ඒක තමයි අළුත් එක ( බන්ධන 11 ) නාමලී පෙරේරා

කොරෝනා අස්සෙ අළුතින් බිහිවෙච්ච දේවල් ගොඩයි. අපිට බෑ කියල හිතපු ගොඩක් දේවල් අපිට පුළුවන් කියල පෙන්නන්න හැකියාව තියෙන අයට අවස්ථාවක් ලැබුණ. ඒ හැකියාවන් වලට ඇගයීමක් ලැබුණ . මං හිතන්නෙ මිනිස්සු අළුතින් හිතන්න පටන් අරන් කියල . ආකල්ප , මතවාද, ඇදහිලි, විශ්වාස විතරක් නෙමෙයි මිනිස්සු විද්‍යාවෙත් සමහර දේවල් ඈත් කරල අළුතින් හිතන්න ගත්ත . ඒ කියන්නෙ මේ ලෝකෙම දැන් ඉන්නෙ හැරවුමක් තියෙන තැනක. තමන්ට හැමදේම පුළුවන් , තමන්ට හැමදේම තියෙනව කියල හිතපු අය දණගස්සපු තැනක. යාන්ත්‍රික මිනිස්සුන්ට විරාමයක් ලැබුණ තැනක. මේ මොහොත දීල තියෙන්නෙ මිනිස්සුන්ට අළුත් වෙන්න.

ජෝන් එෆ් කෙනඩි දවසක් මෙහෙම කිව්ව.
” රටෙන් ඔබට ලැබිය යුතු දේ ගැන නොඅසන්න. ඔබෙන් රටට විය යුතු දේ ගැන අසන්න.. “
ඒකනම් මහ කපටි කතාවක්. මටත් එහෙම හිතුන . ඒත් අද මට හිතෙන්නෙම ඒක තමයි අළුත් එක…. කියල . හැමදේම ලැබෙන කල් එක් එක් අය මත විශ්වාස තියාගෙන ඉන්න එක දැන් අදාලම නෑ . මිනිස්සු තමන්ට පුළුවන් දේවල් කරන්න ගන්න කාලයක් එනව. හරියට දැන් වගේ.

බහුතරයක් ෆ්බී අකවුන්ට් භාවිතා කරන්නන්ගෙ පිටු වල දැන් වැඩිපුරම තියෙන්නෙ එකම දෙයක්. වවාගෙන කමු… ගෙදර නිකන් ඉන්න බැරි කමට හරි , තව කෙනෙක් කරන නිසා හරි, ආසාවෙන් .. ආදරෙන් හරි, ගොඩක් අය වවන්න පටන් අරන්. අල්ලපු ගෙදර වැටියෙ තිබ්බ කහ පාට මල් පිපෙන ලස්සන මල් පදුරු අද බලද්දි ගලවල. එතන තැනින් තැන පොඩි පැළ වගයක් ඉන්දල. මං පහළට යද්දි එහෙ අක්ක වතුර දානව.
” අළුත් මල් ජාතියක් ද… “
” අපෝ නෑ නංගි. මේ එළවළු පැල වගයක්. මල් වැඩක් නෑ . මේක තමයි දැන් අළුත්ම ට්‍රෙන්ඩ් එක…. “
ඒක තමයි අළුත් එක.. මගෙ හිත කිව්ව.

මිනිස්සු ජීවිතේට සිද්ධ වෙන දේවල් හමුවේ වෙනස් වෙනව. එහෙම නොවෙන අයට මේ විශ්වයේ පැවැත්මක් නෑ . වෙනස් වෙන දේවල් එක්ක වෙනස් නොවෙන ආකල්ප තියෙන අයව විශ්වය අතුරුදහන් කරනව. මරණය කියන්නෙ ඒ එකක්. කාලය උනත් මිනිස්සුන්ට හිතන්න නිදහසක් දෙන්නෙ ඒකයි.
” යම් දිනෙක කල්පනා කිරීම සදහා ඔබ ඔබේ ගමන නවතනු ඇත. එවිට සත්‍ය ඔබ අභිබවනු ඇත… ” ප්ලේටෝ එහෙම කියන්නෙ ඒ හින්ද වෙන්නැති .

අද උදේට කන්නෙ මොනවද ඇහුවම අම්ම කිව්ව පිට්ටු කියල . ඒ මං ආසම කෑමක්. ඒත් කන්න ගියාම තිබුණෙ පිට්ටු නෙවෙයි . වෙන ජාතියක් .
” කෝ අම්මෙ පිට්ටු..”
” ඔය තියෙන්නෙ …”
” මේ මොන පිට්ටුවක් ද.. “
” කොස් පිට්ටු… ඕක තමයි දැන් අළුත් එක… “
ඒ අළුත් එකත් නරකම නෑ . මේ කන්න නැති කාලෙ ඕන පිට්ටුවක් කන්න වෙනව කියල මගෙ හිත කිව්ව.

විශාලාවට ආපු දුර්භික්ෂ කාලෙදිත් මිනිස්සු ඒ පීඩාවෙන් මිදෙන්න අළුත් දේවල් කරන්නැති. කොයි කාලෙක උනත් කොහේ හරි රටක, කොහේහරි තැනක, මිනිස්සු කොට්ඨාසයක් කරදරයකට පත් වෙලා ඉන්නව. ඒ අය ඒ පීඩාවෙන් මිදෙන්න අළුතින් හිතනව. ලෝකෙ හැමදාම වෙනස් වෙන්නෙ ඒ අළුත් වීම් එක්ක. සුනාමියක් , ගංවතුරක්, සුළි සුළගක්, නියගයක්, ආවත් ඒවයෙන් වැලකෙන්න මොනවහරි අළුතින් කරනව. ලෙඩක් හැදුනත් එහෙමයි . බෙහෙත් වගේම වතාවත් පවා අළුතින් හැදෙනව. මොකක් හරි හේතුවක් නිසා පිරිසක් විශ්වයෙන් අතුරුදහන් වෙලා තව පිරිසක් ඉතිරි වෙනව.

එහෙම වෙන්න හේතුව මොකක්ද .. ?? අපි කාගෙන් හරි අහනව. එහෙම වෙන්න හේතුව මොකක්ද …?? අපි අපෙන් අහනව. ඒක තමයි අළුත් එක…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *