Head Light” – එන්න! අපි, හෙඩ්ලයිට් ගහන් ම ගොඩක් දුර යං. – ( Head Light” 02 )

ජීවිතේ නොයෙක් හැල හැප්පිලි ආව ම මං කරේ හිත නිදහස් වෙන්න ඇවිදපු එක. අඬලා අඬල සිරී පාදෙ යන්න ඕනේ කියල තාත්තා එක්ක රණ්ඩු වුණත් තාත්තා මාව එක්කං නොගිය දවසක මං මගෙ ඇඳුං කෑලි දෙක තුනක් බෑග් එකකට දාගෙන ගෙදරටත් හොරෙන් කෝච්චියෙ හැටන්වලට ගිහින් සිරී පාදෙ ගියා. නඩයක් නැතුව කෝඩු කාරයෙක් යන්න හොඳ නෑ කියපු මතේට අභියෝග කරල මං සිරි පා මළුවට ම නැග්ගෙ තනියම. මිනිස්සු ප්‍රශ්න ආව ම හුදෙකලා වෙනව කිව්වට, මට තිබ්බෙ හුදෙකලාගත සංචාරයක්.

නීල් මාමගෙන් ගෙනාව බයික් එක හදන්න මට A/L ඉවර වෙලත් මාස ගානක් ගියා. නීල් මාමට පරණ වුණත් මට අලුත් නෙ. කොච්චර කොහොම වුණත් ලයිසන් නැතුව ටුවින් බයික් එක පැදපු කාලෙ ගැන මතකයේ එක එක පරිච්චේද තාමත් හිතට එන්නෙ, ඉදහිටක පාරෙ ටුවින් බයික් එකක් යනව දැක්ක ම.

ඕලෙවල් ඉවර වුණ ගමන් ගමේ කොල්ලො ටික කරේ දවස ගානෙ ගම් පහ හයකට එහා තියෙන ඇනිකට් එකට නාන්න ගිය එක. උදෙත් යනව, දවලුත් යනව, හවසත් යනව. හැබැයි එක්කෙනෙක් ගාවවත් අතේ සතේ නෑ. ඉවිෂ්කට තිබුණ සුපර්කප් එකේ තෙල් වැඩ කරනව නියමෙට. මගෙ ටුවින් එක. ඒකෙ නම් ටිකක් සැරයි. ඒත් ශේප්. ඇනිකට් එකට ගිහින් එන්න සීයක තෙල් හොඳට ම ඇති. සීයක තෙල් ඉවිශ්කට සතියකට ඇති. අපි සෙට් එකට අරමුණක් තිබ්බෙ නෑ. අදහස් තිබ්බෙත් නෑ. අපේ ජීවිතවලට ලයිට් එකක් වැදුණෙ නෑ ඒ කාලෙ. තිබ්බෙ මොකද්දෝ ආතල් එකක් විතරයි. ඔය ආතල් කුඩු වෙන්නෙ බයික් එකේ යද්දි පොලිස් ජිප් එක හරි පොලිස් නිළදාරියො දෙන්නෙක් හරි පාරෙ හිටියොත්. හැබැයි මම නම් කවදාවත් ලයිසන් නැතුව පොලිසියට අහුවෙලා දඩ කාලා නෑ. නෑ කියන්නත් බෑ. රහ කතාවක් තියෙනව එතන.

අනුරුද්ධ අයියා ගත්ත අලුත් ම බයික් එක අරං එයා ඉස්කෝලෙට ආවෙ ක්‍රීඩා වැඩකට.

“මල්ලි මං බයික් එකක් ගත්තා බං”

මටත් ඔහොම කියල එයා ක්‍රීඩා කාමරේ පැත්තට ගියා. ඔය දවස හරි දුක්මුසු දවසක්. මට නෙවේ. අපෙ ප්‍රින්සිපල් සර්ට. මොකද එයාගෙ අම්මා අන්ත්‍රාවෙලා අවසන් කටයුතු යෙදිල තිබ්බෙ එදාට. කිරිහලෙන් අයිස් එකකුත් කාලා ඉස්කෝලෙ වටේ කැරකි කැරකි ඉද්දි පණිවිඩයක් අරං මල්ලි කෙනෙක් දුවං ආවා මං ගාවට.

“අයියෙ කළ්‍යාණි මැඩම් එන්න කිව්ව” කියල.

එතකොටයි මතක් වුණේ, ඉස්කෝලෙ බස් එකේ ප්‍රින්සිපල් සර්ගෙ මළගෙදර යන්න කට්ටියට ලෑස්ති කරන්න මට භාර දුන්න නේද කියල. ශිෂ්‍ය නායක බැජ් එක එල්ලං රස්තියාදු විතරක් ම ගහලත් බැරි හින්ද මං කට්ටිය සෙට් කරා ටක් ගාල. ඒත් මගෙ හිතේ නම් ඒ ගමන යන්න කැමැත්තක් තිබ්බෙ නෑ. ඒ මං ලයින් දාපු ගෑණු ළමයත් ඔය ගමනට සහභාගී වෙලා හිටපු නිසා. හොදයිනෙ කියල හිතුනත් මගෙ තිබ්බ ලොකුකම ගමන වැළැක්වුවා. ඉතින් මං කට්ටිය ලෑස්ති කරල දීල එයාලට යන්න කියල ඉස්කෝලෙ ට වෙලා හිටිය. ෆැමිලියන් එකට වෙලා බස්හෝල්ට් එකේ නවත්තල තිබ්බ බස් එකට අන්තිම ළමයත් නැගල පිටත් වෙනකම් හිටපු මට එක පාරට මළගෙදර යන්න ඕනේ කියල හැගීමක් ආව. දැන් ඉතින් කොහොම යන්නද? බස් එකත් ගියා. මට මතක් වුණේ අනුරුද්ධ අයියගෙ අලුත් බයික් එක. වටයක් ගහද්දි පුස්තකාලෙ ළගින් අනුරුද්ධ අයියව හම්බවුණා.

“අයියෙ දියං කො යතුර පොඩි වටයක් ගහන්න” මං ඉතින් හිතේ තිබ්බ දේ හංගල වචන හැසිරෙව්වා.

“පිස්සුද බං!, ලයිසන් තියෙනවද ?”

බෑ නොකිය අනුරුද්ධ අයියා අහපු දෙයින් මට තවත් හයියක් ආවා.

” ඕ. මේ තියෙන්නෙ”

පරණ වෙච්ච ලයිසන් එක අනුර මාමා විසි කරන්න යද්දි මං ඉල්ලගෙන පර්ස් එකට දා ගත්තා දවසක්. මං ඒකෙ කොනක් විතරක් පෙන්නල යතුර ගත්තා. යතුරත් අරං හෙල්මට් එකත් දාගද්දි අමාසීර් මල්ලි මං ගාව.

“අයියේ මාත් එනවා යන්න රවුමක්.”

“පිස්සුද බං මං මළගෙදර යන්නෙ! ඔහොම හිටපන්”

“නෑ නෑ මං එනව ම යි. හරි යං මළගෙදර අවුලක් නෑ.”

අමාසීර් වදයක් වෙන්න ගත්තා. අනුරුද්ධ අයියා ආවොත් වැඩේ අවුල් යන හින්දා මං ඌවත් ගොඩ කරන් ඉස්කෝලෙ ගේට්ටුවෙන් එළියට ආව. ඉස්කෝලෙ ප්‍රධාන ගේට්ටුවෙ ඉදන් මීටර් සීයක් විතර තියෙනව ප්‍රධාන පාරට. දැන් ඉතින් මට හරි සතුටුයි. මළගෙදර තමා මඟුල් ගෙයක් වගේ මැවි මැවි පේන්නෙ. අර ගෑණු ළමයා මට කෝපි අල්ලනව, බිස්කට් ගෙනත් දෙනව වගේ හීන ගොඩක් දැක දැක, මීටර් සීය ගිහින් ප්‍රධාන පාරට දාන්වත් එක්ක ම ඇහුනෙ කිසි ම දාක ලයිසන් නැතුව බයික් එකක් පැදන් යන ඉස්කෝලෙ ළමෙක්ට ඇහෙන්න හොඳ නැති දෙයක්. ඒ පොලිස් විසිල් එකක්. මට අණක් දුන්නා නවතින්න. මොනා කරන්න ද ඉතින් දැන් කියල හිතල මාත් නැවැත්තුවා. නවත්තනකොට ම පොලිස් නිළදාරියෙක් ඇවිත් ගත්තා යතුර බයික් එකේ. බයික් එක මගෙත් නෙවේ, හෙල්මට් එක මගෙත් නෙවේ. අතේ තියෙන හොර ලයිසන් එක මගෙත් නෙවේ. දැන් මොකද කරන්නෙ කිය කියා හිත් හිතා පිටිපස්ස බලද්දී අමාසීර් මල්ලි නෑ. මං හිතන්නෙ ඉස්කෝලෙ එතෙක් මෙතෙක් බිහිවුණ හොඳම මීටර් සීය දුවපු ක්‍රීඩකයා අමාසීර්. පොලිසියෙන් බයික් එක ළඟට එන ඇහිල්ලට මූ බයික් එකෙන් පැනල ඉස්කෝලෙ ගේට්ටුවෙනුත් ඇතුලට දුවලත් ඉවරයි. ආමාසීර් තමන්ගෙ හොඳ ම දිවිල්ල වාර්තා කලේ මාවත් හළලම. දැන් ඉතින් මොනා කරන්නද?…

“කොහෙද යන්නෙ? කෝ ගන්න ලයිසන්”

පොලිස් නිළදාරියෙක් සුපුරුදු තදයක් තවත් සැර කරල පොඩි එකෙක් වෙච්ච මට අතඇරිය.

“නෑ”

අනුරුද්ධ අයියට පෙන්නපු බොරු ලයිසන් එක පෙන්නුවොත් එහෙම වැඩේ දුරදිග යන බව දැනගෙන ම මං ඇත්තම කිව්වා.

“කොහෙද යන්නෙ?”

“ප්‍රින්සිපල් සර්ගෙ මළ ගෙදර”

“දැන් යං පොලීසියට”

දෙලෝ රත්වුණා. කටේ කෙළ හිඳුනා. ඈතීන් පේනව අනුරුද්ධ අයියා එනවා අතපය විසිකර කර. ආමාසීර් ගිහින් පණිවිඩේ කේලමක ස්වරූපයෙන් කියල අලුත් ම බයික් එක පොලිස් භාරයේ දැන්.

“මොනාද බං කරන්නෙ”

දැන් ඉතින් කන් ඉවරයි. මළගෙදර “මගෙ” වෙන තත්වයක් උද්ගත වුණේ මගෙ ජාතික හැදුනුම්පතත් ආරක්ෂාවට කියල අම්මා අල්මාරියෙ දැම්මා කියල මං පොලිසියට කිව්වහම. ආසාවට බයික් පදින්න ගිහින් වෙච්ච දරුණු ම සිද්ධියක් තමා ඒක. දැන් රස වුණාට ඒ වෙලාවෙ දැණුන හැගීම වචන කරන්න බෑ ඇත්තට ම. කොහොම හරි ළඟින් කතා බහ කරන් බේරුනේ පූරුවෙ කරපු පිනකට. බයික් එක පදින්න තිබ්බ ආසාව කාකි ඇඳුම්වලට යට කරන්න බැරි වුණා. ඊට පස්සෙත් මං ලයිසන් නැතුව හැමතැන ම ගියා බයික්වල. මිනිස්සු ආස කරන ගොඩක් දේවල් මිනිස්සුන්ට ලැබුණත්, සමහර වෙලාවට අපිට ඒ දේ මඟ ඇරෙන්න යන්නෙ බොහොම පොඩි වෙලාවයි. කුරුල්ලෙක් වගේ හීන දැක දැක බයික් එකට ගොඩ වෙලා විනාඩි දෙකක් යන්න වුණේ නෑ මගෙ හීන ලෝකෙ ම කඩන් වැටුණ.

හුදකලාගත සංචාරයකින් මට ජීවිතේ එළියක් පෙණුනා. හදාගත්ත බයික් එකේ වැඩට යද්දි කඩවත කලර් ලයිට් එකේදි මං දැක්කා එළිය හොයන ළමයෙක් ව. ඒ ළමයා හිටියෙ ලොතරැයි කූඩුවක. ඉස්කෝලෙ ඇරිල කෙලින් ම ලොතරැයි කූඩුවට ගොඩවෙලා වග සුදු ගවුමෙන් හොදට කියවෙනව. අනේක විඳ දේවල් දරාගෙන ඒ ළමයා මහ සතුටින් තමන්ගෙ අම්මත් එක්ක හිනාවෙනවා. ඒ හිනාව දකිද්දි මට නම් හිතුනෙ මිනිස්සු හිනාවෙනව නම් ලෝකෙ කොච්චර ලස්සන ද කියල.

හැබැයි මිනිස්සුන්ට නිර්ව්‍යාජව හිනාවෙන්න බෑ කියල මට ඊළඟ මොහොතෙ තේරුනේ මං අර ළමයා දිහා බලං ඉන්න අතරෙ කලර් ලයිට් එකේ කොළපාට පත්තුවෙලා තිබුණ හින්දා. පිටිපස්සෙ වාහනවල නළා උඩ නැගල හිටිය මිනිස්සු මට පරක්කු උන තප්පරයට දෝස්මුර තියන්න ගත්තා. බයික් එක පරණ නිසා එයාලගෙ බැනුම් තවත් දරුණුයි.

මිනිස්සු මිනිස්සුන්ව මනින්න එක එක දේවල් පාවිච්චි කරනව. ඒත් මට දැණෙන්නෙ මිනිස්සුන්ට මිනිස්සුන්ව දරාගන්න පුළුවන් වුණ දවසට මිනිස්සුන්ට මිනිස්සුන්ගෙ දාඩිය සුවද දැණුනු දවසට ඔය කලර් ලයිට්වල ගියර් එක මාරු කරගන්නකල් ඉන්න බැරි රියදුරන් ගහන හෝර්න් හඬක් අපිට ඇහෙන්නෙ නැතිවෙයි කියල. එදාට අපි මිනිස්සු කියල අපිට ම හිතෙයි. හෙඩ් ලයිට් වදින්නෙ ම ගොඩක් දුරට.

– අරුණ මධුශාන්.

One thought on “Head Light” – එන්න! අපි, හෙඩ්ලයිට් ගහන් ම ගොඩක් දුර යං. – ( Head Light” 02 )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *