රැඩිකල් යකින්නි… – අනු කලන 02 – අනූ ප්‍රනාන්දු

සමහරු කියනවා මම රැඩිකල් කෙනෙක් කියලා..සමහරුන්ට අනුව මම සාම්ප්‍රදායික කෙනෙක්…තවත් සමහරු කරන චෝදනාවක් තමයි මම මේ දෙකේම කවලම් පලාවක් කියන එක.

ඇත්තටම “රැඩිකල්” වීම කියන එකේ තේරුම මොකක්ද? ලතින් බසින් “රැඩික්ස් ” radix කියන්නෙ මූලධර්ම fundamentals වලට. මූලධර්ම වලින් අපගමනය වීම රැඩිකල් වීම කියලයි පොදු භාවිතය.

රැඩිකල් වීමත් කලාවක්…මේක හරියට දැන ගියොත් කතරගම ..නොදැන ගියොත් අතර මඟ…වගේ දෙයක්….
සම්මතයෙන් අපගමනය වෙද්දි ඒක හරි පරිස්සමට කරන්න ඕනි දෙයක් වගෙයි මට නම් පේන්නෙ…

වෙන්නන් වාලේ රැඩිකල් වෙන්න බෑ.කරන්නෙ මොකක්ද කරන කියන දේ ගැන අවබෝධයක් තියෙන්න ඕනි. නැත්නම් එතන ඇතිවෙන්නෙ විනාශයක්. සමාජෙ ඉස්සරහා ගොන් පාර්ට් එකක් වීමක්.සරලවම වෙන්නෙ එච්චරම එච්චරයි.

අපි දැකපු හොඳම රැඩිකල් පුද්ගලයා තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ…සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් අවුරුදු ….සම්බුද්ධත්වයට පත්වෙන්න අදිටන් කරන් සංසාර සාගරේ කරක් ගහපු එකම මම නම් දකින්නෙ මහා රැඩිකල් කමක් විදිහට.උන්වහන්සෙටත් ඉන්න තිබ්බනේ අපි වගේ …සැපේ දුකේ ඇලී ගැලී…..

පැවතුනු රාමුවෙන් පිටතට ,අඩිය තියන්න හිතුනේ…කෙළ කෝටියක් සත්වයින්ට නිර්වාණ මාර්ගය මේ කියලා පෙන්වන්ට උන්වහන්සෙට හිතුනේ…ඒ උදෙසාම අනන්ත වෙහෙසක් දුකක් වින්දේ ඒ රැඩිකල් කම නිසා නෙවීද?
ඒ රැඩිකල් කම වන්දනීයයි…පූජනීයයි.. මහා ආශ්චර්යයජනකයි …

නිකමට හැරෙමු..කල්වාරියට…

බරට බරේ කුරුසියක් කරේ තියන් කස පහර කමින් වේදනා බරිතව කන්ද නගිනවා…ජේසු ස්වාමි දරුවන්……මොකක් නිසාද?…
පැවතුනු ක්‍රමයට පිටින් සිතීම, දේශනා කිරීම නිසා…මිනිස්සුන්ගෙ චින්තනය වඩා යහපත් කරන්න තම දේශනා උපයෝගී කරගත් නිසා…
උන්වහන්සේත් මහා රැඩිකල් උතුමෙක්….පැවතුනු සමාජය…රාජ්‍යත්වය…. එදා උන්වහන්සේගේ අගේ , දැක දැකත් ප්‍රතික්ශේප කලේ…..ඒ රැඩිකල් ගමන….ඔවුන්ට දරාගන්න බැරි වුන නිසා..නෙවීද?

හෙම්ලොක් යුෂ කුසලානයක් අතේ තියාගෙන රෝබ් එකක් (robe )
ඇදලා ඉන්න අවුරුදු අසූවක කෙනෙක් හෙම දැක්කාද?… සත්‍ය විතරක්ම පැවසූ නිසා…තමුන්ගෙ විචාර බුද්ධිය මෙහෙයවපු නිසා රජ අණින් , වස පානය කරලා මිය යන්න නියම වූ රැඩිකල් සිතන්නා…සොක්‍රටීස්……ඉතිං රැඩිකල් උනොත් සොරි වෙන බව දැන් පැහැදිලියි නේ..?.

“මට දණ්ඩක් සහ ගල් කුට්ටියක් දෙන්න…මම ලෝකය දැනට තියෙන තැනින් ඔසවලා වෙන තැනක ස්ථානගත කරනවා” කියපු ආකිමිඩීස් ටත්…ග්‍රහ ..තරු…හැම දේම එක්ක හැප්පුණු ලෝකය ගෝලාකාරයි කියලා හත් අතේ ඔප්පු කරපු ,ගුරුත්වජ ත්වරණය ගැන මූලිකම අදහස දීපු ගැලීලියෝ ගැලීලි ටත් වෙච්ච දේ බොහෝදුරට සමානයි…

මේ රැඩිකල් යක්කුන්ට…සමාජය බය වුනා….පවතින සුවපහසු කලාපයේ (comfort zone) පවුරු පදනම් දෙදරවා හරින අදහස් වලට මිනිස්සු කවදත් …බයයි….ඒකයි ඇත්ත කතාව….
මෑත ඉතිහාසයේ අති සුන්දර රැඩිකල් සලකුණ …ඩයනා කුමරිය…ප්‍රංශ උමං මාවතකදී මරණීය රිය අනතුරකට මුහුණ දෙන්නෙ ඇයි?….ඒ රැඩිකල් කම උද්දච්ච රාජකීයත්වයට නොරිසි නිසා නෙවීද?

එඩිසන් නවදහස් නවසිය අනූ නව වතාවක් වරද්දගෙන ඊලඟ වතාවෙ සූත්‍රිකා විදුලි බුබුල නිපදෙව්වා…. ඒත් රැඩිකල් මනුස්සයෙක්…..ඊටත් වඩා එඩිසන් , තමුන්ගෙ බුද්ධිය හූරන් කද්දි (picking brains) එඩිසන්ට සහය දීපු නිකොලා ටෙස්ලා කියන්නෙත්….රේඩියම් වගේ විකිරණශීලි මූලද්‍රව්‍යයන් සොයාගත්තු මාරි කියුරි කියන්නෙත් , එකී මෙකී නොකී සෑම සියලු දෙයක්ම සොයාගත් හා නිපදවූ අය කියන්නෙත් අති -රැඩිකල් අය.

රැඩිකල් වීම කියන්නෙ මොකක්ද හැබෑටම?.පොතෙන් පිට යාම නෙවීද?

පොතේගුරාලා ගොඩක් මැද out of the box හිතන එකෙක් ඉන්නවා නම්…ඔහු වඩාත් ප්‍රායෝගික නම් …ඒ රැඩිකල් කම නෙවීද?…

මොළයේ බිලියන ගාණක් තියෙන නියුරෝන වලින් අයින්ස්ටයින් වැඩ ගත්තෙත් 17%ක් වගේ සුලු ප්‍රමාණයක් කියලයි කියන්නෙ…එතකොට පොදු ජහමනයා ගෙ තත්වය මොකක්ද?….අඩුම ගානේ සාමාන්‍ය තත්වයට වඩා නියුරෝන දෙක තුනක් හරි පුබුද්දලා වැඩක් ගන්න එකෙක් ඉන්නවා නම් අන්න ඌ රැඩිකල් පොරක්….ඒ රැඩිකල් කම මම දකින්නෙ මුළු මහත් මනුස්ස සංහතියටම පලක් ප්‍රයෝජනයක් වෙන දෙයකට යෙදෙව්වොත් තමයි වටින්නෙ…

මොකද හිට්ලර් කියන්නෙත් රැඩිකල් මනුස්සයෙක්.ලක්ශ ගාණක් යුදෙව්වො සමූල ඝාතනය කරන්නත් එසේ මෙසේ රැඩිකල් චින්තනයක් නෙවී තියෙන්න ඕනි.
මහා දාර්ශනික දාන්ටේ ගෙ රැඩිකල් මතවාද ඔස්සේ පියනඟලා කැමරූජ් ගරිල්ලා සංවිධානය මෙහෙයවපු පොල්පොට් උනත් පට්ට රැඩිකල්…මේ අපි නොහිතන පැති.රැඩිකල් කමේ අඳුරු පැතිකඩවල්….

වෙන එකක් තියා…විමුක්ති ඊළාම් ස‍ංවිධානය ගොඩනගපු කිරුබා හෙවත් වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන්නෙත් රැඩිකල් දඩබ්බරයෙක්….එකා පිට එකා මැරි මැරී වැටෙද්දිත් අතාර්කික සිහිනයක් කරා තමන්ගෙ රැහේ උන් මෙහෙයවපු එකත් ඒ අඳුරු රැඩිකල් කමේ බලපෑම මොනවට පැහැදිලි කරන අවස්ථාවක්.

මේ විදිහට කළු -සුදු අන්ත දෙක අතර දෝලනය වෙන රැඩිකල් වීමත් අමුතුම රැඩිකල් කමක් ම තමයි….

ඉතිං ….ඔබටත් පුලුවන් රැඩිකල් වෙන්න….
මනුශ්‍ය සංහතියේ යහ පැවැත්ම වෙනුවෙන්….මානව දයාවෙන්…..උඩුගං බලා පීනන්න…..

එක්කො බොබ් මාර්ලේ වගේ…ගයන්න…වියෙට්නාමයට අමෙරිකාව කල විනාශය හෙළිකලා වගේ….එක්කො වයන්න …වික්ටර් ඕ හාරා වගේ…..

එක්කො කතාකරන්න…පැට්‍රික් ලුමුම්බා,අවුංසාන් සුකී එහෙම නැත්නම් මාටින් ලූතර් කිං වගේ……

එහෙමත් නැත්නම් ක්‍රියාත්මක වෙන්න අර්නස්ටො චේ ගුවාරා, ෆිදෙල් කස්ත්‍රෝ, වගේ…

ලියන්න… බර්ටෝල් බ්‍රෙශ්ට් ,මක්සිම් ගෝර්කි, වික්ටර් හියුගෝ වගේ…..

මොකුත්ම බැරි නම්…
හිතන්න අඩුම ගානේ…පොඩ්ඩක් ඔය සුව පහසු කුළිච්චම් වලින් බිමට බැහැලා….ඉරිතැළුණු…වියළි පොළවේ ඔබ මොබ මදක් ඇවිදලා…..

.”ඇඟට විල්ලුද ඉල්ලන සෙනඟ මැද..බඩට ලුණු කැඳත් “නැති මිනිස්සුත් ඉන්න බව දකින්න…

අවසාන වශයෙන් ….
තීන්දු තීරණ ගනිද්දි මොළයත් පොඩ්ඩක් පාවිච්චි කරන්න….ලෝබ නොවී…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *