ඔක්ෂිජන් ඕනෙ නෑ ..! – නාමලී පෙරේරා

චිංගීස් ආයිත්මාතව්ගේ ” අම්මා සහ මිහිකත “ කෘතියේ තලන්ගායි නම් අම්මා එක්ක පෘථිවි මාතාව කළ සංවාදයක මෙහෙම තියනව.

” මේ ලෝකයේ ජීවත්වන ජනයිනි නුඹලා කැමති මොනවටද?පෘථිවියටද… මම සියළු දෙනාටම එක සමානයි. මට අවශ්‍ය නුඹලාගේ මිත්‍රත්වය යි. නුඹලාගේ ශ්‍රමයයි. පෙරළු බිමට එක ධාන්‍ය ඇටයක් දීපල්ලා. මං නුඹලාට ධාන්‍ය සියයක් ලබා දෙන්නම් . පැලයක් සිටුවපල්ලා. මං පලතුරු ලබා දෙන්නම් . මම අනන්තය වෙමි.සීමා රහිත වෙමි. මා ගැඹුරුයි, උසයි. නුඹලා සියළු දෙනාට මගේ ඇකයේ ඉඩ තිබේ. “

අප මිහිතලයට කෙතරම් අයිතිවාසිකම් පෑවත් ඇය අපි හැමෝටම පොදුවේ සලකනව. බෙදීම් හදාගත්තෙ අපි. මහපොළොව බෙදාගෙන අපි අපේ අයිතිය හදාගත්ත. ඇහැට පේන ගහ කොළ වලට වඩා නොපෙනෙන ග්‍රහ ලෝක විශ්වාස කරන මිනිස්සු ඔක්ෂිජන් ඕනෙ නෑ කියල කෑගහද්දි ඒ වෙනුවෙන් විප්ලව කරන්න පුළුවන් අය වීරයො උනා. ඔක්ෂිජන් ඕනෙ නෑ කියන උදවියම පරිසර දිනය දවසට පැලයක් රෝපණය කරල පොටෝ එකක් අරන් මීඩියා වල දැම්ම. ලංකාවෙ එහෙම වෙද්දි ලෝක පරිසර සංවිධාන ඔක්ෂිජන් රැක ගැනීම වෙනුවෙන් සටන් කරනව.

ලොව වැඩිම වායු දූෂණය පවතින පෙදෙස් ලෙස දකුණු හා ගිණිකොණදිග ආසියානු පෙදෙස් හඳුනාගෙන තිබෙනවා. ලොව වඩාත්ම වායු දූෂණයට ලක් වී ඇති නගර 20න් 18ක්ම අයත් වන්නේ ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය යන රටවල්වලට යි.

හරිතාගාර ආචරණය ඇතුළු හේතූන් නිසා ඇතිවී තිබෙන දේශගුණික වෙනස්කම් වඩාත් දැනෙන්නේ වායුගෝලයේ ස්වභාවික සුළං ප්‍රවාහවල අඩු වීම මෙන්ම ලැව්ගිණි වැනි දේ ඇතිවීමේ අවස්ථාව වැඩිවීම වැනි සංසිද්ධි නිසා යි.

මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව ලෙස ෆොසිල ඉන්ධන දහනය මෙන්ම වන විනාශය කියල හඳුනාගෙන තිබෙනවා. පරිසර සංවිධාන දිගින් දිගටම මේ පිළිබද වාර්තා කරද්දි අපේ නියෝජිතයින් ඔක්ෂිජන් ඕනෙ නෑ කියල කියනව.

පරිසර විනාශය ගැන විප්ලව කරපු, කතා කරපු ලෝක මාධ්‍යවේදීන් ඝාතනයට පවා ලක්වෙද්දි බලවත් රාජ්‍ය බලය හා ආර්ථිකය තර කර ගැනීම වෙනුවෙන් සටන් කරනව. ලෝකයම යැපීම් මත ක්‍රියාත්මක වෙද්දි පොඩි උන්ට ශාකවල ඇති වැදගත්කම ගැන උගන්වන්න කියනව.

කඩොලාන පරිසරය ඉවත් කරල ක්‍රීඩා පිටියක් හදනව කිව්වම රතු ඉන්දියානු නායක සියැටෙල් ජනාධිපතිවරයාට යවපු ලිපිය මතක් වෙනව .
” නිල් අහසත් පොළවේ ඇති උණුසුමත් විකිණීමට හෝ මිලදී ගැනීමට හැකිද..? එය මට නොවැටහේ. මේ අදහස අප හට නම් අරුමයකි. සුළගේ ඇති පවිත්‍ර බව නැවුම් බව ජලයේ ඇති ප්‍රභාවත් බව අප සන්තක නොවේ. එසේ නම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙසේද..?”

සියැටෙල් කියනව වගේ ගහ කොළ වලටත් දැනෙනව . කියතකින් ඉරෙද්දි ගහක් උනත් අඩනව. ආදරෙන් පෝෂණය කරද්දි මල් ඵල දරාගෙන නැමෙනව.

පුංචි පංති වලදි සියැටෙල්ට ආදරේ කරපු උන් ලොකු වෙද්දි පැලයකට වතුර ටිකක් දාන්න කිව්වත් මගහරිනවා. වායු ගෝලයේ තුල්‍යතාව රකින්නෙ ගහකොළ නේද කියල ඇහුවම ‘ ඕ….ව්’ කියල කෑ ගහල පාඩම උගන්වල එළියට යද්දි ඩෙස් එකේ ලෑල්ලක් ගලවගෙන ක්‍රිකට් ගහන්න දුවනව. ඊලග අවුරුද්ද පටන් ගද්දි ඩෙස් පුටු වලට තව ගස් කීයක් කැපෙයිද කියල හිතෙනව.

චීනය ඉන්දියාව මුඛ ආවරණ දාගෙන හුස්ම ගද්දි අපි තාමත් නිදහසේ හුස්ම ගන්නව. එහෙම ඉදගෙන ඔක්ෂිජන් ඕනෙ නෑ කියන අයම ඕස්ට්‍රේලියාවේ , ඇමේසන් වල ලැව්ගිනි වෙද්දි ” පෙනහල්ල ගිනි ගනී ” කියල ස්ටේටස් දාල තැවෙනවා. වෙලාවකට මටත් ඔක්ෂිජන් ඕනෙ නෑ කියලත් හිතෙනවා .

නාමලී පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *