බෝ මළුවේවත් ඉඩක් නැති කාන්තා නිදහසේ සැමරුම් විනිවිදුම – ( බන්ධන 09 ) – නාමලී පෙරේරා

මාර්තු පටන් ගන්නෙම කර්කශ වෙච්ච පොළවේත්, ගින්දර රැස් විහිදන හිරුගේත් පීඩාවන් විදදරාගෙන පිපෙන මල් වල සුන්දරත්වය අරගෙන . වසන්තය එන බව මුලින්ම දන්වන්නෙ ලෝකෙට ගස් වැල්. මලක් උනත් බලාගෙන ඉන්නෙ ඒ වසන්තයෙදි පෙති දිග හැරගෙන මල් කෙමි විසුරවන්න. ඒ සුවදට ඇදෙන මී මැස්සන්ගෙන් තමන්ගෙ අළුත් පරම්පරාවක් ජනිත කරවන්න. මාර්තු මාසයෙදි අපි වසන්තය ගැන කතා කරද්දි මේ ලෝකෙට ජීවමාන වසන්තය අරන් එන ගැහැණිය ගැනත් කතා කරනව. ඒ මාර්තු අට යෙදෙන ලෝක කාන්තා දිනය…

දෙවියන් ලොව මවද්දි පළමුව ආදම් මවනව. ඔහුගේ ශරීරයේ කොටසකින් ඒව නම් පළමු ගැහැණිය මවන්නෙම ගැහැණිය පිරිමියාගේ රැකවරණය මැද ජීවත් විය යුතුයි කියන ආකල්පය ලෝකෙට දීල. හැදියාවේ පරිණාමයත් එක්ක අත්වැල්බැදගත් නිරුවත් වානරයා විද්‍යාත්මක , තාක්ෂණික, කාර්මික සංකීර්ණයක වහලෙකු වෙද්දි ඒ ආකල්ප බිද දමමින් කාන්තාවත් තමන්ගේ යැපෙන්නන් පෝෂණය කරන්න උර දෙනව. එදා පවුලෙහි ස්වාමියා හරි හම්බ කරගත් දෑ අරපිරිමැස්මෙන් යුතුව තම පවුල අතර බෙදී යන්නෙ ගැහැණියගෙන්. දරුවන් වැදීමේ සිට ඔවුන් පෝෂණය කරමින් ස්වාමියාගේ ඕනෑ එපාකම් ඉටු කර දෙන්න ගැහැණියක් තම සත්භාවය අරන් එන්නෙ උප්පත්තියෙන් .

අද සමාජය වෙනස්. අද ලෝක ශ්‍රම හමුදාවෙන් තුනෙන් එකක් වන්නේ ස්ත්‍රීන් . එය එසේ වෙද්දී අද ද තම පවුලේ උන් වෙනුවෙන් පේ වී කැප වී සිටින්නේද අම්මා නම් ඇයයි. කෙල්ලක මල්වර වූ වියේ ඉදන් විදින්නේ පුදුමාකාර දුක් ගැහැටක්. මාස් ශුද්ධියෙන් ශාරීරිකව හා මානසිකව පීඩා විදින ඇය කාන්තාවක විසින් රැගෙන ආ කන්‍යභාවය රකිමින් යොවුන් වියට එළඹෙනව. විවාහයෙන් පසු දරුවෙකු වැදීමේ සිට ආරම්භ වන්නේ ඇයගේ දුෂ්කරක්‍රියා සමය . අප අම්මා යන නාමය ගෞරවයෙන් පුදන්නේ ගැහැණියක විදින දුක් දරා ඇග ලේ කිරි කර පෝෂණය කරවීමත්, සතර බ්‍රහ්ම විහරණයෙන් පිරුණු හදවතින් ආදරය සෙනෙහස දක්වමින් දරුවන් රැකීමත් නිසා. ඒ අම්මා ගෙදර බුදුන් වන විට තම බිරිඳ , සහෝදරිය, දියණිය ඇතුළු අනෙකුත් කාන්තාවන්ට අද සමාජයෙන් එම ගෞරවයම ලැබෙනවාද….

කුවේණිය තම පරපුර අත හැරදමා ප්‍රේමය රකින්නියක් වුණා. විජයට අසීමිතව ආදරය කළ කුවේණිය ඇයට සිදු වූ පීඩාවන් නිසා අවසානයේ යකින්නියක් වුණා. අදත් තම පවුල දරුවන් රකින්නියන් එලවා දමන පිරිමින් ඕන තරම්. සංඝමිත්තා තෙරණිය වැඩමවාලූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලග අදත් දර දිය අදිමින් පුද සත්කාර කරමින් බෝධි පූජා පිංකම් පවත්වන්නේ අද කාලයේ සංඝමිත්තාවන්. එහෙව් අපිට අද එන්න තහංචිද… ජය ශ්‍රී මහා හාමුදුරුවනේ …. කියල දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය අහද්දි අපි කාන්තාවට නිසි තැන ඉල්ලනව.

දරිද්‍රතාවය කට බඩ මිරිකද්දි කන කර උගස් තියල දූ දරුවො මිත්තනියන්ට කැප කරල රට රස්සාවට යන බහුතරයක් වෙන්නෙ අපේ කාන්තාවො. ඒ එවන සොච්චමත් පදමට වියදම් කරන ස්වාමිපුත්‍රයන් බිරිඳ එද්දි ඉන්නෙ වෙන බිරිදක් ලග. ගෘහ සේවයට ගිය සමහර කාන්තාවන් එන්නෙ තමන්ගෙ වත්කමත් නැති කරගෙන . ඒ එද්දි පරිස්සමට දාල ගිය දූවරු සල්ලාලයො අතින් අපහරණය වෙලා. ඒ දරුවන්ගෙ අයිතිය සුරකින්න ඉන්න සමහර ආයතන ක්‍රියාත්මක වෙන්නෙ ළදරු මානසිකත්වයකින් . එහෙම රටක ඉදගෙන අපි ලෝක කාන්තා දිනය සමරනව.

කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය ලබා දෙන්න කියල විප්ලව කරපු මලාලා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබද්දි අල්තිනායි මහාචාර්ය වරියක් කරන්න හීන දැකපු දුයිෂෙන් ගැන මතක් වෙනව. අදත් අපේ ගම්වල අල්තිනායි ල කුස්සියෙ හැන්ද අතට ගද්දි දුයිෂෙන් ල, මලාල ල මේ දේශ දීපංකරෙත් බිහිවෙනවනම් කියල හිතෙනව. රැකියාවක් ගන්න, උසස්වීමක් ගන්න වගේම ජීවත් වෙන්නත් පිරිමින්ගෙ ආශාවන් සම්පූර්ණ කරන ගැහැණු වගේම බස් එකක , පාරක තොටක ගියත් හිරිහැර වලට ලක්වෙන ගැහැණු අස්සෙ අපිත් ඒ කොතනකහරි ඉන්නවනෙ කියල හිතෙනව.

ලෝකයේ පළමු ජන නායිකාව බිහි කළ රටක ඉදන් තොටිල්ල පදවන අත රජයන යුගයකට ලෝකය ගමන් කරද්දි අපි තාමත් ගෑණු නුවණ හැදි මිටේ දිගයි කියනව. කාන්තා අයිතිවාසිකම් යනු, කාන්තාවක් ලෙස උපත ලබන අයෙකුට ගෞරවාන්විත සහ යහපත් ලෙස සිය ජීවිතය ගත කළ හැකි වන පරිදි නෛතික රාමුවක් පැවතීමයි.
එය එසේ වෙන දවසක අපි කාන්තා දිනය සමරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *