අප ජීවත් වන ලෝකය යථාර්ථයක් ද නැතිනම් ෆැන්ටසියක් ද? යි ප්‍රශ්න කරණ, 3 – Iron

කොරියානු සිනමාව හා ටෙලිවිෂන් වෘත්තාන්ත අපේ සමාජය තුල ජනප්‍රියව ඇත්තේ යෞවන ප්‍රේමකතා තුලින්. මේ නිසාම බෝහෝ තරුණ ප්‍රේක්ෂකයින් මෙම ප්‍රේමකතා වලට දක්වන ආකර්ෂණය නිසා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක සමාජය තුල කොරියානු චලන චිත්‍ර කලාව පොදු සරළ යෞවන ප්‍රේමකතා වලට පමණක් කොටු වී තේරුම් ගැනීමක් සිදුවී තිබෙනවා. මේ නිසාම අපට Bong Joon Ho, Kim Ki-duk, Na Hong-jin, Park Chan-wook, Lee Chang-dong වැනි සම්මානනීය අධ්‍යක්ෂවරුන් ගේ විශිෂ්ට සිනමා කෘති අපෙන් මඟ හැරී ගොස් තිබෙනවා. යළි වතාවක් කොරියානු සිනමාව වෙත ශ්‍රී ලාංකික බහුතර ප්‍රේක්ෂකයාගේ අවධානය යොමු වන්නට පටන් ගත්තේ බොන්ග් ජූන් හෝ ගේ Parasite සිනමා කෘතිය මේ වසරේ ඇකඩමි සම්මාන තුනක් ඇතුලුව විවිධ සම්මාන උළෙල වලදී සම්මානිත වීමත් සමගයි.

කෙසේ වෙතත් කිම් කී ඩුක් අධ්‍යක්ෂණය කල 3 – Iron (2004) චිත්‍රපටයද ලොව විවිධ සම්මාන උළෙල නියෝජනය කරමින් සම්මානයට පාත්‍ර වූ අපූරු කොරියානු සිනමා කෘතියක්. නිවාසයක් අහිමි, ස්ථිර රැකියාවක් නැති තරුණයෙකු හා ගෘහස්ථ හිංසනයට පාත්‍ර වන ගෘහණියක් වටා ගෙතෙන අපූරු ලාලසාමය සම්බන්ධතාවක් පදනම් කරගත් ආඛ්‍යනයක් සහිතවයි කිම් චිත්‍රපටය අප වෙත ගෙන එන්නේ.Image may contain: 1 person, sitting and indoor

ස්ථිර රැකියාවක් නැති තායි-සුක් (Jae Hee) යතුරුපැදියකින් ගමන් කරමින්, නිවෙස් වල ඉදිරිපස දොරෙහි යතුරු පුවරුවලට ඉහළින් පිටතින් ආහාර ඇනවුම් කළහැකි මෙනුපත් අලවමින් යෑම සිය රැකියාව කරගත්තෙක්. ඔහු තමන් අලවා ගිය මෙනුපත් ඉවත් කර නොමැති නිවාසවලට විවිධ උපක්‍රම භාවිතා කරමින් දොර විවෘත කර ඇතුලු වනවා. ඒවාට රහසේ ඇතුලු වී, ඇඳුම් සේදීම, කැඩුණු උපකරණ සකස් කිරීම සහ ඔවුන්ගේ භාණ්ඩ හා විසිතුරු දෑ සමඟ සෙල්ෆි ගැනීම සිදුකරනවා. මෙලෙස ඔහු එක් විශාල නිවසකට ඇතුලු වූ විට ගෘහස්ථ හිංසනයට ලක් වූ ගෘහණියක් සහ හිටපු නිරූපිකාවක් වන සන්-හ්වා ( Lee Seung – Yeon) ඔහුව දකිනවා. නමුත් ඔහු ඇය තමා දුටු බව දන්නේ නැහැ. සන්-හ්වා ඇසට ඇස මුණ ගැසුනු පසු තායි-සුක් නිවසින් පිටත්ව යනවා. නමුත් ඔහු යළි වතාවක් එහි පැමිණෙනවා. මෙසේ අතුලු වූ විටෙක සන්-හ්වාගේ ස්වාමිපුරුෂයා වන මින්-ගියු ඇයට අතවර කරන ආකාරය ඔහු දකිනවා. ඔහුට සන් – හ්වා කෙරෙහි අනුකම්පාවක් මෙන්ම මින් – හියු කෙරෙහි වෛරයක් ඇති වෙනවා. නිවසේ මිදුලේ ඇති ගොල්ෆ් ක්‍රීඩාව පුහුණු වන ස්ථානයේ ක්‍රිඩා කර මින් – හියූ ගේ අවධානය ඇති කරගෙන ඔහු ගොල්ෆ් ක්‍රීඩා කරණ ස්ථානයට උපක්‍රමශීලීව කැඳවා ගොල්ෆ් බෝලවලින් පහර දී අඩපණ කර සන්-හ්වා ද සමඟ පැන යනවා.Image may contain: 1 person, closeup

චිත්‍රපටයේ දෙවැනි අර්ධය ආරම්භ වන්නේ එතැන් සිට. මේ දක්වා දැඩි කුතුහලයක් අප තුල දැනවීමට අධ්‍යක්ෂ කිම් කී ඩුක් සමත් වෙනවා. ප්‍රධාන චරිත දෙක කිසිම දෙබසක් මේ වන විටත් කතා කර නැහැ. ඒ ඇයි? ගොල්ෆ් පන්දු වලින් පහර දීමෙන් මින් – හියු මියගියා ද යන කුතුහලය අප තුල රඳවා කිම් කී ඩුක් එතැන් සිට මෙම යුවල ජීවත්වීමත් නවාතැන් සොයා ගැනීමත් යන මූලික මිනිස් අවශ්‍යතා ඔස්සේ අපව රැගෙන යනවා. තායි-සුක් සහ සන්-හ්වා අතර ගොඩනැගෙන්නේ නිහඬ සම්බන්ධතාවයක්. එක් මහල් නිවාසයක සිට තවත් මහල් නිවාසයකට ගමන් කරමින් පෙර පුරුදු ලෙස නිවෙස් වලට ඇතුලු වී උයා පිහා කමින් නිදියමින් ඔවුන් කාලය ගත කරනවා. ඔවුන් යන යන තැන ගොල්ෆ් පිත්තක් රැගෙන යාම ද සිදු කරනවා. මේ අතර තායි-සුක් ගොල්ෆ් බෝලයක් සිදුරු කර, සිදුර හරහා ලණුවක් ඇතුළු කර එය ගසක හෝ කණුවක ගැට ගසා පහර දීමෙන් ගොල්ෆ් ක්‍රිඩාව පුහුණු වෙනවා. තායි – සුක්, සන් – හ්වා ට ඇති ප්‍රේමය පරීක්ෂාවට ලක්වන්නේ ද මෙතැනින්. දිනක් බොක්ෂින් ක්‍රීඩකයෙකු ‍ගේ නිවසකට ඇතුලු වී සැහැල්ලුවෙන් සිටින විට ආපසු එන අයිතිකරුවන් විසින් දෙදෙනා අල්ලා ගනු ලබනවා. එහිදී තායි – සුක් දැඩි පහර කෑමකට ලක්වෙනවා. ඒ සෑම අවස්ථාවකම සන් – හ්වා ඔහුව අස්වසා ආදරයෙන් රැක බලා ගන්නවා.Image may contain: 1 person, closeup
තවත් දිනෙක මහල් නිවාසයකට ඇතුළු වූ පසු එම නිවසේ ජීවත් වූ වයස් සහගත පුද්ගලයා මිය ගොස් ඇති බව දැක මිනිය භූමදානය කර ඔවුන් එහි පදිංචි වෙනවා. නමුත් මහලු මිනිසා සොයා පැමිණෙන ඔහුගේ පුත්‍රයා හා ලේලිය විසින් මේ දෙදෙනා පොලීසියට අල්ලා දෙන්නේ සිය පියා ඝාතනය කර ඇති බවට චෝදනා කරමින්. මෙහිදී ඔහු සෑම නිවසකදීම ගත් ඡායාරූප සහිත කැමරාව හසුවන අතර පොලීසිය විසින් එම නිවෙස් හිමියන් ගෙන් විමසුව ද ඔවුන් පවසන්නේ ඔවුන්ගේ කිසිදු භාණ්ඩයක් සොරාගෙන නැති බවයි. මේ සෑම අවස්ථාවකම මෙම ප්‍රධාන චරිත දෙක කිසිදු වචනයක් කතා නොකරන බව ප්‍රේක්ෂකයාගේ අවධානයට ලක් වියයුතු කාරණයක්. පරීක්ෂණ වලදී හෙලිදරව් වන්නේ මහලු මිනිසා ගේ මරණය ඝාතනයක් නොව පෙනහළු පිළිකාවකින් සිදු වූවක් බව. මේ නිසා තායි – සුක් නිදොස් වෙනවා. කෙසේ වෙතත් මේ අතර සන් – හ්වා ගේ සැමියා පැමිණ ඇයව රැගෙන යනවා. එසේ යන අතර පොලිස් නිළධාරියාට අල්ලසක් දී තායි – සුක් ට ගොල්ෆ් බෝල වලින් පහර දෙන ලෙස පවසනවා. එම පහර දීමේ දී තායි – සුක් පොලිස් නිළධාරීයාව ඝාතනය කරන්නට උත්සාහ කිරීමෙන් යළි සිරගත වෙනවා. සිර කුටියේ දී තායි සුක් විවිධ සටන් විධි පුහුණු වෙන අතර නොපෙනී සිටීමේ බලයක් ද අත්පත් කරගන්නවා. එයින් ඔහු හිරෙන් නිදහස් වී පැන යනවා. ආපසු සිය පෙම්වතිය වන සන් – හ්වා සොයා යන තායි – සුක් වැඩි දියුණු කළ අදෘශ්‍යමානී හැකියාව සමඟ, ඇගේ නිවසේ දී සන්-හ්වා සමඟ නැවත එක්වීමට සමත් වෙනවා. මින් – හියු සිතන්නේ සන් – හ්වා වෙනස් වී ඇති බවයි. නමුත් ඇය සෑම වෙලේම සතුටින් සිටින්නේ ඇයට තායි – සූක් පෙනෙන නිසා. නමුත් මින්-ගියු ට මේ වෙනසේ හේතුව සොයා ගන්නට නොලැබෙන්නේ ඔහුට තායි සුක් ව නොපෙනෙන නිසා. සන්-හ්වා මින්-ගියුට “මම ඔබට ආදරෙයි” යැයි කියමින් ඔහුව වැලඳ ගත්තද, තායි-සුක් ඔහුගේ උරහිසට පසුපසින් පැමිණ ඇයව සිපගන්නවා. මුලු චිත්‍රපටයේ ම පළමු වතාවට දෙබසක් පවසන්නේ මේ “මම ඔබට ආදරෙයි” කියන අවස්ථාවේ දී පමණයි. ඇය එලෙස පවසන්නේ ද අදෘශ්‍යමාන තායි – සූක් ට. චිත්‍රපටය අවසානයේ “අප ජීවත් වන ලෝකය යථාර්ථයක් ද නැතිනම් සිහිනයක් ද යන්න කීමට අපහසු ය.” යන්න සටහන්වීමෙන් චිත්‍රපටයේ කිනම් සිදුවීම් සත්‍ය ද කිනම් සිදුවීම් සිහින ද කියා කියවීමට අපහසු බවක් ප්‍රේක්ෂකයාට දැනෙන්න ගන්නවා.

Image may contain: 1 person, outdoor, closeup and text
අධ්‍යක්ෂ කිම් කී – ඩුක්

මෙම චිත්‍රපටය වෙනුවෙන් අධ්‍යක්ෂ කිම් කී – ඩුක් 61 වන වැනීස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්ෂවරයාට හිමි වන “රිදී සිංහයා” සම්මානය හිමි කරගන්නා අතර එම උළෙලේ දීම තවත් සම්මාන 4ක් දිනා ගන්නවා. මීට අමතරව තවත් ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවක දී මෙය විවිධ සම්මානයන්ට නිර්දේශ වන අතර ඉන් සම්මාන කිහිපයක් දිනා ගන්නවා.

චිත්‍රපට විචාරක ෆර්නැන්ඩෝ රෆායල් චිත්‍රපටය ගැන විචාරය කරමින් පවසන්නේ “ඔබගේ චරිත සහ ඒවායේ අන්තර් ක්‍රියාකාරකම් ප්‍රමාණවත් තරම් රසවත් වන විට චිත්‍රපටයකට ඔබට සංවාද අවශ්‍ය නොවන බවට මෙය මනා උදාහරණයකි. ඇත්ත වශයෙන්ම, කිම් කි-ඩුක් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම කොරියානු චිත්‍රපටය ශරීර භාෂාව හා සූක්ෂ්මතාවයන් භාවිතයෙන් අපූරු ලෙස මෙහෙයවනු ලැබූවකි. එසේම ලී සේං-යොන්ග් ගේ විශිෂ්ට රංගනයට ස්තූතියි නොකියාම බැරිය.” කියායි.

© කපිල එම්. ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *