පෑඩ් සහ භාෂාවේ මර උගුල

ලංකාවේ බොහෝ දෙනාට භාෂාව වැටහෙන්නේ හුදු අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස පමණි.එහෙත් අදහස් යනු දෘෂ්ටිවාදී සංස්ථාපිතයක් බව බොහෝ දෙනෙකුට වැටහීමක් නැත.මෙය ලංකාවේ දේශපාලනය මතු නොව සාහිත්‍ය-කලා බඳු උපරි ව්‍යුහාත්මක මෙවලම් භාවිත කරන බොහෝ දෙනාට ද පවතින ඌනතාවයකි.

සජිත් කාන්තා සනීපාරක්ෂක තුවා පිළිබඳ පොරොන්දුවක් දුන් පසු ප්‍රතිවාදී ඊනියා වියත් අපේක්ෂකයින් හා ඔවුන්ගේ පාක්ෂික කථිකයින් භාෂාව පරිහරණය කරන ආකාරය විමසීමෙන් මෙකරුණ මනාව පැහැදිලි කර ගත හැකිය.සජිත්ගේ පොරොන්දුව සම්බන්ධයෙන් මොවුන් මතු කරන ප්‍රධාන තර්කය වන්නේ එබඳු කරුණු සම්බන්ධයෙන් විවෘත සංවාදයන්ට එළඹීම ආචාර ධාර්මික ගැටලුවක් වන බව ය.නමුත් අර්බුදය වනුයේ දැං සජිත්ටත් වඩා ඒ පිළිබඳ සංවාදය ඉදිරියට රැගෙන යන්නේ එම විරුද්ධ මතධාරීන් වීම ය.

අදාළ කරුණ ආචාර ධාර්මික නො වන්නේ නම් එය ම යළි ප්‍රතිවාදනය කිරීම කෙතරම් සදාචාරාත්මක වන්නේ ද?ඉන් පැහැදිලි වන්නේ මෙතැන කිසිදු සද්භාවී ප්‍රවේශයක් නොමැති බව ය.ඔවුන්ට සැබවින් ම අවශ්‍යය මේ පිළිබඳ විවෘතව සාකච්ඡා කිරීමට ය.එහෙත් එම විවෘත භාවය තුළ පවතිනුයේ තම අශ්ලීල ආශාව සංතර්පණය කර ගැනීමේ අවශ්‍යතාවය විනා අනෙකක් නො වේ.අසභ්‍ය කතා පැවසීමෙන් අප භුක්ති විඳින විනෝදය මීට බෙහෙවින් සමාන ය.බන්දු සමරසිංහ යනු මේ විනෝදය ලංකාව තුළ හොඳින් ම නිෂ්පාදනය කරන විනෝද කර්මාන්තයේ සංකේතයකි.

මින් අදහස් වන්නේ සජිත් මාර ශිෂ්ට සම්පන්න ව්‍යාපෘතියක් නියෝජනය කරන බව නො වේ.ඔහු විසින් මතු කළ සංවාදය මඟින් නිශ්චිත ව පෙන්වා දෙන කරුණ වනුයේ ලංකාවේ පීඩිත ස්ත්‍රිය මුහුණ දෙන ගැටලුවල බරපතළකම කෙතරම් තීව්‍ර ද, යන්න ය.එහෙත් එම ගැටලු නිර්මාණය කළෝ කවරහු ද?එම වගකීමෙන් සජිත්ට ගැලවිය හැකිද?තම සනීපාරක්ෂක තුවා ලබා ගැනීමට තරම් වත්කමක් නැති ගැහැනුන් නිර්මාණය වූයේ කවරක් නිසා ද?

මේ ප්‍රශ්නයේ කේන්ද්‍රය ඇත්තේ මෙතැන ය.සජිත් හෝ ඔහුගේ ප්‍රබල ප්‍රතිවාදී අපේක්ෂකයාට මේ ප්‍රශ්න ඇසිය නො හැකි ය.මන්ද යත් පිළිතුර ලෙස තමන්ට තමන් ම මුණ ගැසීම ස්ථිර බැවිනි.එනයින් ප්‍රතිවාදීන් මෙන් ම සජිත් මේ සිදු කරනුයේ ද, සැබෑ ප්‍රශ්නය මග හැර යාම ය.ඒ සඳහා මේ දෙපිරිස ම ඉතා සූක්ෂ්ම අයුරින් භාෂාව භාවිත කරමින් සිටින බව අප වටහා ගත යුතුය.

එනයින් භාෂාව මර උගුලක් වී ඇත්තේ අපට ය.වචන මඟින් හෙළි වන අර්ථ වෙනුවට එහි දෘෂ්ටිවාදය සමඟ පොරබැදීමේ දේශපාලනය තෝරා ගත යුත්තේ මේ හේතුවෙනි.එය අනාගත මානව විමුක්තිය වෙනුවෙන් අත්‍යවශ්‍ය වනු ඇත.

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *