කාන්තාව යනු බඩුවක් නොවේ.. – මීනු ගුණසිංහ
ඉන්දියාවේ පශුවෛද්යවරියක් වන ප්‍රියංකා රෙඩ්ඩි මීට දින කිහිපයකට පෙර ඇගේ පශුවෛද්‍ය කාර්යාලයේ සිට නිවස බලා එමින් සිටියදී දූෂණය කර නිවසට ආසන්න පාලු ප්‍රදේශයක පුලුස්සා මරා දමා තිබිණි. 27 හැවිරිදි පශු වෛද්‍ය ප්‍රියංකා රෙඩ්ඩිගේ පිළිස්සුන සිරුර හද්රාබාද්හි පාළු මාවතකින් සොයා ගනු ලැබුණේ නොවැම්බර් 26 වෙනිදාය.
මේ හා සමාන කාන්තා හිංසනයන් පිලිබඳ අමානුෂික ඉරණම් අත් වූ ශ්‍රී ලංකාවේ විද්‍යා,සේයා ඇතුළු හෙළි වුණු සහ නොවුණු බොහෝ දූෂණික ක්‍රියාවන් හමුවේ කාන්තාව යනු තව දුරටත් සූරා ඉවත ලන ලොතරැයියක් නොවන බව සමාජයට පෙන්වීම වැදගත් ය.
කාන්තාවකට අදහස් ප්‍රකාශ කිරීමට පවා පිරිමින්ගේ කුණුහර්ප ඉවසීමටත් “ඕකි බඩුවක්” යන සන්නාමය වාචිකව හා නිර්වාචික ව විඳ දරා ගැනීමටත් සිදු වනු ඇත. ගැහැනියක් හා නිදි වැද තවත් ගැහැනියක් වෙත සමීප වන පිරිමියා ද එවිට පිරිමින්ගේ අර්ථයෙන් ම බඩුවක් නොවන්නේ ඇයි?
ඇඳුම් විලාසිතාවන් නිසා පිරිමින් කුපිත වනවා නම් කුපිත බව ඉවසීමකට පෙරලාගන්නවා විනා ගැහැනුන්ට වසා ගන්නට යැයි කටු කම්බි එලන්නේ ඇයි?
මේ ප්‍රශ්න හමුවේ පිරිමි ඔබ සිනාසෙන බව දනිමි. නමුදු ප්‍රියංකා හට සිදු වූ අමන ක්‍රියාව මතුවට මේ මිහිතලය මත කිසිදු ස්ත්‍රියකට වනු නොදකිනු පිණිස මෙසේ ලියමි. කියමි. ලිංගේන්ද්රියක් සහ තනපුඩු යුවලක් පිහිටි පමණින් කාන්තාවකගේ සුන්දරත්වය විනා තුච්ච ආශාවන් ඉටු කර ගැනීමට උත්සහ දරන අධමයන්ට එරෙහි වන්නට නම්,
කාන්තාවනි,
මහ මග , රැකියා ස්ථානයේ හෝ කිනම් තැනක වුව ඔබට එවැනි අයුතු යෝජනා හෝ අඩන්තේට්ටම් වන්නේ නම් ලද බොළද සිරුර යකඩයක් කරගන්න. සුන්දරය කියා මුරුංගා අත්තේ තබන හඬ වෙඩිල්ලක් කරගන්න. පශුවෛද්යවරියක් වූ ප්‍රියංකා සතුන්ට වඩා සතුන් වූ මිනිස් වර්ගයා අතින් ලොව හැර ගිය එවන් වේදනාත්මක කතාවන්ට නැවත මුලපුරන්නට අබමල් රේණුවක තරම්වත් ඉඩක් නොතබන්නට ශක්තිමත් වන්න..
She was much safer around animals than humans. Don’t compare these rapists to animals ! #rippriyankareddy