අනෙකා තුළ තමා සෙවීම..- අන්තර්වර්ත 03

විවිධාකාර ⁣මිනිසුන් මුනගැසෙන ජීවිතයේ බොහෝ මිනිසුන් අප හා සමපාත කළ නොහැක.එකම අච්චුවේ නොසැදි ඔවුන්ගේ දැනුම්, ආකල්ප, අවබෝධ හැසිරීම් විශමය.

එහෙත් අප ඇසුරට මිත්‍රත්වයට ප්‍රේමයට බොහෝවිට සොයනුයේ සමපාත මිනිසුන්ය. එහිදී සර්වසම නොසෙව්වද සමානත්වයක් හෝ සොයයි. විටෙක එවන් මුනගැසීම් සිදුවිය හැක එහෙත් අල්පය. එම ගැලපීම් වුව කාලයත් සමග නොගැලපීම් වන්නේ සියල්ලට සිත මූලික වන බැවිනි.

එසේනම් අප ජිවිතකාලයටම නොඋගත් පාඩම ..අනෙකා තුළ තමා නොසෙවීමේ පාඩමයි..සසර පුරුදු ලෙස හුරු මිනිසුන් හමුවීමට ඉඩ ඇති මුත් ඒසේ නොවන්නන් සියල්ල අපට ප්‍රතික්ශේප කළ නොහැක. එවැන්නන් ගැලපීමටද නොහැක.

බොහෝවිට කියැවෙන කාරනය නම්..සාර්තක ජීවිතයක් උදෙසා ..නොගැලපීම් ගලපා ගත යුතුය යන්නයි. එහෙත් එය ප්‍රායෝගිකව මහත් වෙහෙසකරය. එසේ නොගැලපෙන මිනිසුන් අතර සාමය උදෙසා..තිදෙනෙකු නම් දෙදෙනෙකු ඉන් ඉවත් විය යුතුය, දෙදෙනෙකු නම් එකෙකු යටත් විය යුතුය .

බොහෝ ගැටීම්, හැඬීම්, රිදවීම්,විඳවීම් සිදුවන්නේ ද මෙම නොගැලපීම් මතයි. එහිදී මව්,පිය,දූ,දරු,විවාහ,වෘතීය ගැටළු දක්වාම මෙය විහිදෙයි…. මිනිසුන් කෙරේ කැමැත්ත, ආශාව, ප්‍රියබව ගැලපීමේ හැඟීම් සමගද…අකමැත්ත, අරුචිය,අප්‍රිය බව නොගැලපීමේ හැඟීම් සමගද සාමාන්‍යයෙන් අප තුළ උපදීයි. ඒ අනුව තෝරාගත් මිනිසුන්ට ලංවීමත් ඈත් වීමත් ජිවත්වීමේ සාමාන්‍ය ක්‍රමයයි.

එහෙත් කාලයත් සමග ලංකරගත් මිනිසෙකුගේ කැමති කොටස් අකමැති කොටස් වීමටත්, අකමැති කොටස් කැමති කොටස් වීමටත් පවත්නා ඉඩ වැඩිය. මන්ද මේ සියල්ල පාලනය වන්නේ සිතුවිලි මත බැවිනි.

එසේ අකමැති කොටස් වැඩිවූ මිනිසෙකුගේ කැමති කොටස් කීපයක් සමග ගැලපීමට යාමද ජීවිතයේ සතුට ඍණ කර දුක ධන කරන්නකි.

එසේ නම් කළ යුත්තේ…ගැලපීම් නොගැලපීම් සියල්ල සහිත සමස්ථ පුද්ගලයාට පැවැත්මට ඉඩ ලබා දීමයි. හොඳ මෙන්ම නරකද ඔහුගේ අනන්‍යතාවයෙහි අංගයන් ලෙස සැලකීමයි.පුද්ගල ස්වභාවය බව දැකීමයි..එහිදී ඔබ තුල ඔහු කෙරේ නොගැලපීමක් හෝ අකමැත්ත ඇති නොවනු අැත. මන්ද නුඹ අනෙකා තුළින් තම අනන්‍යතාවයෙහි කොටස් නොසොයන බැවිනි.

එහෙත් තමා තුළ පවත්නා ගුණ අනෙකාට නියතවම සම්ප්‍රේශනය වේ. එහිදී අදාළ සුසර කිරීම් සහිත පුද්ගලයා එයට සංවේදී වනු ඇති අතර තවෙකෙකුට එය ආගන්තුක වනු ඇත..

එලෙස තමා සතු ගුණ ඇත්තාද නැත්තාද එකසේ දැකිය හැකි නම් ඔබ සතු ගුණ අද්විතීය වේ. තමා තුළ තමා සොයාගෙන අනෙකා හා රිසි තැන රිසි සේ ජීවත්වීම මිස ..තමාට රිසි ලෙස ජීවත්වීම උදෙසා අනෙකා තුළ තමාව සෙවීම… වෙහෙසකරය. එම වෙහෙසෙන් මිදුනු කල භාහිර දේවල් විසින් ඔබගේ අභ්‍යන්තරය රිදවීම ද අවසන් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *