කලාකරුවා ආත්මාර්ථය පසෙකලා, සමාජය ගොඩනැංවිය යුතුයි – ඉරේෂා හේමමාලි

 කවිය වර්තාමනය වන විට පුළුල් ප්‍රචාරක තලයක ඇති සෞන්දර්යාත්මක රස වින්දනයක් වී පවතිනවා එහෙත් මෙහි කාර්යය භාර්යය සම්බන්ධයෙන් ඔබට ඇති අදහස කුමක්ද?

සාපේක්ෂව ගත්තහම එයත් ඉතා අඩු අගයක්. නමුත් එතනින් සෞන්දර්‍යාත්මක රසවින්දනයෙන් එහාට කතිකාවක් ගොඩනැඟෙනවාද යන්නට කළින් කවිය රසවින්දනය කියන තැනට එනවද කියන එක ම ප්‍රශ්නාර්ථයක්.

කලාකරුවාට ආත්මාර්ථයක ගිලිලා ඉන්න බෑ. සුළු සුළු ප්‍රශ්න නෙවේ ඔහුගේ ප්‍රස්තූතයන් හා අරමුණ මුළු මහත් ජාතියක ප්‍රශ්න ගැන කතාකරන එක. සමාජය කියන ගොඩනැංවීමේ විශාල කාර්‍යභාරයක් කලාකරුවාට තියනවා.
සරළ රසවින්දනයෙන් එහා ගිය සීමාවකට කවිය අරගෙන යන්න ඕන, කවියාගේ අරමුණ කවිය තුළින් දකින්න ඕන, සුබ පණිවිඩය ලෙස සමාජගත වෙන්න ඕන.

 සමාජ පද්ධතියේ පවතින විවිධ ගැටළු සම්බන්ධයෙන් කවිය අවදි නොවීමක් දැකිය හැකියි මෙයට හේතුව කුමක්ද ?

සමාජ පද්ධකියේ ගැටලු සම්බන්ධව කවියේ අවදි නොවීමක්ම කියන්න බෑ.. මම කළිනුත් කීවා වගේ සමාජයීය ගොඩනැංවීම ඇතුළේ කලාවේ භූමිකාව ප්‍රබලයි. මම නිර්මාණයන්ට බොහෝවිට සමාජ ප්‍රශ්නයන් මූලික කරගන්නවා. ඒ වගේම වර්තමාන නව පරපුරේ බොහෝ කවීන් සහ කිවිඳියන් තම නිර්මාණයන් තුළින් ෆැන්ටසිවලින් මිදී ධනේශ්වරයේ පෑගීමට ලක්ව සිටින මධ්‍යම පාන්තිකත්වය ගැන කතා කරනවා, පැල්පතේ, කම්මලේ, පදික වේදිකාවල හෙටක් ගැන හීන දකින ජීවිත ගැන කතාකරනවා, දරුවන් වෙනුවෙන් ඇට මස් නහර පවා ගෙවෙනකම් කැපකිරීම් කරන අම්මලා ගැන, සල්ලිවලට, කෑම ටිකකට වෙන්දේසි වන ගෑනු ගැන කතා කරනවා. ඉතින් කවිය සමාජයීය ගැටලු පිළිබඳ සංවේදී නොවීමක් මම නම් දකින්නෙ නෑ. නමුත් කවිය හෝ වෙනයම් නිර්මාණෙකින් වත් සමාජ ප්‍රශ්නම කතා කළයුතුයි කියලා නියමයක් නෑ.

ඔබ හුදු ඔලාරික ප්‍රේමය සම්බන්ධයෙන් පමණක් කවි ලියන්නියක් නොවේ.. මොනවාද කවියට පාදක වන වෙනත් ප්‍රශ්තුතයන්

කවිය කියන්නේ විඳීම්, විඳවීම්, දැනීම්. සමාජයේ ජීවත් වෙද්දි මේ සියලුම සංවේදනයන්ට අහු වෙනවා.. ප්‍රේමය විඳිනවා, විරහව විඳිනවා, ඒ ඔස්සේ නිර්මාණයන් බිහිවෙනවා. නමුත් සෑම විටම මම විශ්වාස කරන්නේ කවිය තුළින් පෙන්වන්න ඕන සමාජයේ නොපෙනෙන හරස්කඩ. සාමාන්‍ය දෘෂ්ටිකෝණයෙන් ගෝචර නොවන මානයන් කවියා දකින්න ඕන. අන්න ඒ සංසිද්ධීන් තම නිර්මාණ තුළින් සමාජගත කරන්න ඕන. ඉතින් බොහෝවිට මගේ කවිවලට ප්‍රස්තූතයන් වෙන්නෙ මෙන්න මේ නොපෙනෙන, සමාජයීය අඳුරු පැතිකඩ.

හුදෙකලා මානසික ප්‍රපංචයන් කවි කිරීමත් සමාජගතව සමාජ සංසිද්ධීන් කවියට නැගීමත් අතර වෙනසක් පවතිනවා. මෙයින් ඔබගේ කවියට පාදක වන ස්ථානයන් සදහන් කළොත්

‎හුදකලාවීමක් කියන්නෙ නිර්මාණයක් බිහිවෙන්න පුළුවන් අතිශයම පවිත්‍ර සීමාවක්. අසීමිත නිදහසකින් තම සිතුවිලි මෙහෙයවන්න පුළුවන් අවකාශයක්. එවිට විශාල පරිකල්පනයක්, සාහිත්‍යම රසයක් ගැබ්වෙලා තියෙන උසස් රසවින්දනාත්මක නිර්මාණයක් බිහිවීමේ වඩා වැඩි වපසරියක් හුදකලාවීමකින් එන්න පුළුවන්.

නමුත් සමාජ ගැටලුවක් කවියේ ප්‍රස්තූතය වෙද්දි රසවින්දනයට එහා ගිය සමාජයීය භූමිකාවක් තියෙනවා. අපි ඒක ගැන වඩා පුළුල්ව හිතන්න ඕන. අපි කවියෙන් කරන සමාජ ව්‍යාපාරය එක්තරා සීමාවක ඉන්න සමාජ ස්ථරයකට සීමා කරන්න බෑ. හැමෝගේම බැරි වුණත් බහුතරයකගේ ඉන්ද්‍රියන් සංවේදී කරන්නම ඕන. ඉතින් අඩු වැඩි වීමකින් මේ සියලුම ආරයේ නිර්මාණයන් මගෙන් ලියවෙනවා.

 කවි බණවර කවරාකාරයේ කවි එකතුවක්ද ?

” හමාර බණවර ” මේ ආකාරයේ කියලා මට නිෂ්චිතවම එක අන්තයකට රාමු කරන්න බෑ.. මොකද මම කිසිම සීමාවක ඉඳන් ලියපු එකම කවියක් වත් නෑ. නිර්මාණයකදී සීමාවකට ලඝු වෙන්න වෙන අවස්ථා අපට එනවා. නමුත් කවිය උපරිම සීමාවකට යන්න නම් උපරිම නිදහසක් ලැබෙන්න ඕන. ” හමාර බණවර ” රාමු නොවුණ පොතක්.

බණවරක් කියන්නේ පිරිත් පොතක එක් පරිච්ඡේදයක්. අපට කවි බණවරෙන් හමුවෙන්නේ ධර්ම උපදේශාත්මක කවිද ?

නැහැ. ” හමාර බණවර ” කියන්නේ සමස්ථ පොතේම අන්තර්ගතය නෙවේ. එක කවියක නම. මුළු පොත ගැනම පුරෝකතනයක් නමින් කරන්න අමාරුයි නමුත් ධර්මයට කිසිම සම්බන්ධයක් නෑ.

 ලංකා සාහිත්‍යෙය් මේ වන විට කවිය යන්න සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ පන්නයේ නැඹුරූන් සහිත සාහිත්‍ය නිර්මාණයක් වෙලා.. ඔබ දකින්නේ මෙවැනි වාතාවරණයක් යටතේ උපදින කවිය සාහිත්‍ය වර්ධනයක් උදෙසා උපකාරී වන්නක් කියාද?

කලාව රසවිදින්න මිනිස්සුන්ට විවේකය ඕන. නිර්මාණයක් කරන්න වුණත් එහෙමයි. ඒත් මේ සමාජයීය ආර්ථික රටාවන් එක්ක විවේකයක් ගන්න තරම් අතිරික්ත ශ්‍රමයක් ඉතුරු වෙන්නෙ නෑ. කලාව හදාරන මනුස්සයෙක්ට වුණත් රසවිදින්නෙකුට වුණත් ඒ වෙනුවෙන් යම් මිලක් වැය කරන්න වෙනවා, සමාජයීය හා පුද්ගල මූලිකතා එක්ක කලාවට යම් ගෙවීමක් කරද්දි මිනිස්සු ගොඩක් පසුගාමී වෙනවා. ඒත් මේ වෙද්දි සමාජ මාධ්‍යන් අතිශය ජනප්‍රියයි. ඕනම කෙනෙක්ට ළඟා වියහැකි සීමාවක තියනවා. මේ නිසා විශාල කාර්‍යභාරයක් සමාජයට සිදුවෙනවා.. ඒකෙ එක පැතිකඩක් විතරයි කලාව පාන්තිකත්වයෙන් නිදහස් කරගැනීම. අන්න එලෙස සයිබර් අවකාශයේ බිහිවන නිර්මාණයන් අධිනිශ්චය නොකළ යුතුයි. නමුත් සාහිත්‍යම වශයෙන් හෝ රසවින්දනය වශයෙන් හෝ ප්‍රගමනාත්මක ලකුණක් තමයි කලාව සමාජයට සමීප වීම. සමාජ මාධ්‍ය අන්න ඒ කාර්‍යභාරය ඉටුකරනවා. එහෙත් සාහිත්‍යමය පිරිපහදුවක් සමාජ මාධ්‍ය තුළින් කරන්න අමාරුයි. ඒකට ඉන් එහා ගිය විද්වත් සීමාවකට කවිය පාත්‍ර විය යුතුයි කියන එක තමා මගේ හැඟීම.

ඉරේෂාගේ තෙලි තුඩ මැවූ සිත්තමක්

 ඉරේෂා හේමමාලි ගැන කිව්වොත් ?

තනි වචනයකින් උත්තර දීමට නොහැකි ප්‍රශ්නය, ඇත්තටම සාහිත්‍යය කලාව කියන දේ මත යැපෙන, එයිම සන්තුෂ්ඨිය ලබන , කලාව අතපතගාන රස විදින්නිකයක් කිව්වොත් නිවැරදියි. මම විශ්වාස කරනවා මගේ කවි වෙන්නේත් , මම අදින චිත්‍ර චිත්‍ර වෙන්නේත් ඒවා විදින, ඒ මත යථාර්තය ප්‍රතිනිර්මාණය කරන්නා රසවින්දනාගේ ආනන්දය මතයි කියල

 ඔබ කිවිදියක් මෙන්ම භාවාතිශය චිත්‍ර ශිල්පිනියක් කොහෙන්ද මේ හුරුව?

කවියක් ලීව සැණින් කිවිඳිය කියන ඔටුන්න මම දාගන්න එක සුදුසු නෑ.. මම තාම කවිය හොයනවා, හදාරනවා.
මට භාවයන් ප්‍රකාශ කිරීමේ එක් මාධ්‍යක් තමා කවිය, අනෙක තමා රූපමය මාධ්‍ය. මගේ චිත්‍ර. කවිය වගේම චිත්‍රයේත් අරමුණ එකමයි. මම චිත්‍රශිල්පය ඉගෙනගෙන නෑ. නමුත් සමාජය එක්ක ඉස්සරහට යද්දි අද්දැකීම් සහ හමුවන පුද්ගල සබඳතා මඟින් චිත්‍රයට බලපෑමක් වුණා. මගේ චිත්‍ර යම් මට්ටමක තියෙනවා නම් ඒ අත්දැකීම් සහ සියල්ලන්ගේම බලපෑමෙන්.

 ඉතිං කියන්න ඉදිරියේදී මොනවද වෙන්නේ කවි සහ චිත්‍ර එකතුවෙන් ?

ජූලි 7 මහනුවර කැන්ඩියන් ආට්හි පස්වරු 2.30 ට “හමාර බණවර” මගේ පොත එළිදැක්වෙනවා. එයට සම්මානනීය ගී පද රචක රවී සිරිවර්ධන, ලේඛක නීතීඥ ඩිල්ෂාන් පතිරත්න සහ ප්‍රවීණ රංගධර සනත් විමලසිරි යන අය එකතු වෙනවා. එමෙන්ම සිතුවම් දැක්මත් පොතට සමගාමීවම කෙරෙනවා. ඔබ හැමෝටම කවියත් එක්ක හෝරා කීපයක් ගතකරන්න මම ගෞරවයෙන් ආරාධනා කරනවා.

සාකච්ඡා කළේ – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *