කොරෝනාවට පසු ලෝකය – 01 – ලෝක පර්‍යාය හා භූ දේශපාලනය ගැන නිරීක්ෂණ කිහිපයක්. – විදර්ශන කන්නන්ගර

කොරෝනා වෛරසයේ ගෝලීය වසංගතයෙන් පසු ලෝකය කවර මුහුණුවරක් ගනු ඇතිද ?. ඉදිරියේ ඇත්තේ විවෘත අනාගතයකි .එම අවිනිශ්චිත බව මධ්‍යයේ වුවද සිදුවෙමින් පවතින පරිවර්තනයන් පිළිබදව යම් යම් නිරීක්ෂණයන් පළකර සිටීම අපහසු නැත. ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය, දෙදාහ දශකයේ අග භාගයේ මූල්‍ය අර්බුදය, ජනතා ජනප්‍රියවාදයන්ගේ නැගීම වැනි පසුගිය දශකයන් තුළ ලෝකය තුළ සිදු වූ පෙරළීන්ට වඩා මෙය තීරණාත්මක පරිවර්තනයක් සලකුණු කරනු ඇත. ඊටත් වඩා වාමගාමී බුද්ධිමතුන් ප්‍රමුඛ ගෝලීය දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයන් දක්වන්නේ 1929,  30 කාලසීමාව තුළ සිදු වූ  ලෝක ආර්ථික අවපාතය හා සමාන වූ බරපතල ආර්ථික ව්‍යසනයකට ලොව ගොදුරු වන බවයි. මේ වනවිට ලෝක බැංකුව ඇතුළු ලෝක මූල්‍ය ආයතනයන්ද එම අනතුර පිළිබදව තහවුරු කර තිබෙයි. එපමණක් නොව එම පැරණි ආර්ථික අවපාතය සමග උතුරු ගෝලය තුළ විවිධ ස්වරූපයේ මර්දනකාරී පාලන තන්ත්‍රයන් නිර්මාණය වී බිහිසුණු ලෝක යුද්ධයක් සදහා අවැසි පසුබිම ක්‍රමයෙන් ගොඩනැගුණු බවද එකී ඇතැම් විශ්ලේෂණයන් විසින් සිහිපත් කර තිබෙයි. මේ අනුව කොරෝනා වසංගතයට පෙර ගෝලීයව සිදුවෙමින් පැවති පෙරළීන් පශ්චාත් කොරෝනා යුගය තුළ වේගවත් හා තීව්‍ර කරනු ඇත. ඉන් තීරණාත්මක සිදුවීමක් වන්නේ ලෝක පිළිවෙල යළි හැඩගස්වනු ලැබීමයි.

 ‘ලිබරල් ජාත්‍යාන්තර පර්‍යාය’ ලෙස නම් කෙරුණු එනම් සෝවියට් සමූහාණ්ඩුව ප්‍රමුඛ කොමියුනිස්ට් පාලන තන්ත්‍රයන්ගේ බල අක්ෂයන් බිදවැටීමෙන් පසු 90 දශකයේ ඇරඹුමත් සමග නිවේදනය කළ ඊනියා ‘ලෝක පිළිවෙල’ ගෙවුණු  දශකය තුළ ක්‍රමික අභියෝගයකට ලක් වෙමින් තිබුණි.කොරෝනා වසංගත තත්වය විසින් එය ඉක්මන් කරමින් ඇති බව පෙනෙයි.  පැරණි නව ලෝක පිළිවෙල තුළ නායක ආධිපත්‍යය තහවුරු කෙරුණේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි.එහෙත් කොරෝනා ව්‍යාප්තිය තුළ ඇමරිකානු සමාජ-දේශපාලන සංස්ථාව මුහුණ දෙමින් තිබෙන අර්බුදය හා සෞඛ්‍යය ප්‍රමුඛ සමාජීය සේවාවන්ගේ  බිදවැටීම විසින් දෘශ්‍ය කරමින් තිබෙන්නේ එම පැරණි ආධිපත්‍යයේ තීරණාත්මක සසලවීමකි.SARS Stung the Global Economy. The Coronavirus Is a Greater Menace ...

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බල තන්ත්‍රය යනු එකී පිරිහීමේ රූපාකාරය හා තහවුරුව යැයි කිවහැකිය. ලෝක බල තුලනය පාර්ශවයෙන් ගත් විට මෙම ඇමරිකානු නායකත්ව භූමිකාව අභියෝගයට ලක් වීම ක්‍රමයෙන් සිදුවෙමින් පැවතිණි. පැහැදිළිව කිවහොත් ඇමරිකානු කේන්ද්‍රීය ගෝලීයකරණයක සිට චීන කේන්ද්‍රීය ගෝලීයකරණයක් දෙසට ලෝක පිළිවෙල විපර්‍යාසයට ලක් වීමේ සලකුණු කාලයක් පුරා මතුකෙරෙමින් පැවතිණි. විශේෂයෙන්ම 2008 දී මූල්‍ය ධනවාදය මුහුණ දුන් අර්බුදය තුලනය කිරීමට අවැසි මූල්‍ය හා ණය ගැලපුම් සම්පාදනය කළ ගැලවුම්කාර බලවතා ලෙස ඒ වනවිටත් චීනය සිය ස්වීය ආර්ථික අණසක ගෝලීයව අත්කරගනිමින් තිබිණි. ඉන් ඔබ්බට චීන බලාධිකාරය විසින් දකුණු චීන මුහුද තුළ මිලිටරි ආධිපත්‍යය තහවුරු කරගැනීමත් ගොඩබිම් හා මුහුදු මං පද්ධතියක් හරහා ජාලමය සබදතාවයන් ගොඩනැගීමේ  ‘එක් තීරුවක්-එක් මාවතක්’ නම් ව්‍යාපෘතිය ක්‍රියාවට නැගීමත් සිදු කෙරිණි. මින් පිළිඹිබු කෙරෙන්නේ සිය ආර්ථික බලය දේශපාලන අණසකක් බවට පත් කිරීමේ චීන දේශපාලන අධිෂ්ඨානයයි.

ජාත්‍යන්තර පර්‍යායේ නව හෙජමොනික ස්ථානය බවට චීනය ප්‍රමුඛ අක්ෂයක් පත්වෙමින් තිබේය යන්න අනාවැකියකට වඩා වූ දෙයක් බව පිළිඹිබු කරමින් තිබුණද එය යථාර්තයක් වන තතු පශ්චාත් කොරෝනා යුගය විසින් තහවුරු කරලීමේ ඉඩ විශාලය. තමන්ගේ රටෙන් පැනනැගුණු වෛරස වසංගතයක් දරුණු ගෝලීය උවදුරක් කරා දිගු වී තිබෙද්දී එම අනතුර ඉක්මනින් සිය රට තුළ අවම කරගැනීමට චීනය සමත් විය. ඉන් ඔවුන් ප්‍රදර්ශනය කර තිබෙන්නේ සිය සමාජ ආයතන පද්ධතිය ආරක්ෂිත කාර්‍යක්ෂමතාවයකින් පවත්වා ගැනීමට සමත් කේන්ද්‍රීය අධිකාරිත්වයක් තමුන් සතු වන බවයි. ගෝලීය දේශපාලන නායක ආධිපත්‍යය කරා වන සිය විභවයයි. බොහෝවිට ඉදිරි ගෝලීය ආර්ථික අර්බුදය ඉදිරියේ නව ගැලවුම්කාර භූමිකාවක් බවට පත් වීමේ ඉඩහසරද චීනය විසින් අත්කරගනු ඇත. කලින් ට්‍රම්ප් පාලනය නිසා යම් දුරකටත් පසුව කොරෝනා ව්‍යසනය නිසා නොවැලැක්විය ලෙසත් ඇමරිකාවෙන් ඈත් වී සිටින යුරෝපයේ උදව්වට මේ වනවිටත් චීනය අවතීර්ණ වී සිටියි.සර්බියානු ජනාධිපති වුසික් ප්‍රකාශ කර ඇත්තේ  ‘යුරෝපීය සහයෝගිතාවය ඇත්තේ කඩදාසි වල පමණක් වන බවත් ඇත්තවශයෙන්ම උදව් කරමින් ඇති එකම රට  චීනය වන’ බවත්‍ ය.

යුරෝපීය ලෝක දැක්මේ වෙනසක් පෙන්නුම් කරමින් සිය සහයට පැමිණ සිටින චීනය වෙනුවෙන් ඉතාලිය චීන ජාතික ධජයන් ළෙලවමින් තිබෙයි.තූර්කි රජය විසිනුත් වසංගතයට එරෙහිව සටන් කිරීම සදහා චීන ආධාර සදහා ඇරයුම් කරමින් තිබෙයි. කොරෝනා උවදුරෙන් පීඩා විදින අනෙකුත් යුරෝපීය රටවල්ද චීන සහයෝගයේ ඇති අවශ්‍යතාවය විවෘතවම පළ කරමින් සිටියි.මාර්තු මාසය මැද වන විට චීනය විසින් කොරෝනා වසංගත තත්වය අවම කරගැනීමට සමත් වීම නිසා චීනයේ ශක්තිය, කාර්‍යක්ෂමතාවය හා වේගය යුරෝපා රටවල පැසසුමට ලක් වෙමින් තිබෙයි.වොෂින්ටනයේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය වගකීම් විරහිතව කටයුතු කරද්දී බීජිනය වඩා දැඩි පියවර ගැනීම කෙරෙහි යුරෝපීය සහනුමැතිය පළ වීම අලුත් නැඹුරුවක් යැයි කිවහැකිය. මෙම චීන ප්‍රවේශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක් වී තිබෙයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂක ටෙඩ්‍රොස් ඒ.ගෙබ්‍රෙසියස් විසින් චීන-ඉතාලි සහයෝගීතාවය හදුන්වන්නේ ‘සහයෝගීතාවයේ හද උණුසුම් කරවන ආදර්ශයක්’ ලෙසය.යේල් මහාචාර්‍යවරයකු වන නිකලස් ක්‍රිස්ටකිස් දැක් වූ අදහසක් වන්නේ ‘මහජන සෞඛ්‍ය දෘෂ්ටිකෝණයකින් චීනය විශ්මය ජනක ජයග්‍රහනයක් ලබා ඇති බවයි. විශේෂයෙන්ම කොරෝනා යනු චීන වෛරසයක් යැයි අවලාද නැගූ ඇමරිකානු ජනාධිපතිවරයාම ඉතාම ඉක්මනින් බීජිං පාලනයේ සහය සිය රටේ කොරෝනා වසංගතය මර්දනය කිරීම සදහා අපේක්ෂා කිරීම විසින් දනවන්නේ සරල උත්ප්‍රාසයක් නෙවෙයි.එය සිදුවෙමින් ඇති ගෝලීය දේශපාලන පෙරළිය පිළිබද තියුණු නිවේදනයක් වැනිය. වුහාන් හි කොරෝනා වෛරස වසංගතය හටගත් විට යුරෝපය විසින් චීනයේ වූ සිදුවීම් දෙස බලා සිටියේ දේශපාලන දුරස්ථ බවකින් නම් අද වන විට ඔවුන් චීනය දෙස බලමින් තිබෙන්නේ සමීප මිතුරකු පිළිබද අපේක්ෂාවකිනි. සරලව කිවහොත් චීනය ගෝලීය පරිමාණව ඉදිරියට පැමිණීම කොරෝනා පසුබිම තුළ තීව්‍ර වී ඇත.  ලිබරල් ජාත්‍යාන්තර පර්‍යායේ බිදවැටීමත් ඇමරිකාවට පැවති ධනවාදී ගෝලීයකරණයේ කේන්ද්‍රීය ස්ථානය විතැන්වෙමින් තිබීමත් යන්නෙන් නිශ්චිතව අදහස් වන්නේ නව ලෝක බලවතා බවට අනිවාර්‍යෙන්ම චීනය පත් වන්නට නියමිතය යන්න නොවෙයි. පසු ධනවාදී ගෝලීයකරණය තුළ තනි ජාතික රාජ්‍යයක් ගෝලීය නායක ආධිපත්‍යයේ තැනට පත් විය හැකිද යන්න විවෘත සාකච්චාවකි.  එහෙත් නව ලෝක පිළිවෙළ තුළ ඇමරිකාව සතු වූ හෙජමොනික බලය මෑත කාලය තුළ තීරණාත්මක අභියෝගයකට ලක් ව තිබීමට සමාන්තරව චීනය ගෝලීයව ඉතා බලවත් වෙමින් තිබීම පැහැදිළිවම දැකිය හැකිය. කොරෝනා වසංගතය විසින් එම පරිවර්තනය වේගවත් කරමින් තිබෙයි.ඒ අතර රුසියානු රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමද යුරෝපය සම්බන්දයෙන් මේ මොහොතේ පෙරමුණට පැමිණ ඇති බව පෙනෙයි. විශේෂයෙන්ම පසුගිය කාලය තුළ රුසියාව හා චීනය අතර යුධමය දේශපාලන සම්මුතීන් ගොඩනැගීමක්ද  දක්නට ලැබිණි. ඉරානය හා සිරියානු ප්‍රශ්නය ඇතුළු ඇමරිකානු විරෝධී බල කේන්ද්‍රයන්ගේ මිලිටරිමය භූ දේශපාලනික සුරක්ෂිත බව වෙනුවෙන් චීන-රුසියන් එකගතාවය සෘජුවම පිළිඹිබු කරමින් තිබිණි.ඒ අනුව චීන-රුසියන් බල සන්ධානය ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ඇගයුම් තවමත් ශේෂ වී ඇති යුරෝපය කරා හිතෛෂී ලෙස ප්‍රවේශ වීම නව ගෝලීය දේශපාලන හැරවුමක් සලකුණු කිරීමකි.

 

කොරෝනා වසංගතය නිසා ඇති වූ අනෙක් ගෝලීය ප්‍රතිපලයක් වන්නේ යුරෝපා සංගමය හා නේටෝව වැනි ගෝලීය සහයෝගී සංවිධානයන් කෙරෙහි පැවති සම්මුතීන් තවදුරටත් දුර්වල වන බවක් දක්නට ලැබීමයි. ඉතාලිය, ප්‍රංශය හා ජර්මනිය වැනි යුරෝපා රටවල වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග යුරෝපීයයන් තමන්ගේ රජයන් කෙරෙහි පමණක් නොව විශේෂයෙන්ම යුරෝපා සංගමය කෙරෙහිද සිය අවිශ්වාසය හා නොසතුට දැඩිව පළකරමින් සිටියි.ඉතාලියේ හිටපු අගමැති හා වත්මන් ප්‍රධාන විපක්ෂ නායක මැටියෝ සල්විනි දැක් වූ ප්‍රතිචාරයක් මෙසේය. “මම යුරෝපා සංගමයට වෛර කරමි. එය සංගමයකට වඩා සර්පයන් හා නරියන්ගේ ගුගාවකි.අපි මුලින්ම වෛරස පරදවන්නෙමු. පසුව අපි යුරෝපා සංගමය ගැන නැවත සලකා බලන්නෙමු. අවශ්‍ය නම් පිටවන්නෙමු.”Corona crisis - liquidity takes priority | Institut der deutschen ...

මෙය වනාහී යුරෝපය තුළ මෑත කාලය තුළ හිස ඔසවමින් පැමිණි දක්ෂිණාංශික ජනතා-ජනප්‍රියවාදී ප්‍රවනතාවයන් විසින් ප්‍රචලිත කරමින් තිබෙන මතවාදයක් කෙලින්ම බෙදා ගැනීමකි.වසංගත තර්ජනය ‘විදේශීය’ ලෙස අවධාරණය කරන මෙම දක්ෂිණාංශික ප්‍රවනතාවන් විසින් සංක්‍රමණ විරෝධයන්, දේශ සීමා වසා දැමීම්,අභ්‍යන්තර බාධක තරකිරීම්,සංසරණ සීමා පැනවීම් කෙරෙහි වන සිය සුපුරුදු හඩ නැගීම් තීව්‍ර කරමින් තිබෙයි.එහි සරල තර්කනය වන්නේ ගෝලීයකරණය විසින් තර්ජනය වේගවත් කරන බවයි. අන්ත දක්ෂිණාංශික ‘ජාතික පෙරමුණේ’ නායිකා මරි ල පෙන් දක්වා ඇත්තේ ‘ඉතාලිය සමග වන දේශ සීමා වසා දැමිය යුතු බවත් දේශ සීමා පාලනය තීව්‍ර කළ යුතු’ බවත් ය.ඇයගේ සහචර ඔරෙලියා බිග්නියුක්ස් අනතුරු අගවා ඇත්තේ ‘භාණ්ඩ හා පුද්ගලයන්ගේ නිදහස් සංසරණය,සංක්‍රමණ ප්‍රතිපත්ති හා දුර්වල පාලනයන් පැහැදිළිවම මෙම වර්ගයේ වෛරසයන්ගේ ව්‍යාප්තියට ඉඩ සලසන’ බවයි.යුරෝපා සංගමයේ සාමාජිකයකු නොවන ස්විස්ටර්ලන්තයේ දක්ෂිණාංශික ‘ලෙගා ඩී ටිසිනිසි’ හි ලොරෙන්සෝ ක්වාඩ්‍රි විසින්ද දේශ සීමාවන්හි සංවෘත බාධක පැනවීමේ අවශ්‍යතාවය මතු කර සිටියි.විවෘත දේශ සීමා පිළිබද අදහස ප්‍රමුඛත්වයේ ලා සැලකීමේ භයානකත්වය ඔහු අවධාරණය කර සිටියි. බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් ප්‍රතිපත්තිය සමග කරළියට පැමිණි යුරෝපා සහයෝගිතාවයෙන් වෙන්ව යාමේ යුරෝපීය ජාතිකවාදී ප්‍රවනතාවයන්ට මේ වන විට නව ජවයක් ලැබී ඇති බව පෙනෙයි.

විශේෂයෙන්ම  යුරෝපීය දක්ෂිණාංශික ජනතා-ජනප්‍රියවාදයන්ගේ මතු වීම තුළ දක්නට ලැබුනේ යුරෝපා සංගමයේ අධිකාරිත්වයට හා ඊට අනුමැතිය පළ කරන යුරෝපීය ප්‍රභූ සංස්ථාපිතයට එරෙහි කැරැල්ලකි. මෙම ප්‍රභූ බලාධිකාරයන්ගෙන් ජනතාව යළි බලය ලබා ගත යුතු බව මෙම දක්ෂිණාංශික ප්‍රවනතාවයන්ගේ අවධාරණය විය.එහෙත් මෙම ‘ ජනතාව’  යනුවෙන් නිර්වචනය කෙරුණේ සීමිත ජාතික-වාර්ගික කුලකයකි. එනම් සංක්‍රමණ විරෝධයන්,වෙනත් වාර්ගික හා සංස්කෘතික කණ්ඩායම් මර්දනය කිරීම වැනි මනෝභාවයන් උත්සන්න කිරීමත් බැහැරකිරීමේ යාන්ත්‍රණ සක්‍රීය කිරීමත් මෙම දක්ෂිණාංශික ජනප්‍රියවාදයන්ගේ මූලෝපායික යෝජනාව වේ.  ඒ අනුව යුරෝපීය ප්‍රබුද්ධත්ව උරුමය විසින් ගොඩනැගුණු ලිබරල් ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් දුර්වල කරමින් සංවෘත වාර්ගික-ජාතිකත්වයක් පමණක් ‘ජනතාව’ නාමයෙන් උත්කර්ෂණය කිරීම මෙම දක්ෂිණාංශික පැනනැගීම් වල අරමුණයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ දෘෂ්ටිමය පිටුබලයෙන් තොරව අධිකාරීමය අනුහසකින් ධනවාදී පාලනය සාර්ථක කරගත හැකිය යන මතය මෙම දක්ෂිණාංශික ජනතා-ජනප්‍රියවාදී උත්සන්නීන් විසින් යුරෝපය තුළ පසුගිය කාලය පුරා ප්‍රකට කරමින් තිබිණි.

චීනය හා රුසියාව යනු ධනවාදයේ මෙම නව හැරවුම පිළිබද බලවත් ආදර්ශයන් දෙකයි. කොරෝනා ව්‍යසනය හේතුවෙන් යුරෝපයේ සහයට චීනය වැනි රටක් අවතීර්ණ වන්නේත් යුරෝපා රටවල දෑත් ඒ කෙරෙහි දිගුවන්නේත් මෙවැනි සන්දර්භයකය. අනෙක් අතට මේ මොහොත තුළ යුරෝපීය සහයෝගීතාවය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරන ඇගයුම් දැඩි අතාර්කිකත්වයට පත් වී තිබෙන බවද සිහිපත් කළ යුතුය. ඒ අනුව යුරෝපය දෙසට වන චීන-රුසියානු රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම හුදු සෞඛ්‍ය ආරක්ෂක සහනයක්ද නොඑසේනම් අනාගත ගෝලීය භූ දේශපාලනයේ හා ධනවාදී ගෝලීයකරණයේ නව හැඩ ගැසීමක් ඇති කරයිද යන විවෘත ප්‍රශ්නය අප ඉදිරියට ගෙනවිත් ඇත.Inventive Bulgarians Brainstorm Ideas to Ease Corona Crisis ...

ඒ හැරුණු විට සිවිල් බල ගැටුම් හා ඇමරි-යුරෝ බල හස්‍තයන් ක්‍රියාත්මක වන මැදපෙරදිග කලාපය තුළද නව වෙනස්කම් හා නව බල සන්ධානයක් නිර්මාණය වීම කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව පවතී. ඊනියා ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයේ නාමයෙන් මැදපෙරදිග කලාපය මත පතිත කළ අධිරාජ්‍යවාදී පීඩනය සාපේක්ෂව හකුලා ගැනීමට බලකෙරෙන යථාර්තයක බටහිර බලවතුන් සමග සහයෝගයෙන් කටයුතු කරන මැදපෙරදිග රජයන් කුමන දිශානතියක් ගනු ඇතිද යන්නද විමසිය යුතු වේ. පැහැදිලිවම නව වෙනස් කම් හා නව සන්ධානයන් නිර්මාණය වීමේ වැඩ් ඉඩක් එම කලාපය තුළ නිර්මාණය වනු ඇත. විශේෂයෙන්ම ඇමරිකාව දුර්වල වන මට්ටම අනුව ඉරානය වැනි රටක චලනය එම කලාපය තුළ පුළුල් වීමත් බටහිර ආසියාව තුළ චීන හා රුසියානු බලය ශක්තිමත් වීමටත් ඉදිරියේ ඉඩක් ඇත.ඊශ්‍රායලය හුදෙකලා වන පරිමාවට අනුව පලස්තීන නිදහස සදහා වන අරගලයේ නව පෙරමුණු නිර්මාණය වීමටද ඉඩක් විවර කෙරෙනු ඇත.අනෙක් අතින් රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්ත ව්‍යාපාරයන්ද සිය යුධමය උපමාරු සදහා වන නව අවස්ථා උරගා බැලීමට මෙම හදිසි අවස්ථාව හසුරුවා නොගනී යැයි කිව නොහැක. ඉරානයේ පිටුබලය සහිත කැරලිකාරී කණ්ඩායමක් පසුගිය මාසය තුළ යේමනයේ වෙඩි තැබීම් සිදුකර තිබෙයි .ට්‍රිපොලි හි තූර්කි පිටුබලය ලබන රජයට එරෙහිව කලීෆා හෆ්තාර්ගේ නායකත්වයෙන් යුත් නැගෙනහිර ලිබියානු බලවේග සටන් උත්සන්න කරමින් තිබෙයි.පසුගිය මාසයේ අග කාබුල් ත්‍රස්ත ප්‍රහාරයක්ද සිදු වූ  අතර ඉරාකයේ ඇමරිකානු නියෝජනයන්ට ප්‍රහාර එල්ල කොට ඝාතනය කිරීම්ද සිදු වී තිබෙයි.ඒ හා සමානවම අප්‍රිකාවේ සහෙල් හරහා ත්‍රස්ත කණ්ඩායම් මොරිටේනියාවේ සිට සෝමාලියාව දක්වා වන ප්‍රාන්ත කිහිපයක් වෙතට දිගින් දිගටම පහර දෙමින් සිටිති. වානිජ ගුවන් ගමන් නතර කර තිබුණද මෙම කලාපීය යුධ ගැටුම් කරා ආයුධ ගලා යාමේ නැවතීමක් නැති බව පෙනෙයි.කොරෝනා වසංගතයට පසු ලෝකය තුළ ඊනියා ත්‍රස්තවාදයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධය වෙනස් උපනතීන් හා බල හැරවුම් ගනු ඇති බව කිවහැකිය. වෛරසයෙන් තමන් ආරක්ෂිත බව පෙන්නමින් හදිසි මිසයිල අත් හදා බැලීම් කළ උතුරු කොරියාව විසින් ලබා දුන් යුධමය පණිවිඩයද සුළුවෙන් තැකිය නොහැක.  අනාගත ගෝලීය දේශපාලන පිළිවෙල හැඩගැසීමට නියමිත මෙම කලාපීය සුවිශේෂීතාවයන් පිළිබදව ඉදිරි සටහනකට ඉඩ තබා මෙම කෙටි සටහනේ හරය මෙලෙස සම්පිණ්ඩනය කළ හැකිය.Over 1,700 frontline medics likely infected with coronavirus in ...

එනම් එක්තරා ආකාරයකට දෙවෙනි ලෝක යුද්ධයට පෙර කාලය තුළ ඇති වූ ගෝලීය තත්වයන්ගේ යම් දර්ශකයන් මෙම පශ්චාත් කොරෝනා මොහොත තුළ හදුනා ගත හැකිය. ස්ථාපිත පද්ධතීන් හා නියෝගයන් සතු බලයන් ක්‍රමයෙන් දුර්වල කෙරෙමින් තිබෙයි.දේශපාලන මායිම් කෙරෙහි වන දැඩි අවධානයන් යුධමය ආතතීන් කරා යොමු කෙරෙනු ඇත.ඉන් නව සන්ධාන හා නව පසමිතුරුතා ගෝලීයව නිර්මාණය වනු ඇත. ගෝලීය හා කලාපීය වශයෙන්ම වාර්ගික ජාතිකවාදී හැගීම් වල උත්සන්නීන් හා අධිකාරිවාදී පාලන තන්ත්‍රයන් කෙරෙහි වන ආකර්ෂණය මින් බලවත් කෙරෙනු ඇත. යුරෝපීය අත්ලාන්තික හදවත සසැලෙමින් ඇමරිකානු බලය යළි සුපරික්ෂාවට ඇති මොහොතක චීනය (හා රුසියාව) ප්‍රමුඛ නව බල අක්ෂයක වියහැකියාව ගැන තියුණු දේශපාලන අනාවැකි පළවෙමින් තිබෙයි.

අප මේ සටහන් කරනු ලැබුවේ කොරෝනා වලින් පසු ලෝකය හැඩගැසෙන ආකාරය පිළිබද මූලික සලකුණු කිහිපයක් පමණී. දේශපාලනය ප්‍රමුඛ හා විවෘත අභිනයක් බවට පත්ව ඇති මේ තීරණාත්මක යුග නිමේෂය තුළ විකල්ප ගෝලීයකරණයක් වෙනුවෙන් වන වියහැකියාවන් උරගා බැලීමේ ඓතිහාසික අවස්ථාවක් නව ගෝලීය වාමාංශයටද සපුරා විවෘත කර තිබෙයි. ඒ සදහා වෙනත් ඉදිරි සටහනක් වැය කිරීමට බලාපොරොත්තු වෙමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *