කටයුතු වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් උනා. කැඩුනු බිදුනු තැන් හදලා ආයිත් සුපුරුදු ආකාරයෙන් කටයුතු කරන්න පුලුවන් උනේ ඒ එකමුතුව නිසා. අවිශ්වාසය සැකය වෙනුවට මනුෂ්‍යත්වය ආදරය දෙන්න කියලා තමයි. අපිට දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ. ඇසුරුකිරීමෙන් මිනිස්සු තේරුම් ගත් නිසා කට කතාවලට වෛරී ප්‍රකාශ වලට අපිව කෝප කරන්න බෑ.

මේ සිදුවීමෙන් පස්සේ ගමේ ගියාද ? කොහොමද ගමේ මිනිස්සු මේක තේරුම් අරගෙන තිබුනේ?

ඔව් මම ගෙදර ගියාම ගමේ අසල්වැසියෝ ඇවිත් කවුරුත් ම වගේ ආවා. ඒ අය ඇහුවේ සිදුවීම වෙච්ච් විදිය. ජීවිතේ බේරුණේ කොහොමද වගේ ප්‍රශ්න. කට කතා ගොඩකට ඒ අය මුලාවෙලා තිබුනු බව අහපු ප්‍රශ්න වලින් තේරුනා. මම ගෙදර අයට වගේම අසල්වැසියන්ටත් මම දැකපු දේ කිවුවා. මේ සිදුවීම නිසා ගෙදරින් එලියට බහින්න බයෙන් හිටපු මුස්ලිම් යාලුවො මුන ගැහුනම ඒ අය කෝපයෙන් වගේම වේදනාවෙන් හිටියේ. මේ අපරාධය කරපු අයට ඔවුන් සාප කළා. මේ අපරාධය කරපු කණ්ඩායම ඔවුන්ගෙ ජාතියට සම්බන්ධ නිසා ඔවුන් හිටියේ ලැජ්ජා වෙන්, කෝපයෙන්. දුරස් කිරීම වෙනුවට සමීපවෙලා කතා කළාම ඔවුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න පුළුවන්. ගමේ කාටත් කිව්වේ එක දෙයයි මේ අපරාධය කල අපරාධකරුවන් ගේ උවමනාව අපි බෙදා වෙන්කිරීම නම් අපි ඒකට ඉඩතියන්න ඕනේ නැහැ. ආරක්ෂා ව වෙනුවෙන් සැකය තියාගන්න . විස්වාසය රකින්න. ආරක්ෂක අංශ වලට අවශ්‍ය සහාය දෙන්න ඒ අතර ම අසල්වැසියන් සමග සමීපව කටයුතු කරන්න කියලා .

මේ අපරාධය කළේ අන්තවාදී ආගමික කණ්ඩායමක් කියලානේ කියන්නෙ කවුරු හරි කිව්වොත් ආගම් ඇදහීම නිසා මිනිස්සු මේ වගේ අපරාධ කරන්න පෙළඹවීම් කරනවා කියලා ඔබ කොහොමද ඒකට උත්තර දෙන්නේ

ආගම කියන්නෙ පුද්ගලික තේරීමක්. ලෝකේ කිසිම ආගමක් මනුෂ්‍යත්වය විනාශ කරන්න උගන්වනවා කියල මම පිලිගන්නේ නෑ. ආගමේ නාමයෙන් අපරාධ කරනවා නම් ඒක අපරාධය ආගම කරගත්තු නරුම කණ්ඩායම් ක්‍රියාවක්. කවර ආගමක් උනත් එහි හරය කියා දෙන්නේ ලෝකය යහපත් කරන්න සංසිදුවන්න මිසක් විනාශ කරන්න කියලා නෙවෙයි.

ඒ වගේ ම තමන් අදහන ආගම හොඳ ම ආගම කියලා විස්වාස කරන හැම මනුෂ්‍යයාම අනෙකාට ගරුකරන්න ආදරය කරන්න මනුෂ්‍යත්වය පතුරුවන්න ඕනෑ.ආදරය ,දයාව කරුණාව මෛත්‍රිය මේවා පෝෂණය කරන්නේ ආගමෙන්. විස්වාසය පතුරවන්න කරුණාව පතුරවන්න සාමය පතුරුවන්න කියලා දෙන්නෙ ආගමෙන්. ඒ නිසා ආගම අදහන්නේ කුමක් නිසාද කා වෙනුවෙන් ද කියලා තමන්ම තේරුම්ගත යුතුයි. මගේ ලගම නෑයන් අදහන්නේ මම අදහන ආගම නෙවෙයි. මගේ පවුලේ අය මම අදහන දෙවියන් ම අදහන්න ඕන කියලා නීතියක් නෑ. ඒ වගේම මගේ දරුවන් ඔවුන්ට තේරෙන වයසෙදි කැමති ආගමක් තෝරා ගනිවි.

අපි හැමෝටම අවිස්වාසෙකින්, පැකිලීමකින්, සැකයකින්,පිලිකුලකින් තොරව පල්ලියට පංසලට කෝවිල ට දේවස්ථානයට යන්න පුළුවන් වෙන්න ඕනෑ. මා දෙවියන් වහන්සේට සේවයකරන කෙනෙක් මා මනුෂ්‍යයෙක්. ඔබ කාට සේවය කලත් මට ඔබ මනුෂ්‍යයෙක්. දෙවියන්ගේ නාමයෙන් මගේ සහෝදරත්වයේ සංහිඳියාවේ සාමයේ මනුෂ්‍යත්වයේ ඇදහිල්ල එයයි.

– සංවාදය – දයා නෙත්තසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *