ප්‍රේමය නම් කිමැයි ..? – 01 – නිලක්ෂි සවීණා

පෙම්වතා පෙම්වතියට වඩා මේ බැදීමට නමක් ඇති බව පවසමි.මන්දයත් බැදීමක් ලෙස නොපවතින හැගීම් ගොන්නක සිනිදු සංස්පර්ශයක් තුළ අපි අපි එකිනෙකා කියවන බැවිනි. බැදීමක් නැති බැදීමක් කියන්නෙම නිවනක් බව ලියමි. මට නුඹව හමුවූ තැන සිටම අකුරු කරමි. නොහදුනන නොදුටු දෑසක හෙමි හෙමින් පැටලෙමින් අකුරුවලින් කතා කළ එකී මුල්ම අහම්බය අහම්බකාරකයක් ලෙස හංවඩු නොගසමි.නොදැක මුණගැසුණු දෙහිතක් නුඹේ ම ඇරයුමින් මුණගැහුණු මුල්ම දවස මතකද අසමි. එදා සිට අද දක්වාම මං නුඹව කියවන බව පවසමි.නුඹ තරම් හිත් බැදි, නුඹ තරම් හිත් ලැදි වෙනත් ප්‍රේමණීය හුවමාරුවක් වෙනින් නැති බව පවසමි. එහෙදු මේ ප්‍රේමයැයි නම් නොදරමි. ප්‍රේමයට බැදීමක් උවමනාම නොවෙන බව මා උගත්තේද නුඹෙන් බව ලියමි.නොබැදී බැදෙන ප්‍රේමණීය හුවමාරු මත සිට අකුරු අමුණමි. බැදීමක් නැති නිදහසේ තටුලන ස්ත්‍රී හා පුරුෂ නිමිති දෙකක් ලෙස දකිමි.ආදරය යනු හුදෙක් වචනයක් පමණක්ම බව උගත්තේ නුඹ තුළින්මය. ආදරයද නොහිතා ගොඩනැගුනු බොහොමයක් හැගීම්වල ආදරය විනිවිද දකින බව ලියමි.නුඹේ සුවදේ එක් අංශුවක්ම මා තුළවන ස්ත්‍රී ආත්මය පුරා උඩු දුවා ඇති බවද දනිමි.

සබද… නොසන්සිදුනු සන්සිදීමක්ම වන අප බැදීමට ප්‍රේමයක නම නොදෙමි. එහෙදු ප්‍රේමයට එහා ගිය බරැති හැගීමක් ලෙස ගෙන කමටහන් පුරමි.ආදරය නොකියන නුඹෙන් ආදරය අහුලාගත් තැන් එතරම්ම බවද කියමි.නොකියන ආදරේ එතරම්ම දැනුණු තැන් ගොඩගසමි.අප මුණගැසෙන සෑම විටකම නුඹේ ඇසුරට එතරම්ම හිත නිවෙන බව නුඹ නොදන්නවා ඇතැයි සිතමි.නොසිතූ මොහොතවල්වල නුඹේ දෑසට එබී නුඹ සොරාගත් හදවතේ තැනට එබෙමි. නුඹටම වෙලී නුඹේ තොල් උරන නිමේෂයක නුඹේ දෑස් පියවෙනු දකිමි.අඩවන් නෙත් තුළ කිමිදෙමින් නුම්බවම උකහා ගනිමි. දෙතොල අත්නොහරම නුඹ ගිනිගන්නා සැටිද සැනෙකින් නිවෙන සැටිද මිහිපිට අත්දකිමි. සාංසාරික නිවන තව පමා වන්නේනම් මැනවි සිතමි. නුඹේ ගැඹුරු පපුව මිස වෙන ඇලීමක් නැති බව ලියමි.නුඹේ හුස්මක් රැදුණු හාදුවක් හා නළ දත් පෙනෙන ළෙන්ගතු හිනාවක් පරදන වෙන ඉනාවක් නොදනිමි. අප දෑස් එකිනෙක පැටලෙන සෑම මොහොතකම හිතේ හිරි පිපෙන්නේ ඇයිදැයි නොදනිමි. දෙතොල මත වෙන හීන් හැපුමක, දෑගිලි මත වෙන ගමනාන්තයක් නොදන්නා ගමනක කිමිදෙමින් නුඹවම සොයමි.

ප්‍රේමයේ නොතිත් සලකුණු නුඹ තුළින් සායම් වෙනු දකිමි.නුඹෙන් මත්වී හෙලන සිහින් කෙදිරියක් දෙස නුඹ බලා සිනාසෙනු එතරම්ම ලබැදි බව ලියමි.නුඹේ උණුහුමට ලෝබව” මට ඕන… කෝ ඉතින්?? ” “මොනාද??? ” නුඹ ගැඹුරින් විමසන විටෙක “හාදුවක් ” පවස්නා විටෙක හිනාවෙමින් සුසුම් පිට කරනු රහසේ විදිමි.මුහුණට වැටෙන කෙහෙරැලි පසෙකට කර දෙකොපුල් සිබිනු සෙනෙහයෙන් බලමි.රිදුම්,සීරුම්, පිරිමදිනු හදවතින් විමසමි.ඉරිතැලුණු හදවතක් සෙනෙහයෙන් සනහනු දකිමි.ජීවිතයේ ගැඹුර නුඹ තුළින් අත්දකිමි.හරි වැරදි හරිගස්නා සැටි උපේක්ෂාවෙන් බලමි.නුඹ අසලදී එතරම්ම ආරක්‍ෂිත බවද දනිමි.නුඹ එතරම්ම මා රකින බවද දනිමි

වරෙක සුළඟට එසවුණු බ්ලව්සයක කොන් බද වටා අත්බැඳ නුඹ නිසි පරිදි සකසනු දකිමි.එය ළෙන්ගතු වැඩිම බව පවසමි.හමුවෙන වරෙක ඉදහිට අප අතර වන බහින් බස් අද්දර නුඹ නිහඩ වන හැටි දකිමි.බත් පිඩක් නුඹට කවා අවසන හිත් රිදුම් පිරිමහ ගන්නට මෙන් නොකා ඉන්නා විටෙක නුඹ “කාලා ඉවරද ඔය?? ” අසමින් “මටත් ඇති එහෙනම්.නෑ නෑ ඕන නෑ තව. වතුර එක දෙන්න මට ඇති කෑවා..” පවසනු උහුලමි.ගැඹුරුතම පිරිමි පපුවේ නිමේෂයක වන සංවේදනා දකිමි. හදුනමි. ඉන්පසු නුඹ හෙලන සිහින් බැල්මක රැදෙමි.එය එතරම්ම ලබැදි බව පවසමි. අකීකරු කොට කෙහෙරැලි සෙනෙහසින් පිරිමදිමි.නුඹ හැර වෙන නිවෙන්නට නිවනක් කොයිද සිතමි. නුඹ අසළ ඔහේ කියවමි. එතරම්ම විවෘත වෙමි. වරෙක මුරණ්ඩු වෙමි. හීන් බැනුමකට හික්මෙමි. “මට ඕනෙ?? ” ” මොනවද ඕන ” ” කිස් එකක්…කෝ ඉතින් ” නුඹ හිනාවෙන හැටි දකිමි.ඒ හිනාවට එතරම්ම ලෝබ වෙමි.නුඹ මගෙමදැයි නොඅසමි.එහෙත් නුඹ මගේ වෙන එක් මොහොතක ඇලෙමින් ගැලෙමි.හිස පිරිමැද නළල මත නුඹ හොවන හාදුවක් එතරම්ම ගැඹුරු බව පවසමි.”විශ්වාසය ” මම එය එලෙස නම් කරමි. නුඹට මා විශ්වාස යම් සේද ඊටත් වඩා මට නුඹ විශ්වාස බව දිව්රමි.නුඹ තුළින් විටෙක නුඹ දකිමි. විටෙක තාත්තා දකිමි. විටෙක ගුරුවරයෙකු දකිමි.තවත් වරෙක සියල්ලටම එහා ගිය සෙවනැල්ලක ප්‍රතිමූර්තිය දකිමි.නුඹ තුළ ලැගුම්ගත් ඒ සෙනෙහෙබර මිනිසාට අපරිමිත ඇලුම් කරමි. ලෝබ වෙමි. ළෙන්ගතු වෙමි. සෙනෙහෙ පුරමි.අසීමිතව ගරු කරමි. අයිතියක් උවමනා නැති බව කියමි. එහෙත් හදවතේ නුඹ ජීවත් වෙනු දනිමි. අත්දකිමි. ප්‍රේමයක් නොසොයමි.නුඹේ හුස්මක පැටලෙමින් හුස්ම ගන්නට අවැසි බව කියමි. නුඹේ හුස්මට ඔක්සිජන් විය යුතු බව පවසමි.නුඹ නම් අහම්බකාරකයක සෙනෙහසේ ලෙන්ගතුම පරිච්ජේදය බව දනිමි.

බැදීමක නම් නොදී ආදරණීය හුවමාරුවක දවටමි.හමුවෙන සෑම විටෙකම ඇවිලෙමින් නිවෙමි.නිවෙමින් ඇවිලෙමි.හුස්මකත් සෙනෙහස රැදුණු නුඹ ආදරණීයම මිනිසෙක් බව කියමි.නොකියනා ආදරයක, නම් නොලත් බැදීමක, අයිතිවාසිකම් නොකියන සෙනෙහසක මං තරම් නුඹ දැන හැදිනගත්,නුඹේ හිත නුඹ තරමටම ජීවිතයේ කොටසක් කරගත්,අවබෝධයෙන් පිරිමැදි වෙන කෙනෙකු අත්දැයි නොදනිමි.එහෙදු අදටත් හෙටත් මතුවටත් නුඹ අසළම රැදෙමින් නුඹට අත්වැලක් වෙන බව කියමි.දිරි දෙන බව කියමි.සවියක් වෙන බව දිව්රමි. අප අතර මෙකී හමුවීම තුළ ප්‍රේමයක් නොදනිමි.එහෙත් විශ්වාසය හැදිනීමි.ඉදින් මම මෙසේ කියමි. ආදරයට බැදීමක් උවමනාම නැත. බැදීමකට හැගීම් සිරගත නොකරන තාක් නුඹ නුඹවම සොයා ගනු ඇත. එවන් වූ විටෙක ප්‍රේමණීය හැගුම් එතරම්ම සැපවත්ය. මිහිරිය. ගැඹුරුය. අවංකය. නොකිලිටිය. එහෙත් විශ්වාසය උපරිමයෙන්ම ඇත. ප්‍රේමයට ගමනාන්තයක් නොදෙන්න. ප්‍රේමයට බැදීමක නමක් නොදෙන්න. ප්‍රේමය යැයි නොහදුනන්න. නොඇලී ඇලෙන්න. එවිට ප්‍රේමය නුඹට නොබැදී බැදෙනු ඇත. ජීවිතය තුළ ජීවත් කරවනු ඇත.

( සවීණා )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *