වාවන්නේ නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට – ස්වර කළණ 06

මෙලොව පවතින සියලූම සංසිද්ධීන් අනිත්‍යභාවය නමැති දහමට යටත්‍ය. ජීවිතය තුළ කොතරම් රස තැන් මිහිරි තැන් පසුකර ආවද, විප්‍රයෝගී සංවේදනාවට මුහුණ දීමට අප කොයි කාටත් සිදුවේ.ප්‍රේමයේ විප්‍රයෝගය අනුභූතිය බවට පෙරළාගෙන නිර්මිත බොහෝ නිර්මාණ අප සාහිත්‍යය වංශය තුළින් හමුවේ. ලොව පවතින සියලු දෑ විපර්යාසයන් නමැති බන්ධනයට හසුවී අවසන නැසී යයි.මේ පොදු ධර්මතාවය පිළිබඳව මිනිසුන් කොතරම් බුද්ධීවාදිව බැලුවද, අවියෝජනීයව ඒ හා බැඳී සිටියද එය අභිබවා යාමට අප කිසිවෙකුටත් නොහැකිය . ඒ නිසාම මිනිසුන් ප්‍රේමනීය විප්‍රයෝගයන් හමුවෙහි ජීවිත කාලයෙන් වැඩි කාලයක් කඳුළු හලා වැළපෙමින් තැවීම් රිදවීම් සමඟ මුහුවී කල් හරිනු ලැබේ. තම සෙනෙහෙබර බිරිඳ මෙලොව හැර යාමෙන් පසුව ඒ විප්‍රයෝගය උහුලා දරා ගත නොහී දයාර්ද්‍ර සැමියෙකුගේ හැඟීම් සමුදාය විෂය වස්තු කර ගනිමින් සාහිත්‍යසූරී රත්න ශ්‍රී ව්ජේසිංහයන් මැවූ අපුර්වම ගීතයකි මේ.

මිනින්දෝරු කන්තෝරුවෙ මුලාදෑණි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න සොහොන මනිනවද
ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දම්වැල් අරගෙන
තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන

පිං කුඹුර නෙළන කාලේට මට හීල අරන් එන
හිස විසාධියට තෙල් උලලා තෝන්තුවා වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට

දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
තෙල් පහන වුණත් නිවා දමයි සංහිඳ පාමුල
වාවන්නේ නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට
වාවන්නේ නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට

ගේය පද – සාහිත්‍යය සූරී රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය – එච් .එම්. ජයවර්ධන
ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

ගීතයක් කෙලෙසද මේ තරම්ම සහෘද හදවතක් සසල කරනූයේ ? රත්න ශ්‍රී විජේසිංහයන් යනු ජිවිතයේ තමා ලද අනුභූතීන් බහුල ලෙස සිය නිර්මාණ පෝෂණය කිරීමට යොදා ගත් ප්‍රතිභාපූර්ණම ගේය පද රචකයකි. මේ ගීතය රසාස්වාද කිරිමේදී ගීතයේ අන්තර්ගතය සේම , හදවත කෙනෙත්තු අනෙක් කාරණයනම් මේ අපූරු ගීතයේ සංගීත නිමැවුම්කරු වූ එච්. එම්.ජයවර්ධනයන් නම්වූ අසාහාය සංගීතවේදියාණන්ගෙ වියෝව අත්විඳීමට සිඳුවිමය. සියල්ල අනිත්‍ය ලොවක මේ සියලු සිද්ධිදාමයන්ගෙන් ප්‍රකාශිත වෙනුයේ ලෝක ස්වභාවය ය.මා වරක් අසා ඇති පරිදි , මේ ගීතයද මේ අත්දැකීමට මුහුණ පෑ සෙනෙහෙබර ස්වාමීයා හා කතා බස් කිරීමෙන් අනතුරුව නිර්මාය කළ ගේය පද රචනයකි. එතුමා සිය නිර්මාණය තුළින් මවන ඒ ප්‍රේමනීය විප්‍රයෝගයේ වේදනාව හිත රිදවා නොගෙන සහෘද අප රස විඳින්නේ කෙලෙසද ? රත්න ශ්‍රී විජේසිංහයන් ඒ තරම්ම ප්‍රබල ලෙස ඒ සෙනෙහෙවන්ත හැඟීම්වලට සිය සංවේදනාවන් අනුසාරයෙන් පණ පොවා ඇත. මේ ගීතමය අත්දැකීම එතුමා දිග හරින්නට පටන් ගනුයේ ඉතාම සංවේදී ආයාචනයකිනි.ගීතයේ සමස්ත කතාවම චිත්‍රණය කර ගත හැකි අන්දමට ගේය පද රචනයේ ඇරඹුම සටහන් කර ඇත.

“මිනින්දෝරු කන්තෝරුවෙ මුලාදෑණි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න සොහොන මනිනවද
ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දම්වැල් අරගෙන
තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන “

මේ සිදුවීමට මුහුණ පෑ ස්වාමියා සිය ආදරණීය බිරිඳගේ වියෝගයෙන් කොතරම් නම් කම්පාවට පත්වී සිටීද..? ඔහුගේ හදවතේ ඇය වෙනුවෙන් කොතරම් සුවිසල් ඉඩක් වෙන්වී තිබුණේද…? ඉතාමත් බෑගාපත්ව ආයාචනාත්මකව තම ඉඩම මැනීමට එන මිනින්දෝරුවන් අමතන, ඔහු ඉල්ලන්නේ ,ඇය අවදිවීමට ඉඩ ඇති බැවින් රැගෙන ආ මිනුම් උපකරණත් අරන් නැවත යන ලෙසය.ඒ සඳහා රත්න ශ්‍රී විජේසිංහයන් යොදා ගන්නා ” ඈ ඇහැ ඇරේවි යන්න හොදයී දම්වැල් අරගෙන “යන යෙඳුම ඉතාමත් ප්‍රබල අන්දමින් සහෘද හදවත් සංවේගයට පත් කරවයි. ඒත් සමගම මේ ආදරණීය සැමියා කෙරෙහි ඒ මොහොතෙහිම අපට ඇතිවනුයේ උහුලාගත නොහී වේදනාවකි.

ඇය හා සබැඳි අතීතය එක පෙළට විත් ඔහුගේ හදවත විටින් විට කොනිත්තා යයි.ගේය පද රචකයාගේ කල්පනාවන්ට අනුව මොවුන් ඉතාමත් ආදරයෙන් ජිවිතය විඳ ඇත. ඒ ආත්මීය සෙනෙහස අහිමි මේ මොහොතේ , මේ සැමියාට ඒ සෙනෙහසෙ උවමනාව වැඩිපුරම දැනෙනවා ඇති.
ගේය පද රචකයා සිය නිර්මාණශීලී හැඟීම් උපයුක්ත කරගනිමින් ගෙනහැර දක්වන්නේ ඔවුන්ගේ ඒ ප්‍රේමනීය අතීතය ය.

” පිං කුඹුර නෙළන කාලේට මට හීල අරන් එන
හිස විසාධියට තෙල් උලලා තෝන්තුවා වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට “

මේ ගීතයේ තවමත් මේ ප්‍රේමවන්තයන් කිනම් සමාජ මට්ටමක දිවි ගෙවූ අයද යන්න සහෘද අපට අවබෝධ නොවුවත් , ගේය පද රචකයා භාවිත කරන ආයාචනාත්මක භාෂාවෙනුත් ” සුදු බණ්ඩි ” වැනි ගැමි ව්‍යාවහරයේ එන වචන හරහාත් මොවුන් ගමක ජීවත්වූ අහිංසක ගැමි යුවළක් වගට යම් ඉඟියක් අපට ලැබෙයි.එහෙත් එය නිසැකයෙන් ම සපථ කරන තැන මෙතැනය. ” පිං කුඹුර ” යන යෙදුම හරහා අපට ගම්‍යමාන වන්නේ මොවුන් ගමක අගහිගකම් මධ්‍යයේ ජීවත්වූ ගැමි යුවළක් බවයි. එහෙත් ආදරයෙන් දයාවෙන් ලෙන්ගතුකම්වලින් ආදියෙන්නම් මේ දෙදෙනා හරි පොහොසත්‍ ය . පිං කුඹුරු නෙළන කාලේට හීල අරන් ආ , දවස තිස්සේ වෙහෙස මහන්සි වී වැඩ කිරිමෙන් රිදුම් දෙන හිස, තෙල් ගා ආදරයෙන් පිරි මැදපු දුක සැප දෙකේදිම ළඟින් හිද ආලය පෑ සුදු බණ්ඩි අද ඔහු අතැර ගොස්ය . ඉතින් ඒ අපූරු සබැඳියාව ගීතය හරහා කියවන , අත්විඳීන රසික අපගේ සිත් වහා සියුම් වේදනාවකින් වැසී යයි. ගේය පද රචකයා මවන අන්දමට ඒ තරම්ම මේ ආදරය ප්‍රේමනීය ය.පිවිතුරුය. ” රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට ” යන පද පේළිය දෙවතාවක්ම යොදා ගැනීම හරහා මේ සැමියාගේ වේදනාව කොතරම් ද යන්න ඉස්මතු කර පෙන්වීමට ගේය පද රචකයා සමත්වී ඇත . මේ ජීවිතය දැන් ඔහුට කෙතරම් බර ඇතිද..? තම සෙනෙහෙබර සහකාරියගේ නික්ම යාම අත්විඳින ඔහුට මේ සංසාරයේ ඇති නිස්සාර බාවය තදින්ම දැනෙනවා ඇති.මේ ප්‍රිය විප්‍රයෝගය අභියස අසරණව කඳුළු හලන මොහු තව දුරටත් සහෘද අප කම්පාවට පත් කරවමින් සිය හැඟිම් මෙලෙසින් මුදාලයි.

” දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
තෙල් පහන වුණත් නිවා දමයි සංහිඳ පාමුල
වාවන්නේ නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට
වාවන්නේ නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට “

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කල්පනාවන් කොතරම් අපුරු ද ? මේ සංසාරය පුරාවට අප පසුපස එන “ප්‍රිය විප්‍රයෝගය ” එක් සිද්ධ් දාමයක් මුවාවෙන් විග්‍රහ කළ අන්දම කෙතරම් අගනේද…? තමන්ගේ සොඳුරිය නැති වග දෙයිහාමුදුරුවො දන්නවනම් සංහිඳ පාමුල දල්වන පහනත් නිවා දමා යන්නේයයි කීමෙන්ම කාරණා කිහිපයක්ම හුවා දැක්වීමට ගේය පද රචකයා උත්සහ කරයි. ඈ සිටි කාලයේ ගෙදර පහන් පැලේ දෙවියන් උදෙසා පහන් දල්වන්නට ඇති.එහෙත් ඈ නැති බව තවම දෙවියන් නොදන්නවා ඇති.දැන ගත්තෙනම් දෙවියන් වුව එයින් කම්පාවට පත්වෙනු ඇත. භාර්යාවක වශයෙන් ඇය සිය ස්වාමියා සමග පති භක්තියෙන් කල් හැරි නිසා දෙවියෝ පවා නිරන්තරයෙන් ඈ වටා සිටි වග පෙන්වීමට රචකයා උත්සහ කළා විය හැකිය.එමෙන්ම සිය සොඳුරිය මග හැරුණු මේ හුදකලා ජීවිතය ඔහුට කෙසේවත් දරා ගත නොහැකිය . ” වාවන්නෙ නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට” යන යෙදුම හරහා රචකයා පුන පුනා ඉස්මතු කරන්නෙ ඔහුගේ මේ හුදකලා දිවියේ ඇති කටෝර බවය. කෙසේ නමුදු මේ ගීතය පුරාම ඇත්තේ සහෘද හදවත් නිරන්තරයෙන් ම සුසංවේදී කරවන හැගීම් සමුදායකි.

මේ ගීතය මේතරම්ම සහෘද හදවත් සසල කිරීමට මේ පද රචනය සේම මේ ගීතය ගායනා කරන කරුණාරත්න දිවුල්ගනේ නම් අසාහාය ගායනවේදියාගේ හැගුම්බර හඬද වෙසෙසින්ම හේතු විය. එතුමා විසින් මේ ගීතය හැගුම් මවමින් ගයන විටදී , හුදකලාවෙන් රිඳුම් විඳින මේ සැමියා කෙරෙහි අපමණ සංවේගයක් අප හදවත් තුළ පැන නගී. එච් .එම් ජයවර්ධනයන්ගේ නාද රටා මුසුව ගැනද අමුතුවෙන්මැ කතා කළ යුතු නොවේ.එතුමා විසින් බොහෝ විශිෂ්ට ගීත රැසක්ම සංගීතවත් කර මෙරට සංගීත ක්ෂේත්‍රය ඒකාලෝක කිරීමට මහත්වූ දායකත්වයක් සපයා ඇත. එතුමාගේ නික්ම යාම තුළ එතුමා ගැන බොහෝ දේ කතාවෙන යුගයක, එතුමා අතින් සංගීතවත්වූ ගීත නිර්මාණයක් මෙලෙස රසව්ඳීමට ලැබීම විශේෂත්වයකි. ජිවිතය පිළිබඳව හෙමින් සීරුවෙ කල්පනා කර බැලුවහොත් අපට , එහි නිස්සාරත්වය මදක් හෝ අවබෝධ වෙනු ඇත.එහෙත් මිනිසුන් ජිවත්වෙනු විනා ජිවිතයේ හරය සොයා බැලීමට එතරම් වෙහෙස නොවෙති.එවන් තත්ත්වයක් තුළ ගේය පද රචකයා විසින් සිය කල්පනාවන් තුළින් ස්පර්ශ කරන ලද මේ අනුභූතිය ඇසුරෙන් මේ ජිවිතයේ එක් පැතිකඩක් හරි අපුරුවට විග්‍රහ කර ඇත. ප්‍රියන්ගෙන් වෙන්වීම ඉමහත් දුකකි.ප්‍රේමනීය මානව සබැඳියාවන් සමඟ බැඳී සිට.ඒ බැඳීම්වලට සමුදෙන්නට සිඳුවෙන කල මේ විප්‍රයෝගී සංවේදනාව විසින් කවරෙකුගේ වුවද හදවත් සසල කරවනු ඇත.රසික හදවත් සුසංවේදී කරන මෙවන් ගීත නිර්මාණ රසිකාගාර තුළ වැඩි වැඩියෙන් සංසරණය වන්නේනම් කෙතරම් අගනේද..?

දේවිකා ප්‍රියදර්ශනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *