ආදරය කියන්නේ ලංකාවේ වැඩියෙන්ම කිච වෙලා, නෝන්ඩි වෙලා, පජාත වෙලා තියෙන වචනයක් – විදර්ශන කන්නංගර

★ ආදරය හිංසනීය වැඩක්

ආදරය කියන්නේ ලංකාවේ වැඩියෙන්ම කිච වෙලා, නෝන්ඩි වෙලා, පජාත වෙලා තියෙන වචනය. ඒත් ලංකාවේ වැඩියෙන්ම කතා කරන්නෙත් ආදරය ගැන. මාධ්‍ය මඟින්, වෙළඳපල විසින්, භාණ්ඩකරණය මඟින් විකුණන ප්‍රධාන මාධ්‍යයක් කරගෙන තියෙන්නෙත් ආදරය. අම්මගේ ආදරය, තාත්තගේ ආදරය, ආගමට ආදරය, කලාවට ආදරය වගේ හැම තැනකම ආදරය. ආදරය කියන්නේ හරියට නිකන් ගණිකා වෘත්තියේ යෙදිච්ච වචනයක්. නමුත් මම ආදරය කියලා කියන්නේ අනෙකා විසින් අනෙකාගේ ඇත්ත තත්වය පෙන්වන එකට. කාට හරි පුලුවන්නම් මාව ප්‍රශ්න කරලා, මගේ සීමාව පෙන්වලා, මාව අනිත් පැත්ත හරවලා, මට පහර දීලා මගේ ඇත්ත තත්වය පෙන්වන්න; ඒක තමයි ආදර සම්බන්ධයක් කියන්නේ. එහෙම නැතුව මම හොඳයි කියලා ආලවට්ටම් කරලා ඉඹලා කිස් කරගන්න එකවත්, බදාගෙන ඉඹගන්න එකවත්, ආදරෙයි ආදරෙයි කිය කිය අඬන එකවත් නෙවෙයි. ආදරය කියන්නේ යම් විදියකට හිංසනීය වැඩක්. අනිත් කෙනාට ඇත්තටම ආදරේ කරනවානම් අනිත් කෙනා ඇත්තටම ඉන්න සිටුවේෂන් එක එයාට පෙන්වන්න ඕන. කට ගඳනම් කට ගඳයි කියලා කියන්න ඕන. එයාගේ අවුලක් තියෙනවානම් ඒ අවුල ඉක්මනටම කියන්න ඕන. එයාට දුක හිතෙයි, ඇඬෙයි, පවුනේ මෙයා වගේ හුරතල් කර කර ඉන්නවානම් ඒක ආදරේ නෙවෙයි. ඔයා විකිනෙනවා, ඔයා කුණු වෙලා ඉන්නේ, සමාජයට ඔයා උපද්‍රවයක්, පිළිලයක්, ඔයාගේ පවුල ඔයාගේ ජීවිතේ අනාතයි, ඔයා අර්බුධයක ඉන්නේ වගේ අමුවෙන්ම කියන්න පුලුවන්නම් ඒ ඇත්ත පෙන්වන එක තමයි ආදරේ කියන්නේ.

★ කුඩු වෙන්න ගහන්න ඕන

අපිට හම්බුනොත් ග්‍රාමීය, ගෝත්‍රික, ඉතාම පසුගාමී ආකල්ප වල ඉන්න කෙල්ලෙක් හම්බෙලා එයාට ප්‍රේමය ප්‍රකාශ කලා කියමුකො. ඊට පස්සේ එයාට තියෙන ආදරය නිසා මම එයාගේ දේවල් කරන්න යනවා. එයා දේවාලේ යං කිවුවාම එයාට ආදරේ නිසා දේවාලෙට යනවා. ඒක ආදරේ නෙවේ. එයා බැඳිලා ඉන්න මිත්‍යාව පෙන්වන්න ඕන. එයා ආසනම් වාහන හතරක් ගන්න මම මොනවාහරි කරලා ඒ වාහන හතර අරන් දෙන්න උත්සාහ කරනවානම් ඒක ආදරේ නෙවේ. එයාට කුඩු වෙන්න ගහලා පෙන්වන්න ඕන මොනවද මේ ගොං වැඩ, ද්‍රව්‍යාත්මක ලෝකයත් එක්ක ඉන්න එකටද ජීවිතේ කියලා කියන්නේ කියලා. ආදරේ කියන්නේ අපේ ඔඩොක්කුවට ආපු දෙයක් හුරතල් කරනවා කියන එකට නෙවේ. අපි ඒක ගොඩනඟා ගන්න ඕන. ලංකාවේ ආදරවන්තයෝ එකතු වෙලා ගොඩනඟලා තියෙන එකම දේ දරුවෝ විතරයි.

★ දෙන්නෙක් විදියට ඉන්න

ආදරේ කිවුවම අපිට මතක් වෙන්නේ කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි ආදරයනේ. කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා. උන් මූද දිහා බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් වෙන්නේ කොල්ලා ඈත බලන් ඉන්නවා, කෙල්ල උරහිසේ ඔලුව තියන් කොල්ලගේ තොල් දිහා බලන් ඉන්නවා. කොල්ලා තමයි මූදේ රැලි වැටෙන විදිය, හඳ පායන විදිය, ඉර බැහැලා යන විදිය එහෙම බලන් ඉන්නේ. කෙල්ල බලන්නේ කොල්ලගේ මූණේ හැඟීම්, ඒ තොදොල් වෙන විදිය. මම කියන්නේ උන් ආදරේනම් දෙන්නම බලන් ඉන්න ඕන මූද දිහා. ඒ බලන් ඉන්න එක විසින් ඒ දෙන්නව එකතු කරනවානම් ඒක තමා ආදරේ. අපි හිතමුකෝ උන් දෙන්නා ෆිල්ම් එකක් බලනවා කියලා. එතනදිත් උන් ආදරේ කරනවා. ඒක උපරිම ගියාම බොක්ස් එකට වෙන්නත් පුලුවන්. ඊට මෙහා ගත්තොත් උන් දෙන්නා ෆිල්ම් එක බලන් නැතුව ඉඹ ගන්නවා, තොදොල් වෙනවා වැළඳගෙන ඉන්නවා කියමුකෝ. ඒක ආදරේ නෙවෙයි. මම ආදරේ කියලා කියන්නේ ඒ දෙන්නා ෆිල්ම් එක බලන එකට. ඒ දෙන්නාම ඒ දෙන්නාගේ ලෝකයන් තුල ඒ ෆිල්ම් එක බලලා ඒ ෆිල්ම් එකත් එක්ක ඒ දෙන්නා එකතු වෙනවානම් ඒක තමා ආදරේ. ආදරය ඇත්තටම පටන් ගන්නේ දෙන්නෙක් විදියට අඳුර ගත්තොත්. එහෙම නැතුව දෙන්නෙක් එක්කෙනෙක් වෙන එක නෙවෙයි ආදරය කියන්නේ. ආදරය කරන්න කලින් කෙල්ලයි කොල්ලයි දෙන්නෙක් විදියට ඉන්නවා, ආදරේ කරද්දි උන් එක්කෙනෙක් වෙනවා. ඒත් මම කියන්නේ ඒ දෙන්නා තව දුරටත් දෙන්නෙක් විදියට ඉන්න එක තමයි ආදරය කියලා කියන්නේ. ඒ දෙන්නා වෙන වෙනම ලෝකයන් ගොඩ නඟන්න ඕන. ආදරය කියන්නේ ගොඩ නඟා ගන්න ඕන දෙයක්. ආදරේ කියන්නේ හදපු දෙයක් නෙවේ.

★ විවාහයෙන් ආදරය හමාරයි

මගේ පෙම්වතියන් නිසා තමයි මම මනුෂ්‍යයෙක් බවට පත් වෙලා තියෙන්නේ. මම මහ දේවල් පස්සේ දුවන්නේ නැති කෙනෙක්. මට තියෙන්නේ රස්තියාදුකාර අපිළිවෙල ජීවිතයක්. ඒ කියන්නේ මම ලොකුවට පිළිවෙලක් සංවිධානය කරගන්නේ නැහැ. ජීවිතයක්, ඉඩමක්, වාහනයක්, නිවසක් වගේ දේවල් පිළිවෙලක් කරගන්න උවමනාවක් නැහැ. ඒවා පිළිවෙලක් වෙන්නේ පවුලක් ඇතුලේ. ඒ ජානය දෙන්නේ ආදරවන්තිය. හැබැයි ඒකම පිරිමියාගේ විනාශයටත් හේතු වෙනවා. තරුණ කාලේ රස්තියාදු ගහමින් ජීවිතේ වෙන වෙන ඒවට ඇවිදපු පිරිමි, කාන්තාවක් මුණ ගැහුනට පස්සේ ටිකෙන් ටික එයාගේ ජීවිතේ ෆ්‍රේම් කර ගන්න පටන් ගන්නවා. සෙරෙප්පු දාලා ඇවිද්දනම් සපත්තු දෙකක් දාලා ඇවිදින්න ගන්නවා. කලිසම අයන් කරලා නෙවේනම් ඇන්දේ ඒක අයන් කරලා අඳින්න ගන්නවා. කලින් තිබ්බේ බයික් එකක්නම් ටික ටික කාර් එකකට එන්න යනවා. කලින් හිටියේ බෝඩිමකනම් පොඩි ඉඩම් කෑල්ලක් අරගෙන ගෙයක් හදන්න පටන් ගන්නවා. ඕක තමා අපේ මුල් වටයේ පිළිවෙල. ඒක අවුලකුත් නෑ. හැබැයි දෙවෙනි වටේ යනකොට ගේ තට්ටු තුනට ගහන්න යනවා. කාර් එක වෙනුවට ඊට වඩා එකක් ගන්න යනවා. දරුවො දෙතුන් දෙනා හදලා ඉන්ටනැෂනල් ස්කූල් දාන්න බලනවා. ස්ත්‍රීන්ගේ ආදරය පිරිමින්ට ලැබීම නිසා ඇතිවන ඊලඟ ඉසවුව තමා ඕක. ආදරයට මුල් වටයක් තියෙනවා. ලංකාව වගේ රටකදි මුල් වටය ඉවර වෙන්නේ විවාහයෙන්. එතනින් එහාට ආදරයත් හමාර වෙනවා.

★ උද්‍යානයක සිප ගන්න බෑ

ලෝකේ තියෙන ආදරය සම්බන්ධ හොඳ නවකතාවක් කියවනකොට, සිනමා නිර්මාණයක් එහෙම බලනකොට කාරණාවල් දෙකක් සිද්ධ වෙනවා. එකක් මගේ ආදරය ඒ නිර්මාණයේ කොයිතරම් දුරට චිත්‍රණය වෙලා තියෙනවාද කියන එක. එතකොට අපිට මතක් වෙනවා අපි දෙන්නගේ කතන්දරේ. ඊට පස්සේ නිර්මාණයේ තියෙන ආදරය. ඒක අපේ සම්බන්ධයට වඩා දෙයක්. ඔතනදි තමයි මම තිගැස්සෙන්නෙ. මොකද පොත්, සාහිත්‍යය, සිනමාව වගේ දේවල් ඇතුලේ ගොඩ නැඟෙන ආදරය අපිට වඩා විශාලයි. අපි ගමු ඉතාම අනුරාගයෙන් බැඳෙන්න පුලුවන් යුරෝපීය චිත්‍රපටයක්. අපි ඉස්සෙල්ලාම වටයේ ඒකට සෙට් වෙනවා. අපි දෙන්නා වගේ ඒ දෙන්නාගේ සම්බන්ධය, මේ බලන්න කිස් කරන විදිය, මේ බලන්න ඒ දෙන්නා සෙක්ස් කරන විදිය වගේ අපිට නිකන් හිතෙනවා. ඊට පස්සේ ඒ දෙන්නා නිරුවතින් ඇවිඳගෙන යනවා මූදු වෙරලක, වැතිරගෙන ඉන්නවා, මහ පාරක් මැද්දේ වාහන ගොඩක් මැද්දේ තොල් ඉඹිනවා, වටපිටාවේ අනිත් මිනිස්සුත් ඒක භාර ගන්නවා. මේ තමයි ආදරේ සංස්කෘතිකව සමරන, උත්කර්ශයට නඟන අවස්තාව. ඒක අනිත් අයත් භාර ගන්නවා. ඔන්න ඕක අපේ වෙන්න බෑනේ. මොකද අපේ රටේ මේවා වෙන්න බෑ. ඔය අත්දැකීම් මට වෙලා නෑ. වෙලා නැත්තේ මම ආස නැති හින්දා නෙවේ; මහ පාරක පුලුවන්ද අපි දෙන්නෙක්ට කිස් කරන්න. මිනිස්සු හූ තියයි. ඒ අපේ රට. ඒත් අර කිවුව රටවල් වලට සංස්කෘතිකමය ඉතිහාසයක් තියෙනවා. අපේ රටේ ඇඳුමක් අඳින්න බෑ, ආදරේ නිදහසේ කරන්න බෑ, මූදු වෙරලක – උද්‍යානයක සිප ගන්න බෑ. පොලීසියෙන් ඇවිත් විසිල් ගහනවා. අපි ඉන්නේ මේ ගෝත්‍රික දූපට අපිට උරුම කරලා දීලා තියෙන සංස්කෘතික සීමාවේ. අපේ ආතල් ගන්න ඕන ඒ සීමාවේ. එතනින් එහා ආතල් අදෘශ්‍යමානයි.

★ ආදරේ දේශපාලනිකයි

ටොරින්ටන් එකේ කිස් කරද්දි සිකියුරිටි ඇවිත් කචල් එකක් දානවානම්, පාක් එකේ බදා ගද්දි පොලීසිය ඇවිත් කචල් දානවානම්, හොටෙල් කාමරයකට ගිහින් අපි දෙන්නාගේ අනුරාගය විඳිනකොට ටක් ටක් ගාලා පොලීසියෙන් දොරට තට්ටු කරනවානම්, අපි දෙන්නට හෝටලයකට යන්න තුන්දාහක් ඕන වෙලා තියෙද්දිත් අතේ තියෙන්නේ පන්සීයයිනම් ඔන්න ඕවා දේශපාලනිකයි. දේශපාලනය ඇතුලේ තමයි අපිට ආදරය කරන්න වෙලා තියෙන්නේ.

★ ජාතිවාදයට උත්තරය ආදරය

ජාතිවාදය කියන්නෙම ආදරය නැති කමේ සංකේතයක්. අනෙකාව අඳුනා ගන්න බැරි ප්‍රශ්නය තමා ඕක. ආද⁣රයේදී මගේ අනෙකා මට ප්‍රහේලිකාවක්. ඇයි එයා මට එහෙමකලේ, ඇයි එයා මගේ දිහා බලන් නැතුව අහක බැලුවේ, ඇයි එයා හම්බවෙනවා කියපු වෙලාවට වඩා විනාඩි පහක් පරක්කු උනේ, එයාට වෙන කවුරුහරි ඉන්නවාද දන්නේ නෑ, ෆෝන් එක ඇදලා බලනවා එස්.එම්.එස් යවලද කියලා, හොරෙන් එෆ් බී එකට හරි ඊමේල් එකටහරි ලොග් වෙලා බලනවා, පාස්වර්ඩ් හොයනවා, ඒක තමයි අපි ආදරේ කරන කෙනා වෙනුවෙන් තියෙන ප්‍රහේලිකාව. අනෙකාව හරියට පැහැදිලි නෑ. ඒකම තමයි ජාතිවාදයේ ආකෘතිය. මුස්ලිම් මනුස්සයා අපිට එන්නේ කෙලවන්නද, පර්දාව දාලා ඉන්නේ අමුතු සතෙක්ද, පල්ලියට ගිහින් අපිට විරුද්ධවද යාඥා කරන්නේ, අනිවාර්යයෙන්ම වඳ පෙති ගේන්න ඇති, මේ මිනිස්සු මෙච්චර ළමයි හදනවානම් අනිවාර්යයෙන්ම අපේ ළමයි අඩු කරන්න ප්ලෑන් එකක් ඇති ආදී වශයෙන් අසල්වැසියාව ⁣ප්‍රහේලිකාවක තියන් ඉන්නවා. ඒක පරිකල්පනීය උගලක්. ඇත්ත ආදරේදී සිද්ධ වෙන්න ඕන ඒක කඩන එක. හරියට අදුර ගත්තට පස්සේ අනියත සැකයක් එන්න බැහැනේ. ජාතිවාදය වගේ දේවල් වලදි ආදරයෙන් පාඩම් ඉගෙන ගන්න ඕන. මේ ඉන්නෙත් මං වගේම හොඳ නරක මිනිහෙක් කියලා හිතන්න ඕන. ඒක දෙමළ හෝ වේවා මුස්ලිම් හෝ වේවා එහෙමයි හිතන්න ඕන. පර්දාව දාගෙන ඔලුව මූණ වහගෙන යන මුස්ලිම් කාන්තාව ගැන විරෝධයක් තියෙනවානේ. එතකොට සිංහල බෞද්ධයාගෙන් අහන්න තියෙන්නේ උඹත් ඔය පිස්සුවක් කරන්නේ කියන එක. රජයේ හරි පෞද්ගලික අංශයේදි හරි එහෙ මෙහෙ හැරෙන්න බැරි සාරියක් ඇදගෙන, පොට දාගෙන, ලණු බැදගෙන, කටු ගහගෙන, හයියෙන් අඩි තියන්නත් බැරි ඇදුමක් ඇදගෙන එන එක අපි ප්‍රශ්න කරගන්න ඕන. ඒක තමයි ආදරේ තැන. උඹ වගේම තමයි මමත්. උඹට වෙලා තියෙන සන්තෑසියම තමයි මටත් වෙලා තියෙන්නේ. ඔය කාරණාව තමා වෙනස් කර ගන්න ඕන. අනෙකා කියන්නෙත් මං වගේම සත්වයෙක් කියලා අඳුර ගත්තට පස්සේ ජාතිවාදයේ න්‍යෂ්ටිය කඩා වැටෙනවා. ආදරයෙදිත් අනෙකාව අනෙකාව විදියට තේරුම් ගන්න ඕන. කසුන් කල්හාර කියන්නේ සඳ සඳ වගේ කියලා. ඒ සින්දුව ලියද්දිත් මං තේමාව කලේ ඕක. ඔබ මා නොවන තුරු, මා ඔබ නොවනතුරු කියන්නේ ඒක. ඒ නිසා අනෙකා ඉදිරිපිට අපි අඩියක් පස්සට ගන්න ඕන. ඒ අනෙකා මං වෙන්නත් බෑ. මට එයා වෙන්නත් බෑ. එ් ගැප් එක තියා ගන්න ඕන. අපි හැමෝම විවිධයි සහ සමානයි. ඕක එළියට ගන්න ඕන ආදරයෙන්.

★ සත්තු නොකරන එක, ඒක හොද එක

මම විෂම ලිංගිකයෙක්. විෂම ලිංගිකත්වය ආද⁣රයේ කේන්ද්‍රය වෙන්නේ විෂම ලිංගිකයන්ට. ඒක ආදර⁣ය වෙන්නේ සොබාදහමේ හැටියට. පැවැත්මට ඕන වෙන්නේ විෂම ලිංගිකයින්. අනිත් ඒවා එතකොට විකෘතීන් වෙනවා. මං කියන්නේ ඕක තනිකර මිත්‍යාවක්. අද අපි ඉන්නේ සොබාදහමේ නෙවෙයි. දැන් මිනිස් ශිෂ්ටාචාරය සොබාදහමත් එක්ක සම්බන්ධ නෑ. බල්ලෙක් එකතු වෙන්නේ බැල්ලියක් එක්ක මිසක් තවත් බල්ලෙක් එක්ක නෙවෙයිනේ. උන්ගේ ලිංගිකත්වය තියෙන්නේ එහෙම. අනික සත්වලෝකේ ආදර සම්බන්ධතා කියලා එකක් නැහැ. ඒක ඉවක් එක්ක බැඳිච්ච යම්කිසි ආශයක්. එතකොට ආදරය කියලා දෙයක් තියෙනවානම් ඒක තියෙන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ. පැටියා බලාගන්න එක ආදරය නෙවේ. අපි බැල්ලියක් පැටවුන්ට කිරි දෙනකොට කියනවා අර බලන්න බැල්ලිගේ මවු සෙනෙහස කියලා. ඒත් ඒක නෙවෙයි ඒ. විෂම ලිංගිකත්වය කියන්නේ බලළා – බැලළි, හරකා – එලදෙන, බල්ලා – බැල්ලි කියන එක නෙවේ. මිනිස්සු ආදරේ කරන්නේ දරුවෝ හදන්න නෙවේ. කසාද බඳිනවා, දරුවෝ හදනවා කියන්නෙත් වෙන එකක්. ඔය දෙක ලංකාව වගේ රටවල් වල පටලවගෙන තියෙන්නේ. අපි දරුවෝ හදන එකේ අර්ථය වයසට ගියාම වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් ඉන්න ඕන කියලා එකක් නේ. ආදරය කියන එක ලිංගිකත්වය සහ ජීවිතය මත පදනම් වෙච්ච දෙයක් මිස ප්‍රජනනය මත සම්බන්ධ වෙච්ච දෙයක් නෙවේ. දරුවෝ හැදීම කියන එක වෙන කලාවක්. ඒක අවශ්‍ය අය ඒක කරන්න ඕන. එතකොට සමලිංගිකත්වය කියන්නෙත් විෂමලිංගිකත්වය වගේම මිනිස් සම්බන්ධයක්. ගොඩනැංවීමක්. ආදරයක්. ඒ ඇතිවන හැඟීම් ඇතිවෙන්නෙත් මිනිසුන් දෙදෙනෙකු අතර. ගෑණියෙක් පිරිමියෙක් අතර අනිවාර්ය සම්බන්ධයක් ඇති වෙනවා කියන එක සත්ව ලෝකෙට අයිති දෙයක්. නමුත් පිරිමියෙක් පිරි⁣මියෙක් අතර හෝ ගැහැණියෙක් ගැහැංනියෙක් අතර ආදරයක්, ලිංගිකත්වයක්, අනුරාගයක් ඇතිවෙනවනම් ඒක සත්ව ලෝකෙට වඩා දියුණු දෙයක්. විෂමලිංගක වීම සත්තු කරනවා. සත්තු නොකරන එකක් මිනිස්සු කරනවා කියන්නෙම සත්ව ලෝකෙට වඩා ඒක හොඳයි කියන එක. ලංකාව වගේ රටවලදි මේක පේන්නම බැරි දෙයක්. මේ ලිංගිකත්වය තුල ඇති සංස්කෘතික අයිතිය වෙනුවෙන් අරගල කරන්න ඕන. විවිධ ලිංගික කණ්ඩායම්, සමාජ කණ්ඩායම් බිහි වෙන්න ඕන. අවබෝධයක් තියෙන ප්‍රබුද්ධ පිරිස් මේ වෙනුවෙන් එකතු වෙන්න ඕන. ඒක දරා ගන්න පුලුවන් තත්වයක් රටක තියෙන්න ඕන. ඒ පැත්තෙන් ගත්තොත් අපි ඉන්නේ හරිම කාලකන්නි තැනක.

| මන්රුචි සිරිවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *