හිඟන්නන්ගේ ටොකු ඇනගැනීම හෙවත් ජනාධිපතිවරණය – සඳුන් ප්‍රියංකර විතානගේ

අහෝසි කරනවා යැ යි පරසක්වල ගැසූ විධායක ජනාධිපතිධුරය වෙනුවෙන් නැවත පැවැත්වෙන ජනාධිපතිවරණයක මුවවිටට ශ්‍රී ලංකාව පැමිණ තිබේ. සකල සමාජය ම පාහේ විවිධ ගොඩවල්වලට බෙදමින් සීමා ඉරි ලකුණු කරගනිමින් සිටියි. අපේ ස්ථාවරය ද විවිධ අන්දමින් විමසීමට ලක් කෙරෙයි. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපේ ස්ථාවරය කුමක් ද?

දිවිගෙවන රට සම්බන්ධයෙන් අප උනන්දු වෙන අතිශය වැදගත් කරුණු කිහිපයක් තිබේ. දැනට රජයන ආර්ථික සැකැස්ම සහ දෘෂ්ටිවාදී සැකැස්ම අතිශයින් පිළිකුලෙන් යුතුව බැහැර කරන්නෙමු. ඒවාට ප්‍රතිපක්ෂ ආර්ථික සැකැස්මක් සහ දෘෂ්ටිවාදී සැකැස්මක් යෝජනා කරන කිසි බලවේගයක නියෝජිතයෙක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද? යන්න අපගේ අතිමූලික පැනය යි.

වසර 4කට පෙර ශ‍්‍රී ලංකාවේ බලහුවමාරුවක් සිදුවිය. එය මෑත කාලයේ රටෙහි සිදු වූ ප‍්‍රගතිශීලී දේශපාලන වර්ධනයක් ලෙස සලකමින් ම මෙය ලියැවෙයි. අතිශය අමාරු සහ ගෝත‍්‍රික ඉසව්වකට වැටෙමින් ගිය රට පෙර කී දේශපාලන බලහුවමාරුව නිසාවෙන් තිරිංගලෑමකට ලක් වුණි. මහින්ද රාජපක්ෂ රෙජිමයේ අඩුලුහුඬුකම් සහ එහි දුෂ්ට ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ගමන් මග ගැන අප එකල ද මැතිවරණ සමයේ ද ඇති පදම් ලීවෙමු. ඒවා තවදුරටත් ලිවීම අපුල දනවන කටයුත්තකි. සමහර පාර්ශ්වයන්ට එකී පරණ තැටියම වාදනය නිස්සක් සේ පෙනුණත් අපට එසේ නොවන බැවිනි.

දේශපාලනිකව සලකන්නේ නම්, ජනවාරි 08 වැනි දා බලය ලැබුණේ ජාතිවාදයට එරෙහි බලවේගයකට ය. සියලු කතිකාවන් දේශපාලන අක්ෂයන් කේන්ද්‍රව තිබුණේ, ජාතිකවාදය නමින් ප‍්‍රබුද්ධව හඳුන්වන නමුත් ‘ජාතිවාදී’ බලවේගයේ ප‍්‍රාර්ථනාවලින් සපුරා වෙනස් තැනකට ය. සිවිල් සමාජය, බහුතර කලාකරුවන්, දෙමළ ජනතාව බහුතරයක්, ප‍්‍රගතිශීලින්, රාජ්‍ය නොවන සංවිධාන සියල්ල නියෝජනය කළේ ගෝත‍්‍රික වහල්භාවය වෙනුවට මිනිස් නිදහසත්, ජාතිවාදය වෙනුවට ජාතික සමගියත්, මර්ධනය වෙනුවට විවේචනයත් ආදී වශයෙන් දියුණු දෘෂ්ටියක් නියෝජනය කළ ඒ පිරිස දැන් සිටින්නේ බලාපොරොත්තු කඩවී ය. මෙකී බලවේගවල පොදු අපේක්ෂකයා බවට පත් ව, මෙකී බලවේගවල දෘෂ්ටිය වෙනුවෙන්, මෙකී බලවේගවල හයියෙන් බලයට පැමිණි මෛත‍්‍රීපාල සිරිසේන වත්මන් ජනපතිවරයා ඒ සියල්ලට ම පසුපස හැරවූයේ ය. තමා බලයට පත්කළ බහුතරයක් ජනතාවගේ කැමැත්තට එදිරිව ඔහු රාජපක්ෂවරු නියෝජනය කරන කඳවුරේ දෘෂ්ටිවාදයට නතු වූයේ ය. සිංහල බෞද්ධ අන්තවාදයට නතු නොවී කටයුතු කරන්නට පහසුවෙන් නොහැකි බව ඉතිහාසය විසින් එසේ තවත් අවස්ථාවක දී පෙන්වා සිටියේ ය. බණ්ඩාරනායක මිය ගියේ තමා විසින් ම පෝෂණය කරන ලද බලවේගයේ ගොදුර බවට පත්වීමෙනි.

දේශපාලන බලතුලනය වෙනුවෙන්, බලවේග කළමනාකරණය කිරීම වෙනුවෙන් වෙහෙසීම ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ කොටසේ ජීවන විලාසිතාව බවට පත්ව තිබුණේ ය. බලය ලබා ගැනීමට ඉවහල් වූ හේතු සහ ජනවාරි 08 පොරොන්දු ඒ වන විට මතකයෙන් ගිලිහී ගොසිනි. එකිනෙකාට ඇඟිල්ල දිගු කරගැනීම්, ජනතාවට විහිළු සැපයීම් වඩා ඉස්මත්තට පැමිණුනි. ඒ අතර එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ දරුණු ම කළු පැල්ලමක් ද සටහන් වූයේ රටට එහි අඳුර වඩාත් ප‍්‍රකට කරමිනි. පිරිසිදුබවේ සංකේතයක් ලෙස ඔජ වඩවා සිටි රනිල් වික‍්‍රමසිංහ මෙරට පුරවැසිකමවත් නැති සිය පාසල් මිතුරා මහබැංකු අධිපති ධුරයේ පිහිටවූවේ ය. ඔහු මෙරට ජාතික ධනය බිලියන ගණනක් ජනතාවගෙන් අස්වාමික කළේ ය. ජනතාවගේ පාර්ශ්වයෙන් ද වත්මන් රජය බලයට පත් කළ පිරිසගේ ද සතුටට හේතුවන කරුණු සිදු වූයේ බොහෝ අඩුවෙනි. තොරතුරු දැනගැනීමේ පණත වැන්නක් සම්මත කැර ගැනීම වැනි කිහිපයක් සිදු නොවූයේ නොවේ. නමුත්, ඒවා කන්දක් විළිලා මී පැටියෙක් වැදුවා වැන්නකින් එහාට ගියේ නැත.
එපමණක් නොවේ. ජාතිවාදී ගිනිදැල් ඇවිල ගියේ ජනතාවගේ සිත්සතන් භීතියට පත් කරමිනි. කුඩා සිදුවීමකින් එය මහත් විනාශයක් දක්වා පැතිර යත් දී එය සමහන් කරන්නට බැරි තරම් ආණ්ඩුව අකාර්යක්ෂම වූයේ ය. තවදුරටත් රට ඇත්තේ, ඕනෑම ගොබ්බ ජාතිවාදී වඳුරු වලිගයකින් ගිනි තබන්නට හැකි තත්වයේ ය.

රටෙහි ආර්ථිකය පැත්තෙන් ආණ්ඩුව සුබවාදී යමක් කළේ නැත. බදු වැඩි කරනවා විනා ආර්ථිකය ගොඩගැනීම විෂයෙහි ආණ්ඩුව විසින් කළ නිර්මාණශීලී මැදිහත්වීමක් ඇත්තේ නැත. ආණ්ඩුව විසින් හාරා පාදා දුන් දෙයක් ද නොවන අපනයන භෝග වෙළඳපොළ ද පසුගිය සමයේ කඩා වැටී තිබේ. ගම්මිරිස් මිලට සිදුවූ අර්බුදය උදාහරණයකට ගත හැකි ය. ආණ්ඩුවේ හිතවතෙක් වියට්නාමයෙන් ගෙන්වන බාල ගම්මිරිස් වර්ගයක් මෙයට හේතුව ලෙස ආරංචි පැතිර ගියේ ය. ආරංචි ඇත්ත හෝ නැත්ත වේවා පසුගිය වසරේ තිබු මිලට වඩා අර්ධයකින් ඒවායේ මිල පහළ ගොස් තිබේ.

රටෙහි ආර්ථිකය ඇත්තේ අන්තිම දරුණු අඩියක ය. ණය කන්ද බිලියන 1500කට ආසන්නයේ බව කියැවේ. පුනරාවර්තන වියදම සඳහාවත් රජයේ ආදායම ප‍්‍රමාණවත් නැත. පසුගිය දා විගණකාධිපතිවරයා දැක්වූ කරුණු සැලකිල්ලෙන් විමසා බලද්දී පෙනී යන්නේ රටක් ලෙස මේ අර්බුදය කෙරෙහි සියලු දෙනා පෙළගැස්විය යුතු මොහොතක් විනා මේ ගෙවන්නේ දැන් ගෙවමින් සිටින පරිදි බහු රූ කෝලම් නටන කාලපරිච්ඡේදයක් නොවන බව යි. විගණකාධිපතිවරයා රාජ්‍ය ණය සමස්තය කෙතෙක් දැ යි කියන්නට පවා අසමත් විය. 2005 දී රුපියල් ලක්ෂය මදකින් ඉක්මවා තිබූ ඒක පුද්ගල ණය ප‍්‍රමාණය මේ වෙත් දී රුපියල් ලක්ෂ 4ක් ඉක්මවා ඇති බව ය. දළ දේශීය නිෂ්පාදන ප‍්‍රතිශතයේ දරුණු ම කඩාවැටීම 2017 වසරේ වාර්තා වී තිබේ. ඒ 3.1% ලෙස ය. මෙබඳු කඩා වැටීමක් වාර්තා වී ඇත්තේ වසර 16කට පසුව ය. මෙය මෙසේ පැවතුණහොත් පසුගිය කාලයේ මුදල් නෝට්ටු ගෝනියක් දී පාන් රාත්තලක් මිලදී ගන්නට සිදුවෙන මට්ටමට ආර්ථිකය කඩා වැටුණු රටවල් ගොන්නට මෙරට එක් වීමට මහ කාලයක් ගතවන්නේ නොවේ.

සමාජ අර්බුද විෂයෙහි ද රට ඇත්තේ අන්තිම ජරාජීර්ණ තැනක ය. කාන්තා හිංසනය සහ දරු දූෂණය පැත්තෙන් රට කප් ගසා තිබේ. හය හතර නොතේරෙන කුඩාවුන් දූෂණය කර මරා දැමෙති. කිසිදු විනයක් ශික්ෂණයක් රහිත ව වාහන පදවන්නන් විසින් බිලිගන්නා ජීවිත සංඛ්‍යාව ද සුළුපටු නොවේ. කුඩා තැන සිට ඉහළට අල්ලස දූෂණය ඉතිරී පැතිරී ඇත්තේ ය.

රට ඇත්තේ පරණ තැන ම ය. ඉදිරියට ගොස් නැත. විෂ පිරී තිබෙන කේක් ගෙඩියේ කුඩා කුඩා තැන්හි අයිසින් තැවරුවා පමණකි. මේ සියල්ල මෙසේ සිදුව තිබෙද්දී රට ඇත්තේ ජනාධිපතිවරණයක මුවවිට ය.

ජාතිවාදී කඳවුරට ප‍්‍රතිපක්ෂව සිටුවා තබන්නට හැකි ජවසම්පන්න නායකත්වයක් නැති බව පැහැදිලි ය. සජිත් පේ‍්‍රමදාස ආර්.පේ‍්‍රමදාසගේ දුර්වල අනුකරණයක් විනා කැරිස්මාවක් සහිත නායකයෙක් වත් රජයන දෘෂ්ටිවාදයට ප්‍රතිපක්ෂ මතවාදයක් දරන්නෙක්ද නොවේ.

සිවිල් සමාජය නම් එකතුව කෙරෙහි තවදුරටත් ජනතා මතයක් නිෂ්පන්න කළ හැකි ද? ඇත්තවශයෙන් ම සලකා බලන්නේ නම් සිවිල් සංවිධාන එකතුවෙන් සංවිධිත දේශපාලන ව්‍යාපාරයක් තිබුණේ නැත. එය හදිසියේ අටවාගත් නාමධාරී සිවිල් බුද්ධිමතුන්ගේ සහ ක‍්‍රියාකාරිකයන් පිරිසකගේ එකතුවක් පමණකි. ඔවුන් ද නිශ්චිත දේශපාලන දර්ශනයක් රහිතව එක්වන පිරිසකට නියත ව සිදුවන පරිද්දෙන් බිඳී විසිර ගොස් ඇති බව දැන් දැක්ක හැකි ය. සමහරු මුල්කාලයේ ම නිෂ්ක‍්‍රීයව ගිය අතර, සමහරෙක් ආණ්ඩුවේ ඇමැතිවරුනගේ ඔඩොක්කුවේ වැටුණෝ ය. තවත් සමහරු ජනපතිවරයාගෙන් අධ්‍යක්ෂ ධුර ලබා අවසඟව ගියෝ ය.

කරුණු සාවධානව සලකා බලද්දී ජාතිවාදී කඳවුරට එරෙහිව ස්ථානගත වන්නට සිටින බලවේගය ඇත්තේ අමාරු අඩියක ය. ඇති එක ම සහනය උතුර සපුරා ගෝඨාභය හෝ එවැන්නෙකුට සහය නොදක්වතැයි යන පුරෝකථනය පමණි. අපගේ අදහස නම්, ජාතිවාදී කඳවුරට එරෙහිව ස්ථානගත කළ යුතු අපේක්ෂකයා වනාහි තවත් පැහැයෙන් අඩු ජාතිවාදියෙක් වන සජිත් ප්‍රේමදාස වැන්නෙක් නොවේ. සිංහල රණකාමී ඡන්ද ගොඩෙන් ටිකක් වෙනුවෙන් කරන ඒ වෑයම අවසන් වීමට නියමිත වන්නේ, වර්තමානයේ සිදුව ඇති පරිද්දෙන් දේශපාලන විගඩමක් බවට පත් වී ය.

රට වැටී ඇති දරුණු ආර්ථික අර්බුදය ආන්තික නොවී කළමනාකරණය කරගත හැකි, දෙමළ ජනතාව සම්බන්ධයෙන් දේශපාලන විසඳුමක් කෙරෙහි නිර්භය වන, මානව නිදහස උත්තම ගණයේ ලා සලකන, විධායක ජනපති ධුරය සැබෑ ලෙසම අහෝසි කරන්නට එකඟ, රාජ්‍යයෙහි අනාගමිකභාවය පිළිගන්නා අතර ම රණකාමී සිංහල බෞද්ධ ජාතිවාදයට එඩියෙන් විරෝධය පළ කළ හැකි, වැඩවසම් සහ ගෝත‍්‍රික ලක්ෂණ කෙරෙහි නැමී නොයන, දූෂණය සහ සොරකම කෙරෙහි සැබෑ විරෝධයක් ඇති සැබෑ (ලිබරල් වත්) නායකයෙක් මේ ඉදිරිපත් ව සිටින පිරිස අතර සිටී ද?

මේ බඳු සද්ලක්ෂණ ඇති අපේක්ෂකයකු සිටියේ නම් වාම පක්ෂවල සහ ප‍්‍රගතිශීලී දේශපාලන කණ්ඩායම්වල ජාතික ගැටලුව කෙරෙහි ඇති සැබෑ එළැඹුම, සිංහල බෞද්ධ රණකාමය සහ අධිපතිවාදී බෞද්ධ භික්ෂු බලවේග වෙත ඇති ඔවුන්ගේ සැබෑ දෘෂ්ටිය, මිනිස් නිදහස කෙරෙහි වන නැමී යාමේ පරිමාණය ද ප‍්‍රශ්න කෙරෙනු ඇති.

ජාතිවාදය වෙනුවට වඩා වැඩි ජාතිවාදයත්, එය අසමත් තැන ජාතිවාදය වෙනුවට පැහැයෙන් අඩු මුත් සැඟවුණු ජාතිවාදයත් ගෙන ආ ක‍්‍රමයට විමතිකව දැන් රට විසින් ඉල්ලා සිටින්නේ ජාතිවාදය වෙනුවට එහි සැබෑ ප‍්‍රතිපක්ෂය වන මානවපේ‍්‍රමය සහ මානව නිදහස යි. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යි. එවැනි මට්ටමකට දියුණු කරන ලද කැරිස්මාවක් සහිත දේශපාලන නායකයෙක් සමකාලීන දේශපාලන පොරපිටියේ නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. බොහෝ මිතුරන් මෙන් ජනතා විමුක්ති පෙරමුණේ කතා සාප්පුවට වහවැටෙන්නට තරම් බොළඳකමක් අප සතුව නැතිවීම කණගාටුවට කරුණක් ලෙස අප සිතන්නේ නැත. අප ඉහත සඳහන් කරන ලද කොන්දේසි විෂයෙහි ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයන් ගත වුණු කාලවකවානුව පුරා දකින්නට ලැබුණු අතර ඒ කිසිදු තැනක දී ඔවුන් දක්ෂිණාංශික දේශපාලන ප්‍රවාහයට වෙනස් බවක් ක්‍රියාවෙන් පෙන්වා සිටියේ නැත. වචන ටොන් ගණනකට වඩා ක්‍රියාව අවුන්සයක් විශ්වාස කරන අප එළැඹෙන මහමැතිවරණයක දී වැඩි ආසන ගණනක් දිනාගැනීම වෙනුවෙන් ජවිපෙ දරණ මේ වෑයම ගැඹුරින් සලකා බලන්නේ ද නැත. කෙසේ වෙතත්, අපගේ ද මිතුරු සමහර සංස්කෘතික ක්‍රියාධරයන් විවේචනයට ඇති ඉඩද අතහැර දමා ජවිපෙකරණය වීම ගැන නම් ඇත්තේ කණගාටුවකි.

මේ ඉදිරිපත්ව සිටින කවරෙක් ජනපති වුව ද තත්වයන්හි සුවිශේෂී වෙනසක් සිදු නොවන බව අපගේ දේශපාලන අවබෝධය පවසයි. ආර්ථික අර්බුදය ගුණාත්මක වෙනසකට භාජනය වන තැන දී ෆැසිස්ට්වාදය උත්තරය ලෙස තෝරාගැනීම සජිත්ද ගෝඨා ද කියා වෙනසක් නැත. වෙනස පවතිනු ඇත්තේ එය තෝරාගන්නා කාල වකවානුවල පමණි. සැබෑ ප්‍රතිපක්ෂයන් දෙකක් රහිත ජනාධිපතිවරණයක් එසේ නැත්නම් හිඟන්නන්ගේ ටොකු ඇනගැනීමක් අප බරපතළෙට බාර නොගන්නා බව අවසාන වශයෙන් සටහන් කර තබමු. මිතුරනි, ඔබෙ නුවර ඔබ යන්න. සිරිවිසිතුරු ගැන අප පසුව කතා කරමු.

සඳුන් ප්‍රියංකර විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *